fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවෙකුට දෙවැනි භාෂාවක් හුරු කරවන ආකාරය

    Family Tech Sponsorspot_imgspot_img

    තමන්ගේ මව් බසට අමතරව වෙනත් භාෂාවක් හෝ කිහිපයක් හදාරා තිබීම කොයිතරම් වටිනා දෙයක්ද කියන කාරණය සමහරවිට ඔබ දැනටමත් අත්විඳිනවා වෙන්න පුළුවන්. සිංහල හෝ දෙමළ බස භාවිතා කරන ලංකාවේ අපිනම් බොහෝ විට උත්සාහ කරන්නේ දෙවන භාෂාව විදියට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න. familylife.lk අපි ෆැමිලි ටුඩේ තුළින් ගෙන එන මේ ලිපියෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවෙකුට දෙවැනි භාෂාවක් කතා කරවීමට හුරු කරවීමේදී සළකා බැලිය යුතු කරුණු කීපයක් සම්බන්ධවයි.

    දරුවෙකුට දෙවැනි භාෂාවක්

    වෙනත් භාෂාවක් හෝ කිහිපයකින් සන්නිවේදන කාර්යය කිරීමේ හැකියාව තිබීම මගින් දැනුම් පරාසය වර්ධනය කරගැනීම, විවිධ අවස්ථා දිනාගැනීම, විවෘත මනසකින් ලෝකය දැකීම සහ වෙනත් රටවල සංස්කෘතීන් අවබෝධ කරගැනීමට පහසු වීම වගේ වාසි අත්කරගැනීමට විශාල වශයෙන් ඉවහල් වෙනවා. ඉතාම කුඩා අවධිය දරුවෙකුට භාෂා කිහිපයක් ඉගැන්වීමට සුදුසුම අවධිය කියලයි පර්යේෂකයෝ කියන්නේ.

    හැබැයි මේ සම්බන්ධව සමාජයේ විවිධ මත තියෙනවා. මේවයින් පිළිගත හැකිම මතය විදියට  දරුවාගේ වාග් මාලාව වර්ධනය වන සහ දරුවා අහන දකින දේ අනුකරණයට පෙළඹෙන වයස අවුරුදු 2-3 කාල සීමාව, මේ සඳහා වඩාත්ම සුදුසුයි කියන මතය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මේ වයසේදී 30% ක්වත් දෙවන බසකට නිරාවරණය  වීම මගින් එය ඉගෙනීම පහසු වෙනවා.

    දරුවෙකුට ද්විභාෂා හුරු කරවීම සම්බන්ධයෙන් පහත සඳහන් කරන කිසිඳු මතයක් සත්‍ය කරුණු නොවන මිත්‍යා මත කියලා තවදුරටත් පර්යේෂණවලින් ඔප්පු වී අවසන්.

    • භාෂා දෙකක්/ කිහිපයක් එකවර හුරු කරවීමට උත්සහ කිරීමෙන් දරුවා ව්‍යාකූල වේ.
    • දරුවාගේ කථන හැකියාව ප්‍රමාද වේ.
    • දරුවා භාෂා දෙක/ කිහිපය එකට මිශ්‍ර කරගනී.
    • දරුවාගේ පෞර්ෂත්වයට හානි ඇති වේ.
    • දරුවාට භාෂා දෙකක්/ කිහිපයක් උගන්නන්න දැනටමත් ප්‍රමාදයි.
    • කිසිඳු උත්සහයකින් ආයාසයකින් තොරව දරුවා දෙවන භාෂාවක්/ භාෂා ඉගෙන ගනී.

    දරුවෙකුට දෙවන භාෂාවක් හුරු කරවීම එහෙමත් නැත්තන් දරුවා එම භාෂාව චතුරව කතා කිරීමට හුරු කරවීම දීර්ඝකාලීන ක්‍රියාවලියක් වෙනවා. විශේෂයෙන් භාෂාවක් කියන්නේ විවිධ අංග ලක්ෂවලින් සමන්විත සංකීර්ණ පද්ධතියක් නිසා මෙහිදී  මව්පියන් ඉවසිලිවන්ත වීම අත්‍යවශ්‍යයි.

