දරුවෙක් ලැබීම කියන්නේ විවාහක යුවළකගේ ජීවිතය ගොඩක් දුරට වෙනස් කරන සිදුවීමක්. විශේෂයෙන් ම මවක් වීම කාන්තාවකට තමන්ගේ ජීවිතයේ සිදුවෙන ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් වෙනවා. කායිකවත් මානසිකවත් විශාල පරිවර්තනයකට ලක්වෙන කාන්තාවකට සමහර වෙලාවට ඒ පරිවර්තනය තනිවම දරාගත නොහැකි වෙන්න ඉඩ තියෙනවා. familylife.lk අපි ෆැමිලි ටුඩේ වෙතින් ගෙන එන මේ ලිපියෙන් කතා කරන්නේ අළුත් අම්මා කෙනෙක්ට දරු උපතින් පස්සේ ගතවෙන මුල් කාල සීමාව පහසුදායක කරන්න ඇය වටේ සිටින උදවියට කළ හැකි දේවල් සම්බන්ධවයි.
“ඈ සිත නොරිදවා…”
කුමන ආකාරයේ ප්‍රසූතියක් වුණත් දරු උපතක් කියන්නේ 99% ක්ම කාන්තාවන්ට අසීරු අවස්ථාවක්. සාමාන්‍ය යෝනි දරු ප්‍රසූතියේදී නම් ප්‍රසූතිය සිදුවන අවස්ථාවේදීත් ඉන් පසුව ඒ මැහුම් දිය වී තුවාලය සුව වීමට ගතවන මාසයක පමණ කාලසීමාවේදීත් අලුත් අම්මා කෙනෙක් කායිකව බොහෝ අපහසුතාවයකින් තමයි කල් ගෙවන්නේ.
සීසර් සැත්කමක් කලින් සැලසුම් කර හෝ එසේත් නැත්නම් හදිසි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් මත සිදු කරන්නට ඉඩ තියෙනවා. එහිදී ඇතිකරන කැපුම් තුවාලවල වේදනාව නිසාම බොහෝ මව්වරුන්ට තමන්ගේ දරුවාට මව් කිරි පෙවීමේදී පවා තවත් අයෙක්ගේ සහය උවමනා වෙනවා.
මවට බෙහෙවින් සංවේදී කාරණා වෙන ප්‍රසූතිය සිදු වූ ආකාරය, දරුවාගේ හැඩරුව සහ පැහැය, මව්කිරි ලබාදෙන ආකාරය යනාදී දේවල් ගැන අදහස් පළ කිරීම සහ උපදෙස් ලබා දීමට පෙළඹීමට පෙර පවුලේ අය සහ දරුවා බැලීමට එන හිතවතුන් පෙර කී කාරණය ගැන මනා වැටහීමකින් සිටීම ඇයට විශාල පහසුවක් වෙනවා.
“ඇයි ඔය බබා කොයි වෙලේත් අඬන්නේ?, ඔයාට කිරි මදිද? පිටි කිරි දෙන්න” වගේ දේවල් කියමින් ඇය අපහසුතාවයට ලක් නොකර අවශ්‍යතාවයක් ඇත්නම් සුදුසු වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා දීම ඇය වෙනුවෙන් කළ හැකි වැදගත්ම උපකාරය වෙනවා.
කෙටියෙන්ම කිවහොත් දරුවා ලැබී පළමු සතිය තුළ ඇයගේ ශාරීරික හා මානසික අපහසුතාවය වටහාගෙන ඇයට වචනයකින් හෝ හිත් රිදීමක් ඇති නොවෙන ලෙස ක්‍රියා කිරීමත් දරුවා බැලීමට පැමිණෙන අයගේ අනවශ්‍ය අදහස්වලින් ඇය ආරාක්ෂා කරගැනීමත් පවුලේ අයගේ වගකීම වෙනවා.
අවශ්‍ය උපකාරයක් ලබා දීම
අලුත උපන් දරුවෙක් නිතර හැඩීම සහ රාත්‍රියේ අවදිව සිටීම සාමාන්‍ය කරුණක්. පැය දෙකෙන් දෙකට හෝ දරුවාට අවශ්‍ය සෑම විටම මව්කිරි ලබා දීමට මවට සිදුවෙනවා. දරු ප්‍රසූතියේ වෙහෙස, නිදි මැරීම, තනිව නිවසේ කටයුතු කරගන්න අයෙක් නම් එම කටයුතුවලින් ඇතිවන වෙහෙස වැනි කරුණු නිසා ඇය නිතර තෙහෙට්ටුවෙන් පසුවෙනවා වෙන්න පුළුවන්.
එවැනි අවස්ථාවක ඇයට විවේකයක් ලබා ගැනීම සදහා දරුවා තමන්ගේ භාරයට ගැනීමට පියාට හැකි වීම ඇයට විශාල සහනයක් වෙනවා. මව්පියන්ගේ කැමැත්ත ඇතිව දරුවා සේදීම, ඇඳුම් සෝදා දීම, දරුවා නැළවීම වැනි කටයුතුවලට පවුලේ අනෙක් අයට උපකාර කිරීමේ හැකියාව තියෙනවා.
ඇය ප්‍රියතාවයක් දක්වන සහ පෝෂදායි ආහාර ලබා දීම, පොතක් පතක් කියවීමට හෝ චිත්‍රපටයක් නැරඹීමට ඇයට අවස්ථාව සැලසීම ඇයගේ මානසික සහනය වැඩිකිරීමට හේතුවක් වෙනවා. තනිව ජීවත් වන යුවළක් නම් දරුවා බැලීමට යන අවස්ථාවක නිවසේදී පිසූ කල් තබා ගත හැකි ආහාර වර්ග, ඇය කැමති පොතක් පත්තරයක් හෝ වෙනත් තෑග්ගක් රැගෙන යාම වැනි දේවලින් ඇයට උපකාර කරන්න පුළුවන්.
ගමන් බිමන්
ගර්භනී අවධියේදි කාන්තාවකට මගහැරෙන කටයුතු අතරේ විනෝද ගමන් සහ රූපලාවන්‍ය කටයුතු වගේ දේවල් තියෙන්න පුළුවන්. ප්‍රසූතියෙන් ඇතිවෙන ශාරීරික අපහසුතාවයන්ගෙන් මගහැරී ගියාම එම ගමන් බිමන්වලට සහභාගී වීමේ හැකියාව ඇයට තියෙනවා.
දරු ගැබට අහිතකර නිසා යම් යම් ආහාර වර්ග ගැනීම නවතා සිටියානම්, ඒ ආහාරවලින් මව්කිරි බොන දරු පැටියාටත් හානියක් නොමැතිනම් සුදුසු කාලයකදී (ප්‍රසූතියෙන් මාස 3ක් වත් ගත්වීමෙන් පසු) රසවත්ව ඒ ආහාර ගන්න පුළුවන් අවන්හලකට/හෝටලයකට ඇය රැගෙන යෑම ඇයට විශාල වෙනසක් වෙනවා.
දරුවාට ඝන ආහාර ලබා දීම පටන් ගන්න කලින් විනෝද චාරිකා යෑම වඩාත් පහසුදායක නිසා මුල් මාස 6 තුළ එවැනි ගමන් බිමන් යොදාගැනීමෙනුත්, හිත මිතුරන් මුණ ගැසීමට අවශ්‍ය නම් එයට අවස්ථාව සලසා දීමෙනුත් ඇයට අත්වෙන මානසික සහනය කියා නිමකළ නොහැකියි.
මවු කිරි ලබාදෙන කාලසීමාවේදී විශාල වශයෙන් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන කොන්ඩය සැකසීම වැනි දේවල් කිරීම අහිතකර වුණත් කෙටි කාලයක් ගතවෙන ෆේශල්, ඇහි බැම සැකසීම වගේ රූපලාවන්‍ය කටයුතුවලට ඇයට වෙලාවක් ලබාගැනීමට උපකාර කිරීම ඇයට නැවතත් සාමාන්‍ය තත්ත්වයට පැමිණෙන්න උදව්වක් වෙනවා.
“දැන් ඔයා අම්මෙක්. දැන් මොන සැලුන් යාමක්ද. බබාගෙ වැඩක් බලාගෙන ඉන්න,” වගේ දේවල් පැවසීම අනිවාර්‍යෙන්ම ඇගේ හිතට අනවශ්‍ය අසහනයක් එක් කරනවා. සාමන්‍ය දරු ප්‍රසූතියකින් සති 6කට පසුවත්, සිසේරියන් සැත්කමකින් මාස 3කට පසුවත් ව්‍යායාම කිරීම සුදුසු නිසා අවශ්‍යනම් නිවසේදී හෝ ඒ කටයුතුවල නිරතවෙන්න ඇයට අවස්ථාව ලබාදෙන්න පුළුවන්.
පිය භූමිකාව
දරුවා සම්බන්ධව මවට සමානවම අයිතියක් සහ වගකීමක් පියාටත් තියෙනවා. ඒ වගේම දරු ප්‍රසූතියෙන් පසු බිරිදගේ මානසික තත්ත්වය පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුත්තේද සැමියා යි. ප්‍රසූතියෙන් පසුව මවුවරුන්ට ඇතිවන “පසු ප්‍රසව විශාදය” පිළිබදව මව සහ පියා දැනුවත්ව සිටීමත්, පවුලේ අන් අයව දැනුවත් කිරීමත් බොහෝ ගැටළු මගහරවා ගැනීමට උපකාරී වෙනවා.
බාහිර පාර්ශවයන්ගෙන් සිදුවන මැදිහත්වීම් අවම කරගනිමින්, විශේෂයෙන්ම “නැන්දම්මා ලේලි” ගැටුම් ඇති තැනක් නම් ඒ තත්ත්වයන් සමනය කිරීමේ හැකියාව තියෙන්නෙත් ඔහුට නිසා ඒ ගැන අවධානය යොමු කිරීමත් දරුවාගේ මවට කරන උපකාරයක් වෙනවා.
ඇතැම් පවුල්වල දරුවාගේ පියාගේ භූමිකාව රගදැක්වීම භාර ගන්නේ දරුවාගේ ආච්චි සහ සීයා වීම අවාසනාවන්ත තත්ත්වයක් වෙලා තිබෙනවා. දරුවා සායනයට, වෛද්‍යවරයා ලගට හෝ ආගමික ස්ථානවලට රැගෙන යාම, දරුවාගේ අනෙකුත් සියළුම වැඩ කටයුතු කිරීම මේ අය බලහත්කාරයෙන් හෝ භාර අරන් තියෙනවා.මව් කිරි ලබාදෙන්න පමණක් මව අතට දරුවා ලබාදුන්නත් පියාට තමන්ගේ දරුවා වඩාගැනීමටවත් අවස්ථාවක් ලබා නොදීමටත්, මව්පියන්ට දරුවාගේ වැඩ කටයුතු පුරුදු වීමට ඉඩ හසරක් ලබා නොදීමටත් මේ අය පෙළඹෙනවා.
වචනයෙන් නොකීවත් මෙවැනි දේවල් සිදු වීම අලුත් අම්මා කෙනෙක්ට දරාගැනීමට පුළුවන් දේවල් නෙවෙනවා වගේම දරුවාගේ මව්පියන්ගේ ස්ථානය වෙනත් අයෙකු විසින් අයිතිකර ගැනීමට උත්සහ කිරීම පවුල් අවුල් වීමට පවා හේතුවක් වීමට ඉඩ තියෙනවා. මවට මේ දේවල්වලට එරෙහි වීමට නොහැකි නම් පියා හෝ ඉදිරිපත් වී මේ තත්ත්වයන් සමනය කරගැනීමට කටයුතු කිරීම ඇයගේ මානසික සහනය වෙනුවෙන් කරන්න පුළුවන් විශාල උපකාරයක් වෙනවා.