fbpx
More
    29 C
    Colombo
    Tuesday, April 15, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අධික උණුසුම් කාලගුණයෙන් දරුවන් රැකගන්න, මේ දේවල් කරන්න

    Family Tech Sponsorspot_imgspot_img

    මාස කීපයක ඉඳලා පවතින අධික උණුසුම් කාලගුණයේ බලපෑම විදුලි කප්පාදුවත් එක්කම වැඩිවෙලා විත්තිය ඔබට දැනෙනවා ඇති. වැඩිහිටියෝ වෙන අපිටත් මේ උණුසුම දරාගන්න අපහසු වෙනකොට පුංචි දරුවන්ට මේ කාලසීමාව ඊටත් වඩා අපහසුදායක වෙන්න ඉඩ තියෙනවා. තමන්ට දැනෙන අපහසුතාවය හරි හැටි කියාගන්නවත්, තනියම පිළියමක් යොදාගන්නවත් නොතේරෙන පොඩිත්තෝ වඩාත් සැළකිල්ලෙන් රැක බලා ගන්න වෙන්නේ අන්න නිසයි. familylife.lk අපි ෆැමිලි ටුඩේ තුළින් මේ ලිපියෙන් අරන් එන්නේ උණුසුම් කාලගුණයෙන් දරුවන් රැකගන්න ආකාරය පිළිබඳවයි.

    සෙල්සියස් අංශක 90- 105 (ෆැරන්හයිඩ් අංශක 32-40) උෂ්ණත්වය අපේ ශරීරයට, විශේෂයෙන්ම කුඩා දරුවන්ට අනතුරුදායක වෙනවා. අධික වශයෙන් ක්‍රියාකාරකම්වල නිරතවීම, ව්‍යායාමවල නිරත වීම, වමනය හෝ බඩේ අජීර්ණය පැවතීම, අවශ්‍ය තරමට ආහාර හෝ දියර වර්ග ශරීරයට නොලැබීම, අධික වශයෙන් ශරීරය උෂ්ණත්වයට පත්වීම වගේ හේතු නිසා ශරීරය විජලනයට පත්වෙනවා.

    උණුසුම් කාලගුණයෙන් දරුවන් රැකගන්න

    හිස කරකැවිල්ල, හිසේ වේදනාව, ක්ලාන්ත ගතිය, තද හෝ දුඹුරු පැහැයෙන් මුත්‍රා පිටවීම, මුත්‍රා පිටවීම වෙනදාට වඩා අඩු වීම, නිදිබර ස්වභාවය, මලානික බව, මුඛය සහ තොල් වියළි ස්වභාවයක් ගැනීම, ශරීරය හිරි වැටීම වගේම නොසන්සුන් බව, කළහකාරී බව, කෝපයට පත්වීම, හෘද ස්පන්ධනය වේගවත් වීම සහ වේගයෙන් හුස්ම ගැනීම කියන ලක්ෂණවලින් විජලන තත්ත්වය හඳුනාගන්න පුළුවන්කම තියෙනවා.

    ඊට අමතරව, දාඩිය අධිකව පිට වී එක්වරම නතර වීම, ඇස් දුඹුරු පැහැයට පත් වී එල්ල වැටුණු ස්වභාවයක් ගැනීම, හඬන විට කඳුළු අඩු වීම වඩාත් අනතුරුදායක තත්වයක් කියාපානවා. අවධානමට පෙර සුදානම කියලා හිතාගෙන මේ කාල සීමාවේදී ඔබට පහත සඳහන් කරලා තියෙන උපදෙස් අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා.

    ජලය සහ දියර වර්ග වෙනදාට වඩා වැඩිපුර ලබා දීම.

    දරුවා මව්කිරි බොන වයසේ දරුවෙක් නම් වෙනදාට වඩා වැඩි වාර ගණනක් මව්කිරි ලබාදීමත් මව වැඩිපුර ජලය පානය කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. මාස 6 වඩා වැඩි දරුවෙක් නම් ආහාර ලබාදීමෙන් පසු උතුරවා නිවාගත් ජලය ස්වල්පයක් සහ මව්කිරි අවශ්‍ය පරිදි  ලබාදීමත් සිදු කිරීමේ හැකියාව තියෙනවා. වයසින් වැඩි දරුවන්ට දිනකට ජලය ලීටර 1- 1 ½ ක් පමණ අවශ්‍ය වෙන අතර දරුවා විජලන තත්ත්වයට පත්වී ඇති බවක් පෙන්වනවා නම් ඉතා ඉක්මනින් පිරිසිදු සිසිල් ජලය හෝ ලුණු හෝ සීනි රහිත දියරයක් ලබා දිය යුතු වෙනවා.

    පාසල් හෝ ළදරු පාසල් යන දරුවෙක් නම්, දරුවා සහ හැකිනම් දරුවාගේ ගුරුවරිය මේ ගැන දැනුවත් කිරීම මඟින් වැඩිපුර ජලය පානය කිරීමට දරුවා පෙළඹවීමේ හැකියාව තියෙනවා. විශේෂ අසනීප තත්ත්වයක් නැතිනම් දිනපතා ස්නානය කරවීමත් සහ දවසට දෙතුන් වරක් ඇඟ සේදීමත් මඟින් දරුවාට සුවපහසු බවක් ලබාදෙන්න පුළුවන් වෙනවා.

    උණුසුම් කාලගුණයෙන් දරුවන් රැකගන්න

    පහසුදායක ඇඳුම් ඇන්දවීම.

    අලංකාර සැරසිලිවලින් යුතු අපහසුදායක රෙදිවලින් කරන ලද ඇඳුම් කිසිසේත්ම  කුඩා දරුවෙකු වෙනුවෙන් සුදුසු නොවෙන අතර 100% ක් කපු රෙද්දෙන් කළ ඇඳුම් දරුවන් වෙනුවෙන් ඉතා සුදුසු වෙනවා. සැහැල්ලු කපු ඇඳුම් තුලින් ශරීරයට වාතාශ්‍රය ලැබීම මඟින් දාඩිය වාෂ්ප කිරීම, ශරීරය උද්දීපනය වීමෙන් වැළකීම සහ ශරීරය සිසිල් කිරීම කියන කාරණා ඉටු වෙනවා. තට්ටු කිහිපයක් සහිත ඇඳුම් ඇන්දවීමෙන් වැළකීම සහ අත් රහිත කමිස, සැහැල්ලු කලිසම්, ගවුම් සහ කුඩා දරුවන්ට නම් නැපියක් පමණක් ඇන්දවීම වඩාත් සුදුසුයි කියලා කියන්න පුළුවන්කම තියෙනවා.

    තද පැහැති ඇඳුම්වලට වඩා ළා පැහැති ඇඳුම් ශරීරයට පහසුදායක වෙනවා වගේම හැකියාව ඇත්නම් UPF අගය වැඩි ඇඳුම් මිලට ගැනීමෙන් ශරීරයට ලැබෙන හිරු කිරණේ අහිතකර බලපෑම අවම කරගැනීමේ හැකියාවත් තියෙනවා. ශරීරයට හිර වූ ඇඳුම්, සපත්තු මේස් ඇන්දවීමෙන් වැළකී සැහැල්ලු ඇඳුම්, සෙරෙප්පු, සැන්ඩ්ල්ස් වැනි දේවල් තෝරා ගැනීමෙන් දරුවා අපහසුතාවයට පත් වීම අවම වෙනවා.

    දරුවන් පහසුදායක ආකාරයට නිදි කරවීම.

    දරුවා නින්දට යැවීමට පෙර ශරීරය හොඳින් සෝදා පිරිසිදු කර සැහැල්ලු නිදන ඇඳුමක්, ඩයපරයක් හෝ  නැපියක් අන්දවන්න. දරුවා වෙනුවෙන් නිවසේ ඇති සිසිලසම කාමරය ලබා දීමත්, කාමරයට සහ තොටිල්ලට හොඳින් වාතාශ්‍රය ලැබෙන ආකාරයට සැකසීමත් අත්‍යවශ්‍ය වෙනවා.

    තෙත රෙද්දක් කාමරයේ එල්ලා තැබීම, දරුවාගේ මුහුණටම යොමු නොවෙන ආකාරයට විදුලි පංකා ක්‍රියාත්මක කර තැබීම සහ වායු සමීකරණ යන්ත්‍ර පාවිච්චි කරනවානම් ෆැරන්හයිඩ් අංශක 24- 26 ක්‍රියා කරවා තැබීමත් සිදු කරන්න හැකියාව තියෙනවා. ශරීරය ගිලී යන ආකාරයේ කොට්ට මෙට්ට, ඝනකම් බෙඩ් ශීට් සහ කොට්ට උර භාවිතය වගේම වැඩිපුර ඇඳුම් ඇන්දවීම සහ ඇඳ පුරාවට කොට්ට තැබීමත් එතරම් සුදුසු වන්නේ නෑ. මදුරු දැල් භාවිතා කරනවානම් තුළ ඇති උණුසුම ගැනත් සැළකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා.   

    උණුසුම් කාලගුණයෙන් දරුවන් රැකගන්න

    හිරු එළියෙන් ආරක්ෂා කරගැනීම.

    ළදරුවන් මේ අධික හිරු එළියට නිරාවරණය වීම කිසිසේත්ම සුදුසු දෙයක් විදියට සලකන්න අපහසු වෙනවා වගේම ඊට වඩා වයසින් වැඩි දරුවන් පවා හැකිතාක් දුරට මේ අධික සූර්ය රශ්මියට නිරාවරණය වීමෙන් වළක්වා ගත යුතු වෙනවා. එවැනි අවස්ථාවන් වලදී,

    • ලිහිල් නමුත් හැකිතාක් ශරීරය වැසෙන ආකාරයේ ඇඳුම් ඇන්දවීම
    • SPF අගය 30 හෝ ඊට වඩා වැඩි අගයකින් යුතු ළදරු සන් ක්‍රීම් වර්ගයක් වෛද්‍ය නිර්දේශය ඇතුව ආලේප කිරීම
    • මුහුණ බෙල්ල කන් සහ හිස්කබලට ආරක්ෂාව සලසන කපු තොප්පියක් (Hat) පැළඳවීම
    • 100%ක් සුර්ය කිරණ වළක්වන තත්ත්වයෙන් උසස් අව් කණ්නාඩි යුවළක් පැලඳවීම
    • දාඩිය බිබිළි සඳහා වෛද්‍ය උපදෙස් සහිතව ආලේපන භාවිතා කිරීම

    වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තියෙනවා.

    විශේෂයෙන්ම විනෝද චාරිකා, එළිමහන් ගමන් බිමන් වලදී දරුවන්ගේ සුව පහසුව ගැන අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. දිනයේ සුවපහසු වෙලාවක් වෙනුවෙන් තෝරාගැනීම, විනෝද චාරිකාවක් නම් සුවපහසු ප්‍රදේශයක් තෝරාගැනීම, වාහනයේ වායු සමීකරණය ක්‍රියාත්මක කරවීම හෝ ජනේල ඇර දමා ගමන් කිරීම වගේම කිසිදු අවස්ථාවකදී දරුවා වාහනයේ තනිව තබා නොයාම ගැනත් සැළකිලිමත් විය යුතු වෙනවා.

    දරුවා අසනීප තත්ත්වයකින් පෙළෙනවා නම් විශේෂ අවධානයක් යෙදවීම.

    දරුවා කුඩා අසනීප තත්ත්වයකින් පෙළුනත් විශේෂ අවධානයක් ලබා දීම අත්‍යවශ්‍ය වන්නේ අසනීප අවස්ථාවලදී දරුවන්ගේ ශරීර උෂ්ණත්වය ඉහළ යාමටත් මෙවැනි කාලගුණයකදී එය විජලනය වීමකට පවා පරිවර්තනය වීමට වැඩි ඉඩකඩක් ඇති නිසයි. මව්කිරි සහ දියර වර්ග වැඩිපුර ලබා දීමත්, ශරීරය තෙත මාත්තු කිරීම මගින් සිසිල් කිරීමත් වෛද්‍ය උපදෙස් නිවැරදිවම පිළිපැදීමත් අත්‍යවශ්‍ය වෙනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    29 ° C
    29 °
    29 °
    78 %
    3.2kmh
    63 %
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    30 °
    Sat
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු