ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර (Primary care) වලට යොමුවෙන බහුතරයක් දෙනාගෙ පැමිණිල්ල තමයි ” උණ ගැනීගෙන ඒම ” . එහෙම නැත්නම් එකපාරක් උණ ගැනීම. අද අපි Familylife.lk සුවපියසෙන් කතා කරන්නෙ කාට කාටත් හැදෙන මේ උණ ගැනයි.
ඩොක්ටර් නිකන් ඇඟට උණ වගේ.
අද උදේ ටිකක් උණ ගත්තා.
මේ උණ ලෙඩුන්ගෙන් බහුතරයකට උණ හැරුණු කොට වෙනයම් රෝග ලක්ෂණයක් නෑ. ඒත් අපිට හමුවෙන සුලභම පැමිණිල්ල තමා “උණ“
උණ කියන්නෙ ඇඟේ ඇතිවෙන්න පුලුවන් සුලබම අසාමාන්‍යතාවක්. උණ ඇතිවෙන්න හේතු කාරණා ගොඩක් තියනවා. නමුත් එයිනුත් සුලභම හේතුව වයිරස් ආසාදන. මේ වයිරස් ආසාදනත් බොහොම වෙලාවට තර්ජනයක් නැති ඒවා. බැක්ටිරියා වලට වගේ නෙමේ වයිරස් වලට විශේෂිතව පහරදෙන ඖෂධ නෑ. කලාතුරකින් හැදෙන අසාමාන්‍ය වයිරස් උණක් හැරෙන්න.
ඔබට ගැනෙන උණ පිළිබඳ නිර්ණය කිරීමක් කරන්න ඔබටම පුලුවන්. අනවශ්‍ය ආකාරයට වෛද්‍යවරයා හමුවෙන්න කරදර නොවී දවසක් දෙකක් බලන්න ඔබටම පුලුවන්. නිර්ණය කළ යුත්තේ මෙය සාමාන්‍ය උණ තත්ත්වයක්ද නැත්නම් අසාමාන්‍යය උණ තත්ත්වයක්ද කියන එක. සාමාන්‍ය උණ තත්ත්වයක් නම් ඔබට දවසක් දෙකක් බලන්න පුලුවන් – ඒ සාමාන්‍ය උණ තත්ත්වයක් නම් දවස් දෙකක් තුනක් ඇතුලත එය බැස යා යුතු නිසයි. ඒ නිසා එවැනි තත්වයකදී නිකරුණේ වෛද්‍යවරයෙක් හමුවෙන එක තේරුමක් නෑ.
අසාමාන්‍ය උණ වෙන් කරලා හඳුනාගන්නෙ කොහොමද?
-
ප්‍රධානම දේ උණ කියන රෝග ලක්ෂණය හඳුනා ගන්න එක. වෛද්‍ය විද්‍යාවෙදි උණ කියන්නෙ ඇඟේ උෂ්ණත්වය අසාමාන්‍ය විදියට වැඩි වීම. මේක ඔබට දැනෙන්නෙ ඇඟ රත් වීම මගින්. ඇඟට දැනෙන අපහසුව, ෆිට් නැති ගතිය, ඇඟ යට උණ තිබෙනවා වගේ දැනෙන එක ආදී ලක්ෂණ “උණ” විදියට සලකන්න බෑ. අර්ථකතනයෙන් උණ කියලා සලකන්නෙ සෙල්සියස් අංශක 37 ට වඩා හෝ ෆැරන්හයිට් අංශක 98.6 ට වඩා වැඩි ශරීර උෂ්නත්වයක්. ඔබේ ඇඟේ උෂ්ණත්වය ඊට වඩා අඩුයි නම් උණ කියා කලබල වීමේ අවශ්‍යතාවයක් නෑ. ඒක හරියටම තීරණය කරන්න නම් නිවසේ උණ කටුවක් තිබීම වැදගත්, විශේෂයෙන් දරුවන් සිටින නිවෙස් වල.
-
ඔබට උණ කියලා හඳුනගත්තම බලන්න ඕනෙ උණ කොච්චර දරුණුද කියන එක. ඒක සරලව උණ ඔබට දැනෙන ස්වභාවය අනුව තමාටම තීරණය කරන්නත් පුලුවන්. උණ ඉතා තදින් ගැනෙනවා නම්, උණත් සමග අධික සීතලක් හෝ වෙව්ලීමක් එනවා නම් ඒ උණ අසාමාන්‍යය උණක්. උණ මැනීමේදී අපි අධික උණ විදියට සලකන්නෙ සෙල්සියස් 39ට වඩා හෝ ෆැරන් හයිට් 103 ට වඩා වැඩි උණ. මෙවැනි උණකදි වෛද්‍යවරයෙක් හමු වීම අනිවාර්යය යි.
-
උණ සමග එන වෙනත් රෝග ලක්ෂණ තමයි අනිත් වැදගත් කාරනය. මේ රෝග ලක්ෂණ වලින් අපිට හඳුනගන්න පුලුවන් උණට හේතුවෙන්න පුලුවන් මොනවගේ රෝගාබාධයක්ද කියන එක. මතක තියාගන්න ඕනෙ කාරනේ තමයි උණ කියන්නෙ රෝගයක් නෙමේ. ඒක රෝග ලක්ෂණයක්. අසාමාන්‍ය උණ පෙන්වන කෙනෙක්ගේ රෝග නිධානය හොයාගන්න වෛද්‍යවරයෙක්ගෙ සහය අවශ්‍යමයි.
එතකොට මොනවද මේ අසාමාන්‍ය උණ එක්ක එන අනෙක් රෝග ලක්ෂණ?
ඇඟේ ඕනෙම අවයව පද්ධතියකට අදාල රෝගයකදි උණ මතුවෙන්න පුලුවන්. ඉතින් එවැනි ඕනෙම පද්ධතියක් සම්බන්ධ රෝග ලක්ෂනත් මතුවෙන්න පුලුවන්.
සුලබම පද්ධතිය තමා ස්වසන පද්ධතිය. ඒකෙත් සුලබම රෝගය තමයි වයිරස් ආසාදනය. ස්වසන පද්ධතියට හැදෙන ආසාදන ප්‍රායෝගික පහසුව තකා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුලුවන්.
-
ඉහල ස්වසන මාර්ගයේ හැදෙන ආසාදන (upper respiratory tract infection),
-
ස්වසන මාර්ගයේ පහලට වෙන්න සෑදෙන ආසාදන (lower respiratory tract infection )
-
සහ නියුමෝනියා (pneumonia) තත්ත්වය
මේ අතරින් සුලබම ආසාදනය තමයි ස්වසන මාර්ගයේ ඉහල කොටසේ සෑදෙන වයිරස් ආසාදනය. පහල කොටසේ සෑදෙන ආසාදන ඊට වඩා දුලබයි, නියුමෝනියා තත්ත්ව ඊටත් දුලබයි. ඉතින් මේ සුලබවම හැදෙන ස්වසන ආසාදන අනිත් සීරියස් ආසාදන වලින් වෙන් කරගන්න පුලුවන් නම් ඒකත් අනවශ්‍ය විදියට කලබල වෙන එකෙන් බේරෙන්න පුලුවන්. මුදල් ඉතුරු කරගන්න පුලුවන්.
ස්වසන මාර්ගයේ ඉහළ කොටස ගත්තම ඒකට අයිතියි නාසය, නාසය අවට තියන කපාල කුහර, උගුර, ග්‍රසනිකාව කියලා හඳුන්වන උගුරේ කෙලවර කොටස, ස්වරාලයේ ඉහල ප්‍රදේශය වගේ කොටස්. ඉතින් කොටස් වල එන රෝග ලක්ෂණ තමයි අපි බලන්න ඕනෙ. නාසයෙන් සොටුදියර ගැලීම, කිවිසුම් යාම, උගුර කැසීම හෝ මද වේදනාව, උගුර පැටලෙන ස්වභාවය, පාලනය කරගත නොහැකි ලෙස උගුර ප්‍රදේශයෙන් ඇතිවන වියලි හෝ සෙම සහිත කැස්ස, හිසරදය/බරගතිය වගේ රෝගලක්ෂන සාමාන්‍ය උණක් සමග මතුවෙනවා නම් එය ස්වසන මාර්ගයේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන ආසාදනයක් වෙන්න පුලුවන්. මේ අතරින් සුලබම ආසාදනය තමා නාසය අවට වැලඳෙන සෙම්ප්‍රතිශ්‍යාව (common cold). ඒක ගණන් ගත යුතු දෙයක් නෙමේ. අවශ්‍ය වෙන්නෙ විවේකය, වැඩිපුර දියර වර්ග ගැනීම, සහ අනෙක් අයට බෝ නොවීමට නිරන්තරයෙන් අතසේදීම වගේ දේවල්.
කලාතුරකින් ස්වසන ඉහළ ප්‍රදේශයේ හැදෙන ආසාදන පහල ස්වසන නාල දක්වා ගමන් කරන්නත් පුලුවන්. සීතල සහ වෙව්ලීම සමග අධික උණ, නැගිට ගැනීමට නොහැකි පමණට ශරීරයට දනෙන අපහසුව, අධික කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය, සිහි මද ගතිය හෝ සිහි විකල් වීම ලක්ෂණ තිබෙනවා නම් එය තරමක් බරපතල ස්වසන ආසාදනයක් වෙන්න පුලුවන්.
ස්වසන මාර්ගයට අමතරව රෝග ලක්ෂණයක් ලෙස උණ මතු වන තවත් පද්ධති වලට අදාල රෝගාබාධ තිබෙනවා. ඒ එකිනෙකට විශේෂ රෝග ලක්ෂණ ද තිබෙනවා. උදාහරණයකට මුත්‍රා වාහිනී පද්ධතිය ආශ්රිත ආසාදනයකදී මූත්‍රා දැවිල්ල, නිතර නිතර මුත්‍රා පහ වීම, යටි බඩ වේදනාව තිබිය හැකියි. ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ රෝග තත්වයකදී බඩේ වේදනාව, පාචනය, වමනය, කෑම අරුචිය, වැනි රෝග ලක්ෂණ උණට අමතරව පෙන්වන්න හැකියි. මීට අමතරව ආසාදනයන් නොවන වෙනත් රෝගාබාධ වලදී ද කෙටි කාලීන හෝ කල් පවත්නා උණ තිබිය හැකියි. ඒ ආකාරයට උණට අමතරව වෙනත් විශේෂ රෝග ලක්ෂණ පෙන්වන අවස්ථා ගැන විනිශ්චයකට ඒමට සාමාන්‍ය ජනතාවට හැකියාවක් නැහැ.
මෙලෙස උණ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව ලෙස ඔබ සැලකිය යුතු කරුණු කීපයක් පහත ලෙස සාරාංශ කරන්න පුලුවන්.
- ඔබට තිබෙන්නේ සාමාන්‍ය උණ පමණක් නම්, වෙනත් විශේෂ රෝග ලක්ෂණ කිසිවක් නැත්නම් බියවීමට අවශ්‍ය නැහැ. වැදගත් වන්නේ විවේකය, උණ ඇති විට පමණක් පැරසිටමෝල් භාවිතය, වැඩිපුර දියර භාවිතය සහ අනෙක් අයට බෝ නොකිරීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම යි. ඒ විදියට ඔබට දවසක් දෙකක් බලන්න පුළුවන්.
- බොහෝවිට උණට හේතු වන්නේ වයිරස් ආසාදන වන අතර ඒවා බොහොමයක් ස්වභාවිකවම සනීප වෙලා යනවා.
- නමුත් ඔබ සිටින්නේ ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා වැනි විශේෂ වසංගතයකට අවදානම් ප්‍රදේශයක නම් සාමාන්‍ය උණ තත්වයකදී වුවත් ඉක්මනින් වෛද්‍යවරයෙක් හමු වීම වැදගත්.
- ඒ හැරුණු කොට උණ සහිත ඔබ ඉක්මනින් වෛද්‍යවරයෙකුව ඉක්මනින් හමුවිය යුත්තේ පහත අවස්ථා වලදී යි.
- උණ සමග වෙනත් විශේෂ රෝග ලක්ෂණ පවතී නම්
- තද උණ , සීතල , වෙව්ලීම පවතී නම්
- දවස් දෙකකට වඩා පවතින උණ
- උණ නිසා ඔබට විශේෂ ශාරීරික අපහසුවක් දැනේ නම්
- දියවැඩියාව, වකුගඩු රෝගය, පිලිකා වැනි විශේෂ රෝග තත්වයකින් පෙලේ නම්
- මෑතකදී ශල්‍ය කර්මයකට භාජනය වූ අයෙක් නම්, ශරීරයේ තුවාලයක් තිබේ නම්
- ගර්භනී නම්
- කුඩා දරුවන්
උණ යනු රෝගයක් නොව රෝග ලක්ෂණයක්. නමුත් ඉතාම සුලබ රෝග ලක්ෂණයක්. උණ මතුවීමට බලපාන හේතු අතර සාමාන්‍ය වයිරස් ආසාදනයක සිට වෙනත් දරුණු රෝගාබාධ ද තිබිය හැකියි. නමුත් සුළු උණ තත්වයකදී කලබල වී ප්‍රතිකාර වලට යොමු වීමෙන් ඔබේ කාලය සහ මුදල් නිකරුණේ වියදම් විය හැකියි.