පවුලේ කෙනෙක්ට, අසල්වැසියෙක්ට හෝ යාළුවෙක්ට දරුවෙක් ලැබුණම බලන්න යන එක අපේ අයගේ සිරිතක්නේ. familylife.lk අපි මේ ලිපියෙන් කතා කරන්නේ අලුත් පැංචෙක්ව බලන්න ගියාම නොකළ යුතු, නොකිව යුතු දේවල් මොනවද කියන එක ගැන. ඔබ මේ වැරදි නොකරන කෙනෙක් උනත් ඔබගේ පවුලේ වැඩිහිටියන්, හිතවතුන් මේ දේවල් කරනවා නම් එවැනි අයව මේ ගැන දැනුවත් කරලා අලුත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ හිත රිදෙන එක වළක්වන්න ඔබට පුළුවන්කම තියෙනවා.
මාස 3ක් වත් ඉවසන්න.
හිතවතෙක්ට දරුවෙක් ලැබුණා කියලා දැනගත්ත ගමන් ඒ දරුවව බලන්න යන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි. ප්‍රතිශක්තීකරණය දුර්වල දරුවටත්, නොවේළුණු තුවාලත් සහිතව ඉන්න අම්මටත් අමුත්තන් පිළිගන්න තරම් හැකියාවක් නැහැ. දවසක් දෙකක් ඉදලා දුරකතනයෙන් සුබ පතන්න. දරුවට මාස 3ක් විතර වුණාම අළුත් මව්පියන්ට පහසු දිනයක සහ වෙලාවක දරුවව බලන්න යන්න. අසනීපත්, අපිරිසිදුකමත් නම් අරන් යන්නෙපා. දරුවට වගේම අම්මටත් පොඩි තෑග්ගක්, ආස කෑමක් වගේ දෙයක් අරන් යන්න කාරුණික වෙනවනම් ඇයගේ විඩාපත් මනසට ඒක ලොකු සතුටක් වෙයි.
නිවසේ ඇද කුද / අපිළිවෙල.
තමන්ට හැකියාවක් තියෙනවනම් නිවැසියන්ගේ අවසරය ඇතිව හැකි උදව්වක් කරනවා මිස නිවසේ අපිළිවෙල ගැන කතා කරන එක නම් නම් සුදුසු නැහැ. ගර්භනී වෙන්න කලින් ඇය තමන්ගේ නිවස පිරිසිදුවට ලස්සනට තියාගත්තා උනත් අළුත් අමුත්තගේ පැමිණීමත්, කිසිවෙකුගේ උපකාර නොමැතිකමත් එක්ක ඔවුන්ට ඒ දේවල් ගැන වෙන්කරන්න වෙලාවක් නොමැති වෙන්න පුළුවන්.
මවගේ ශාරීරික වෙනස්කම්.
මාස 9ක් දරුවව කුසේ තියාගෙන හිටපු අම්මට තමන්ගේ රූපය ගැන වෙහෙසෙන්න වෙලාවක් නෑ. ඒ වගේම ගර්භණී සමයේ බොහෝ ආලේපණ ඇයට අකැපයි. තරබාරු වීම, අතපය ඉදිමීම, ශරීරයේ කැළැල්, ශරීරය අවපැහැ වීම මේ කාලෙට සාමාන්‍යය දෙයක්. දරුවා ලැබුණු පසුවත් ඇතැම් මව්වරුන්ගේ තරබාරුකම අඩු වෙන්නේ නෑ. දරුවා මව්කිරි බොනවිට හිසකේ ගැළවීයාම පවා වැඩි වෙනවා. ඒ ගැන කනස්සල්ලෙන් ඉන්න මවට “අවුරුද්දක් විතර යනකොට ඕවා හදාගන්න පුළුවන්, බයවෙන්නෙපා” කියනවා මිසක ඇය දුටු ගමන් “හානේ ඔයා හොදටම මහත්වෙලා, කළුවෙලා” වගේ දේවල් කියන එක නම් සුදුසුම නෑ.
දරුවා වඩාගැනීම
අම්මා තාත්තා තමන්ගේ කිරි කැටියව වඩාගන්න දෙන්න අකමැති වගේ පෙනෙනවනම් බලෙන් වඩාගන්නවත්, ඒ ගැන යම් යම් දේ කියමින් ඔවුන්ව අපහසුතාවයට ලක් කරන්නත් එපා. වඩාගන්න දෙනවනම් ඊට කලින් හොඳට පිරිසිදු වෙලා වඩාගන්න. පුංචි පැටියගේ ආරක්ෂාව සහ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රධාන ලෙසම වගකීම ඇත්තේ මව්පියන්ට පමණයි.
කිරි ප්‍රශ්න
දරුවා වෙනුවෙන් කිරි නිෂ්පාදනය වීම මවකගෙන් මවකට වෙනස් වෙනවා. ශාරීරික වෙනස්කම්, මවගේ කායික මානසික නිරෝගී බව වගේ දේවල් මිස දරුවා කෙරෙහි ඇති ආදරය කිරි නිපදවීමට හෝ නොවීමට බලපාන්නේ නෑ. ඉතින් දරුවාට යහමින් මව් කිරි දෙන මවට “පිටි කිරි එකකුත් පුරුදු කරගන්න වෙයි නේද?” වගේ උපදෙසුත්, කුමක් හෝ සාධාරණ හේතුවක් නිසා වෛද්‍ය උපදෙස් මත තමන්ගේ දරුවට පිටි කිරි දෙන මවකට “ඔහොම නම් බෑ, කොහොමහරි අම්මගේ කිරිම දෙන්න ඕනි” වගේ හිත රිදෙන උපදෙසුත් ලබා දෙන්න උත්සහ කරන එක නම් සුදුසු දෙයක් වෙන්නේ නැහැ.
ඩයපර්ද? රෙදි නැපිද?
ඇය තමන්ට පහසු නිසා ඩයපර් අන්දන මවක් නම් එහි නුගුණ කීමටත් දරුවාට රෙදි නැපි අන්දන මවක් නම් “අයියෝ ඩයපර් අන්දන්නකෝ, ඒකනේ ලේසි“ කියමින් ඇයට ඔච්චම් කිරීමටත් පෙළඹෙන්නෙපා. ඔවුන් ඒ දේවල් තෝරාගන්නේ තමන්ගේ කලමනාකරණයට, ශක්තියට සහ කාර්යටබහුලකමට ගැළපෙන අයුරිනුයි.
නෝර්මල්ද? සීසර්ද?
“ප්‍රසව වේදනාව විඳලා දරුවා ලැබුනේ නැත්තන් වැඩක් නෑ අනේ. මම මැරුනත් දරුවව නෝර්මල් ගන්න තමයි හිටියේ“, “අම්මෝ නෝර්මල්ද? සීසර් කරගන්න තිබුනනේ ඔච්චර දුක් විදින්නේ නැතිව. අපි නම් කලින්ම හිතන් හිටියේ සීසර් කරන්න” වැනි කතා හැකිතාක් අවම කරගන්න. දරුවා ලැබිය යුතු ආකාරය මවගේ සෞඛ්‍යමය තත්ත්වය අනුව තීරණය කළ යුත්තේ අදාළ වෛද්‍යවරුන් වන අතර එය පිටස්තර අයට අදාළ වෙන්නේම නෑ.
රජයේ ද? පෞද්ගලිකද?
“අපි නම් යන්නේ අහවල් ප්‍රයිවට් හොස්පිට්ල් එකට. බබා ලැබුනෙත් එතන. වැක්සීන් දෙන්නෙත් එතනින්. ගවන්මන්ට් හොස්පිට්ල් වල කට්ට කන්න බෑ අනේ” කියමින් හෝ “අම්මෝ අපිනම් ගවමන්ට් විතරයි. ප්‍රයිවට් ගිහින් මොකක් හරි උනොත් ආයේ එවන්නේ ගවර්මන්ට් හොස්පිටල් එකකටමයි” කියමින් ඔවුන්ගේ තේරීම හෑල්ලුවට ලක් කරන්නත් උපදෙස් ලබාදෙන්නත් උත්සහ නොකිරීම හිතවත්කම් ආරක්ෂාවීමටත් හේතුවක් වේවි.
දරුවගේ හැඩ හුරුකම්
“බබාගේ ඔළුව ඇදයි, කකුල් බකල්, නහය මුක්කන්, පෙකණිය යටට තල්ලු කරලා හදන්න, කන් දෙක කලුයි කියන්නේ බබා ලොකු වෙනකොට කළු වෙනවා කියන එක, අම්මා තාත්තා කළු වෙලා බබා සුදු උනේ කොහොමද?, ඔයාල දෙන්නම සුදු වෙලා බබා කළු උනේ කොහොමද?, බබාගේ කම්මුල් එල්ලෙනවා, අම්මගේ පෙනුම ඇත්තෙම නෑ, බාප්පා වගේමයි” වගේ කතා කියමින් අළුත් දෙමව්පියන්ගේ හිත් රිද්දන එක මහ පාපකරී දෙයක් කියන එක තදින්ම හිතට අරන් පොඩ්ඩව බලන්න ගියොත් හොඳයි.
උපදෙස් මාලා / වැරදි උපදෙස්
“බබාව අතගාලා අතපය හදන්න, අතට අහුවෙන දේවල් කන්න දීලා ඕනි දේකට හුරු කරන්න, තොටිල්ලේ නොතියා ළග නිදිකරවගන්න, මාස ගානෙන්ම වෙන්කරලා වෙනම නිදිකරවන්න” වැනි දේවල් කියමින් දෙමව්පියන්ට උපදෙස් ලබා දෙන්න යන්නෙපා. ඒ දේවල් ඔවුන් වෛද්‍යවරුන්, හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැනි සුදුසුකම් ඇති අයගෙන් උපදෙස් ලබාගෙන ඔවුන්ට සුදුසු ආකාරයට ගළපාගනිවී.
“අඬනකොට ටක් ගාලා ග්‍රයිප්වෝටර් ටිකක් දෙන්න, අනිවාර්යෙන් රත කල්කය දෙන්න, දත් එනවා වගේ නම් මී පැණි ටිකක් ගාන්න, කොට්න් බඩ් එකක් දාලා හොදට කන් සුද්ද කරන්න, නෑව්වට පස්සේ හොදට පව්ඩර් ක්‍රීම් කොලෝන් දාන්න, නිදා ගන්නකොට කොට්ට වටේට ලන්කරලා හොඳට රෙදි පොරවන්න, කිරි දීලා මුනින් අතට තියලා නිදිකරවන්න, මාස 3 පහු උනාම බත් කැඳ ටිකක් එහෙම දෙන්න, කන්න හොරයි වගේ නම් ලුණු චුට්ටක් දාන්න” වගේ වැරදි උපදෙස් නම් දෙන්නෙපා. මේවා වර්තමානය වෙනකොට වෛද්‍යවරුන් විසින් අනුමත නොකරන දේවල්. ඒ නිසා තමන්ගේ දරුවාට ඉස්සර ඔබ කළ දේවල් පවසමින් උපදෙස් ලබා දීමත් අනුමත කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි.
පුරාජේරුකම්
“මට නම් පොඩ්ඩක්වත් අමාරු උනේ නෑ, මම නම් තනියම වැඩත් කරගත්තා, මටනම් උදව්වට අම්මලත් හිටියා, ගලන්න තරම් මට කිරි එරුණා, කෑමෙන් බීමෙන් කිසි අඩුවක් තිබුනේ නෑ, ප්‍රයිවෙට් ගිය නිසා සැපට හිටියා, අන්දලා ඉවරකරන්න බැරි තරම් අපේ බබාට ඇඳුම් ලැබුනා අනේ” වැනි දේවල් කියන්නෙපා. ඔබේ හිතවතියට පහසුකම් කිසිවක් නැතිවෙන්න ඉඩ තියෙනවා. අනවශ්‍ය දෑ කියමින් ඇයගේ හිත නොරිදවා ඔවුන් සමග ගතකරන කාලය ඇයට සැනසිල්ලක්ම වන ආකාරයට කටයුතු කිරීමෙන් ඔබ ගැන ඇගේ හිතේ ඇති හිතවත්කම තවත් වැඩි වෙයි.
බලන්න ඔබේ දරුවා ගැන ලියවුනු මේ ලිපියත් ඔබට වැදගත් නේද කියල…