    මුලින්ම දරුවා තුළ අදාළ භාෂාව තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය විය යුතු වෙනවා. වචන, වචනවල තේරුම, වාක්‍ය රටා වගේ දේවල් ගැන අවබෝධයක් ලබාගැනීමෙන් පසුව දරුවා ක්‍රමක්‍රමයෙන් කථනයට හුරු වෙන්න ඉඩ තියෙනවා. කලාතුරකින් කනට ඇසෙන භාෂාවක් ඉගෙනීම දරුවෙකුට එතරම් පහසු දෙයක් නොවන නිසා දරුවා නිරන්තරයෙන් භාෂාවට නිරාවරණය කිරීම අනිවාර්‍යය කාරණයක්.

    වගේම වෙනස්ම භාෂාවක් හුරු කරවීමේදී දරුවාගේ කතාබහේ වේගය අඩුවෙන්නත් භාෂාවන් මිශ්‍ර කරමින් කතා කරන්නත් ඉඩ තියෙනවා. එය එතරම් ගැටළුවක් කර නොගෙන දරුවා සමග සන්නිවේදනය කළයුතු වෙනවා.

    දරුවා අපහසුතාවයට පත්වෙන අවස්ථාවල දරුවාට පහසු භාෂාවක් භාවිත කරමින් අදහස් ප්‍රකාශ කරන්නත්, අවශ්‍ය නම් පරිවර්තනය කරමින් කතා කරන්නත්, දරුවාගේ වැරදි ඉවසීමෙන් සහ ආදරයෙන් නිවැරදි කරන්නත්(කථනය සිදුකිරීමට බාධා නොවන අයුරින්), දරුවා අගය කරන්නත් මව්පියන් උනන්දු වෙනවානම් දරුවාට විශාල පහසුවක් වේවි.

    වගේම දෙවන භාෂාවක් හඳුන්වාදීමේදී හැකි ඉක්මනින් එය කිරීම සුදුසුයි කියලයි කියන්නේ. අවුරුදු දෙකෙන් පසුව තමයි මෙයට වඩාත්ම සුදුසුම කාලය විදියට සළකන්නේ. කිසිම විටෙක තමන් ප්‍රමාද වැඩියි කියලා හිතන්නෙපා.

    තමන් තුළ අනෙක් භාෂාව පිළිබද විශාල දැනුමක් නොතිබුණත් දැනුම දරුවාට ලබා දීමට උත්සහ දැරීම ඉතාමත් වටිනා කටයුත්තක් වෙනවා. කුඩා දරුවෙකුගෙන් මහා විශාල දේවල් බලාපොරොත්තු නොවී ළඟා කරගත හැකි ඉලක්ක තබා ගැනීමත්, වෙනත් දරුවන් හා සංසන්දනය නොකිරීමත් ඉතා අත්‍යවශ්‍ය කාරණා වෙනවා.

    දෙවන භාෂාවක් කතා කිරීමට හුරු කරවීමේදී අනුගමනය කරන්න පුළුවන් ක්‍රියා මාර්ග කිහිපයක් පහත දැක්වෙනවා.

    One person One  language

    පවුලේ එක අයෙක් මව්බසිනුත් තවත් අයෙක් දෙවන බසිනුත් කතා කිරීමේ ක්‍රමය ගැන තමයි මෙයින් කියවෙන්නේ. තවත් විදියකින් කිවොත් අම්මා එක භාෂවකිනුත් තාත්තා අනිත් භාෂාවෙනුත් දරුවට කතා කිරීම මෙයින් අදහස් වෙනවා. දරුවා භාෂා දෙකටම ඒකාකාරව නිරාවරණය වීම සහ  භාෂාව මිශ්‍ර වීම අවම වීමත් නිසා මේ ක්‍රමය වඩාත් සාර්ථක ක්‍රමය විදියට හදුන්වන්න පුළුවන් වෙනවා. මෙහිදී  පවුලේ සාමාජිකයින් අතර එකඟතාවයක් සහ සැලැස්මක් තිබීම ඉතා වැදගත් වෙනවා.

    Minority language at home

    දරුවා සමග දෙවන භාශාවෙන්  කතා කිරීම නිවසේදී පමණක් සිදු කිරීමත්, නිවසින් පිටතදී මව් භාෂාව පාවිච්චි කිරීමත් මෙයින් අදහස් කරනවා.

    Time and place

    මෙයින් අදහස් කරන්නේ නිශ්චිත කාලයකදී / ස්ථානවලදී එක භාෂාවකුත් අනිත් වෙලාවලදී/ ස්ථානවලදී  තවත් භාෂාවකුත් කතා කිරීමයි. උදාහරණයක් විදියට උදේ වරුව එක භාෂාවක් සහ හවස් වරුව තවත් භාෂාවකින් සන්නිවේදනය කිරීම, සති අන්තයේ එක භාෂාවකින් සහ සතියේ දිනවල තවත් භාෂාවකිනුත් කතා කිරීම, පාසලේදී එක බසකින් සහ නිවසේදී අනෙක් බසිනුත් කතා කිරීම පෙන්වාදෙන්න පුළුවන්.

    Mixed language policy

    දරුවෙකුට දෙවැනි භාෂාවක් හුරු කිරීමේදී අවස්ථානුකූලව සුදුසු භාෂාවක් භාවිතා කිරීම මෙයින් අදහස් වෙනවා.

    දරුවෙකුට දෙවැනි භාෂාවක්

    ඊට අමතරව,

    • දරුවා සමග සෙල්ලම් කරන අවස්තාවලදී දෙවන බස භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් දරුවා වඩාත් ප්‍රිය කරන ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්වලදී මේ දේ සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සරල වචන, වාක්‍ය සහ නියෝග ලබාදීමත්, ෆීලින් ෆේසස්, පපට්ස් වගේ දේවල් යොදාගැනීමේ හැකියාවත් තියෙනවා.
    • කතන්දර පොත් කියා දීම ඉතාමත් හොඳ උපක්‍රමයක් විදියට හඳුන්වන්න පුළුවන්. දරුවට තනියම කියවන්න පුළුවන් වුණාම කියල දෙන එක නැවැත්විය යුතුයි. දරුවාට අතපත ගෑමට හැකි, සැබෑවටම අත්විඳිය හැකි වස්තුන් යොදාගැනීමෙන් ඉගෙනීම වේගවත් වෙනවා.
    • සින්දු කීම, නැටීම, ඟපෑම සහ දෙවන භාෂාවේ ගීත ශ්‍රවනය කිරීමට අවස්ථාව ලබා දීමත් ඉතාමත් සුදුසු වෙනවා. අදාල භාෂාවෙන් ප්‍රචාරය වෙන රේඩියෝ නාලිකා අසන්නට දීමත්, සීමාවක් සහිතව වෙනත් ඩිජිටල් මාධ්‍ය භාවිත කිරීමට ඉඩ ලබා දීමත් සිදු කළහැකියි .
    • ද්විභාෂා ළදරු පාසල්, ළදරු සුරැකුම් මධ්‍යස්ථාන, අදාල භාෂාවෙන් දරුවන් සඳහා පැවැත්වෙන වැඩසටහන් ආදියට යොමු කිරීමත්, හැකි තරම් අවටින් උදව් ලබාගැනීමත් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.
    • දරුවා ඇසුරුකරන පරිසරය අනුව භාෂාව ඉගෙනීම වේගවත් වන නිසා වෙනත් දරුවන් සමග සෙල්ලම් කිරීමේදී වෙනත් භාෂා කතා කිරීමට දිරිමත් කිරීමත් අත්‍යවශ්‍ය වනවා.
    • දරුවාගේ උනන්දුව මත ඇගයීම් දීමනා ලබා දීම සහ මෙම ඉගෙනීම පීඩාවක් බවට පත්කර නොගෙන විනෝදයක් කරගැනීමෙන් ඉගෙනීම වේගවත් වෙනවා.

    කියන උපක්‍රම පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු