More
    27 C
    Colombo
    Saturday, May 18, 2024

    කොරෝනා වෛරසය ආසාදනයෙන් මිදෙන්න මේ දේවල් අනිවාර්යයෙන් කරන්න

    Family Tech Sponsor

    කොරෝනා වෛරසය නැතහොත් COVID 19 එසේත් නොමැතිනම් ඉතා සරලව චීන වෛරසය, මේ වන විට ලොවම කථා බහ කරන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. මේ පිළිබඳ සිහිකැඳවීමේ ලිපියක් අප මීට පෙර පළ කර අතර මේ පිළිබඳ සවිස්තර ලිපියක් හැකි ඉක්මනින් ඔබට ගෙන එන බවට අප පොරොන්දු වුනා. ඒ අනුව අප මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ මේ වන විට වෛරසය පිළිබඳ වාර්ථා වන සාමාන්‍ය හා වෛද්‍ය තොරතුරු පදනම් කරගෙනයි.

    කොරෝනා වෛරසයක් යනු කුමක්ද?

    කොරෝනා වෛරසයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ සුවිශේෂ වශයෙන් මිනිසාගේ ශ්වසන පද්ධතිය වෙත බලපෑම් ඇති කරන තනි දාමයක් සහිත RNA ( RiboNucleic Acid) වෛරස් තත්ත්වයකි. මෙම කොරෝනා වෛරස් බහුලව දක්නට ලැබෙන්නේ වවුලන් අතරය.මේ වන විට හඳුනාගත් කොරෝනා වෛරස විශේෂ රාශියක් වවුලන් අතර සුලභව දක්නට ලැබෙන අතර නව කොරෝනා වෛරසයද වවුලන් මගින් මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බව මේ වන විට අනුමාන කරයි.

    මීට පෙර ආසන්නතම කොරෝනා වෛරස් උවදුර ලෙස පැතිර ගිය මර්ස් (Middle East respiratory syndrome – MERS) වෛරස් තත්ත්වයද වවුලන් හරහා ඔටුවන්ටද, ඔටුවන් මගින් මිනිසුන්ටද සමිප්‍රේෂණය වී ඇති බව සොයාගෙන ඇත. මේ වෛරස් තත්ත්වයන්ට කොරෝනා නමින් නම් ලැබීමට ප්‍රධාන හේතුව වෛරස් ස්වභාවය දැකගත හැකි ඉලෙක්ට්‍රොනික් අන්වීක්‍ෂයන් තුලදී මෙය ඔටුන්නක හැඩය ගැනීමයි. 

    කොරෝනා වෛරස් අලුත් දෙයක්ද?

    නැත. කාලානුරූපව ඉතිහාසයේ පටන් කොරෝනා වෛරස් තත්ත්වයන්ට මිනිස් සංහතිය මුහුණ දී ඇති අතර පරිණාමයත් සමගම දැන් ප්‍රධාන කොරෝනා වෛරස් වර්ග හතරක් මිනිස් ශරීරය තුලද පවතින බව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ඒවා නම්

    • HCoV-HKUI
    • HCoV-OC43
    • HCoV-NL 63
    • HCoV-229E

    වන අතර මෙම වෛරස මගින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝගී තත්ත්වයන් පමණක් ඇති කරනු ලබයි. මෙම කොරොනා වෛරස් තත්ත්වයන් හඳුනාගැනීම සඳහා ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය ජෝසප් ශ්‍රියාල් මලික් පීර්ස් මහතා දක්වා ඇති ඉමහත් දායකත්වය පිළිබඳවද මතක් කළ යුතු වනවා. 

    මීට අමතරව ලෝකයේ මිනිස් සංහතියට ඉතා දරුණු බලපෑමක් එල්ල කරන ලද 2002 – 2003 වසර වල මිනිසුන් 650කට අධික පිරිසකට මරු කැඳවමින් චීනය හා හොංකොං ආශ්‍රීතව පැතිර ගිය සාස් (Severe Acute Respiratory Syndrome – SARS) සහ 2012 – 2015 අතර කාලයේ රෝගීන් 800 ක් පමණ මරණයට පත් කරමින් සවුදි අරාබියේ ද පසුව මැද පෙරදිග, අප්‍රිකාව, ආසියාව සහ යුරෝපයේ වෙනත් රටවල ද පැතිර ගිය මර්ස් (Middle East Respiratory Syndrome – MERS) වෛරස් තත්ත්වයන් දෙක මෑත කාලයේ ඇතිවූ දරුණු කොරෝනා වෛරස් උවදුරු දෙක ලෙස හඳුන්වන්නට පුළුවන්. 

    රෝගය මිනිසුන් අතර පැතිරෙන්නේ කෙසේද?

    මෙම වෛරසය ප්‍රධාන වශයෙන් පැතිර යන්නේ බිඳිති වශයෙන් ආසාදිතයන්ගෙන් පිටවන සෙම, කෙල, කිවිසුම් යැවීමේදී පිටවන සොටු යන මාර්ග වලිනි. යමෙකු කිවිසුම් යවන විට, කහින විට, මෙන්ම මෙම ශ්‍රාවයන් ස්පර්ශ කර වෙනත් ස්ථාන ඇල්ලීම, වැනි ක්‍රියා මගින් මෙම වෛරසය පැතිරේ.

    ඔබට කැස්සක් හෝ කිවිසුමක් ඇති වන්නේ ශරීරයට අනවශ්‍ය යමක් පිටකිරීම වෙනුවෙන් වුවද මෙම වෛරසය ඒ පිටවන දේ වාහකයන් ලෙසින් යොදාගෙන පැතිරීම සිදු කරයි. ඒ අනුව වෛරසය ඇතුල් වීම,

    ඝෘජුවම – ශ්වසන බිඳිති හරහා

    වක්‍රව – ආසාදිත දෑ ඇල්ලීමෙන් පසුව නාසය, මුඛය ස්පර්ශ කළ විට (ස්පර්ශය හරහා) සිදුවේ.

    නව කොරෝනා වෛරසය ආසාදිතයෙකුගේ රෝග ලක්‍ෂණ මොනවාද?

    • ඇඟපතෙහි ඇතිවන කැක්කුම
    • හොටු ගැලීම ඇතුළු සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන්
    • කැස්ස සහ උගුරේ ආමාරුව
    • උණ ගතිය (මෙහිදී සමහරුන්ට තද උණ හටගන්නා නමුත් සමහරෙකුට සාමාන්‍ය උණ ගතියක් වුවු ද පැවතිය හැක.)
    • දරුණු නිවුමෝනියා තත්ත්වයද ඇතිවිය හැකිය

    මෙහිදී ප්‍රධාන ආසාදිත කාන්ඩ දෙකක් හඳුනාගත හැක.

    • රෝගයේ මූලික අවස්ථාවේදීම රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන රෝගීන්
    • රෝගය ආසාදිත මුත් රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරන රෝගීන් 

    වෛරසයෙන් ආරක්‍ෂාව වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

    කොරෝනා වෛරසය සඳහා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකට ප්‍රතිකාර කරන ආකාරයට අමතරව විශේෂ කිසිදු සාර්ථක ඖෂධයක් මේ වන තෙක් සොයාගෙන නොමැත. එබැවින් වෛරසය ආසාදනය වීම වළවක්වා ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් සිදුකළ යුතු වන්නේ එදිනෙදා යහ පැවැත්ම රැක ගැනීමයි.

    • කහින විට හෝ කිවිසුම් යවන විට නිතර ලේන්සුවක් භාවිතා කරන්න. ලේන්සුවක් ළඟ නැත්නම් අතෙහි වැලිමිට මුවට තබා කිවිසුම් පිටකිරීම සිදුකරන්න
    කොරෝනා වෛරසය
    • හැකි සෑම විටම හොඳින් සබන් හෝ විෂබීජ නාශක භාවිතයෙන් අත් සෝදන්න 

    මෙම කාරනය ඉතාමත් වැදගත් වේ. විශේෂයෙන් නිසිපරිදි විෂබීජ නොරැදෙන්නට අත් සේදීමට බොහෝ දෙනා නොදනිති. හොඳින් සබන් හෝ විෂබීජ නාශක දියරයක් යොදා අතෙහි අත්ල මෙන්ම ඇඟිලි අතර මෙන්ම පිටි අල්ලද සේදිය යුතුය. සමහරුන් ඉතා ඉක්මනින් අත් සේදීමෙන් විෂබීජ ඉවත් වීම සිදු නොවේ. මේ නිසා කිහිප විටක් ඒ ගැන සැලකිල්ලෙන් අවම වශයෙන් තප්පර 40ක් හෝ 60ක් අතර කාලයක් හොඳින් අත් සේදිය යුතුය. විශේෂයෙන් පාසැල් යන ඔබේ දුවාදරුවන් මේ පිළිබඳව දැනුවත් කරන්න. 

    • නිතර නාසය ඇල්ලීම, තැන තැන කෙළ ගැසීම ආදිය නොකරන්න
    • මෙම වෛරසය ආසාදනය වූවන්ට ඇතිවන කුමන හෝ රෝග ලක්‍ෂණ පවතින්නේ නම් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
    • ඔබට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වුවහොත් ජනාධික ප්‍රදේශ වල ගැවසීමෙන් වැලකී අන් පුද්ගලයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන්ගෙන් ඈත්වී අවශ්‍ය ප්‍රතිකාර සඳහා අදාල සෞඛ්‍ය අංශ වෙත යොමුවන්න.

    මේ වන විට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අසාදනයට ලක් වීමත් සමග රට තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා. නමුත් නිකරුනේ කලබල වී අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතුය. විමසිල්ලෙන් මෙන්ම පුරවැසියන් ලෙස මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තමාගේ මෙන්ම අනොකාගේ සෞඛ්‍යටද හානි නොපැමිණෙන ලෙස වගකීමෙන් කටයුතු කිරීම මෙවැනි උවදුරු අවස්ථාවක අප සැමගේ වගකීමයි. 


    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛරස වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    අවධානමට පෙර සූදානම සඳහා පහත මාධ්‍ය ඔස්සේ හැකිතාක් ෂෙයාකරන්න.


     

    Colombo
    overcast clouds
    27 ° C
    27 °
    27 °
    93 %
    3.8kmh
    100 %
    Sat
    27 °
    Sun
    28 °
    Mon
    29 °
    Tue
    29 °
    Wed
    30 °
    error: Content is protected !!

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු

    Exit mobile version