fbpx
29 C
Colombo
Tuesday, April 15, 2025
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk

වයස අවුරුදු 10 ක් වූ ඔබේ දරුවාට තෑගි කරන්නට අපූරු වූ පොත් ගොන්නක්

Family Tech Sponsorspot_imgspot_img

familylife.lk අපි, ෆිමිලි රීඩි තුළින් හැකි සෑම අවස්ථාවකදී සාහිත්‍ය කෘති පිළිබඳ ඔබව දැනුවත් කරන්න සුදානමින් ඉන්නවා. මේ ලිපියෙන් අපි අද අරන් එන්නේ මෙරට ළමා හා යොවුන් සාහිත්‍ය වෙනුවෙන් හරවත් කෘති රචනා කළ කතුවරුන් කිහිපදෙනෙක් සහ ඔවුන්ගේ කෘතීන් කිහිපයක් පිළිබඳ හැදින්වීමක්.

භාෂාව සහ  අන්තර්ගතය කියන කරුණු දෙකෙන් උසස්ම තත්ත්වයේ තියෙන මේ කෘති, වයස අවුරුදු 10න් පමණ ඉහළ දරුවන් වෙනුවෙන් තමයි රචනා වෙලා තියෙන්නේ. අපි මේ සටහන කතුවරයාගේ නමින්ම හඳුන්වන්නේ එක් එක් කතුවරයාගෙන් වටිනා කෘතීන් රැසක්ම ලියැවී ඇති නිසායි. වගේම මේ ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ දරුවන්ට කියන්නට පරිවර්ථන කෘතීන්ම සොයන මවුපියන්ට ලංකාවේ නියම බස් වහර, ජීවන රටා දරුවන්ට කියාදෙන්නට මෙන්ම තමන්ගේම අතීතකාමය අවුස්සාගන්නටත් මේ කෘතීන් හරහා හැකිවීමයි.

කුලසේන ෆොන්සේකා

  • බුරු පොරය
  • සිරිමල්ගේ වික්‍රම
  • තුන් යහළු වික්‍රමය
  • සෝමපුර වීරයෝ
  • රන්සිරිගේ සංග්‍රාමය
  • කල්ලන්දුවේ මුතු කොල්ලය

වැනි අමතක කරන්න බැරි පොත් රචනා කළ කුලසේන ෆොන්සේකා කියන්නේ ළමා සහ නව යොවුන් පාඨකයින්ට පොත් පත් කියවීමේ ආසාව ඇති කරපු කතුවරයෙක් කීවොත් නිවැරදියි.

මේ පොත්වලින් බොහොමයක ප්‍රධාන චරිතය හෝ චරිත වීරයෙක් කරවමින් තමයි කතාව ගොඩනැගිලා තියෙන්නේ. මේවායින් සිරිමල්ගේ වික්‍රම කියන කෘතිය පුරාවටම අඩංගු වෙලා තියෙන්නේ හාස්‍යජනක සිදුවීම්. ළමා හිත්වල ඇති අව්‍යාජත්වය, අවංකකම, මානව හිතවාදී ගුණය, බුද්ධිමත්කම සහ නිර්භීතකම වගේ ගුණාංග ඉස්මතු කරවමින් කතාන්දරයක් ගොඩනැගීම කතුවරයාගේ උත්සාහය වෙලා තියෙනවා.

ටී. බී ඉලංගරත්න

මහනුවර ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු ටී.බී. ඉලංගරත්න මහතා රචනා කළ පොත්පත් සියල්ලෙන්ම පාහේ උඩරට සිංහල ගැමි ජීවිතයේ චාරිත්‍ර වාරිත්‍ර, ගති පැවතුම් සහ ව්‍යවහාරික බස, සරලබව, ජීවනෝපාය, සාරධර්ම වගේ දේවල් පිළිබඳව කරුණු හෙළිවෙනවා.

වගේම තමන්ගේ ළමා කාලය, තරුණ කාලය වගේම විවාහය කියන ජිවන සංසිද්ධිවලට අදාළ කරුණු ඇසුරු කරගනිමිනුත් මෙතුමා කෘති රචනා කරලා තියෙනවා.  ටී. බී ඉලංගරත්න කියන නමත් එක්කම ඈඳුණුඅඹ යාළුවෝකෘතිය වගේම ටෙලි  නාට්‍ය ගැන තියෙන මතකයන් අදටත් අපේ සිතිවිලි ළමා කාලයට අරන් යනවා. ඊට අමතරව

  • තිලක
  • විලම්බීත
  • තිලක හා තිලකා
  • හපනා
  • නෑදෑයෝ
  • නයනා
  • මංගලා

වගේ නවකතා විශාල සංඛ්‍යාවකුත් ළමා කෙටි කතා කිහිපයකුත් මෙතුමා අතින් රචනා වෙලා තියෙනවා. මේ පොත්වල විශේෂත්වය වන  සරල කෙටි වාක්‍ය, ගැමි යෙදුම් සහ කුඩා පරිච්චේද සහිත බව නිසා කතාව නොනවත්වා කියවගෙන යාමේදී අපහසුවක් ඇතිවෙන්නෙත් නෑ.

මාර්ටින් වික්‍රමසිංහ

ළමා සහ යොවුන් සාහිත්‍ය ගැන කතා කරනකොට අමතක කරන්න බැරි පොතක්  විදියටමඩොල්දුවහදුන්වන්න පුලුවන්. ඊට අමතරව කතුවරයාගේ ළමා කාලයේ අත්දැකීම් ඇසුරින් ලියවුනු

  • මගේ කතාව
  • උපන්දා සිට
  • විද්‍යා විනෝද කතා

වගේ ළමා සහ යොවුන් නවකතා මෙතුමා අතින් ලියවිලා තියෙනවා. සරල උපමා, රූපක, දකුණු ලකට අවේනික සහ චිත්ත රූප මවන සරල බස් වහර නිසා මේ පොත් දරුවෙකුට කියවන්න සුදුසු ආකාරයේ පොත් විදියට සලකන්න පුළුවන්. වගේම දරුවෙකුට ලියන්නට තරමේ සුදුසු පෙළඹවීමක් කරන්නටත් රචකයාට හැකියාව තිබෙනවා. බොහෝ දුරට මවාපෑම් නැති සත්‍ය කරුණු අඩංගු වීමත් විශේෂ කරුණක් විදියට පෙන්වන්න පුළුවන්.

දොන් පීටර් පියතුමා

  • ගැටවර මුලාව
  • වාසනා මහල් (කෙටි කතා)
  • අමල්ගේ බල්ලා
  • වන ගත ළමෝ
  • හොල්මන් දුපත
  • ඩිංකි
  • විදුහලේ විත්ති

වගේ පොත් රචනා කරපු දොන් පීටර් පියතුමා කියන්නෙත් ළමා සහ යොවුන් සාහිත්‍ය ගැන කතාකරනකොට අමතක කරන්න බැරි රචකයෙක්. ඛේදාන්තයකින් අවසන් වන බොහෝ කෘතීන් තිබුනත් වැඩි වශයෙන් මෙතුමා අතින් ලියවුනෙත් වීර ළමා කතා කාණ්ඩයට අයත් වෙන කෘති.

තමන්ගේ කෘති හරහා කුඩා දරුවන්ට ආදර්ශය සපයන්නත්,  කුඩා දරුවන් තුල ඇති මානව දයාව, සංවේදීබව, සත්ත්ව කරුණාව වගේ ගුණාංග ගැන කතා කරන්නත්, කියවීම හරහා විනෝදය වගේම පරිකල්පන හැකියාව නගා සිටුවන්නත් මෙතුමා උත්සහ කරලා තියෙනවා.

හේමචන්ද්‍රිකා ලියනගේ

  • කතුවරියගේ
  • තැනට සුදුසු නුවණ
  • පින් ළමයා
  • දිරි දැරියෝ
  • මල් සමනලියෝ
  • මිහිරි කල්පනා

වගේ බොහෝ දුරට  නව යොවුන් දැරියන්  ප්‍රධාන චරිත විදියට අරන් ලියවුනු යොවුන් නවකතා විදියට හදුන්වන්න පුළුවන්. පින් ළමයා, දිරි දැරියෝ, මල් සමනලියෝ කියන්නේ පාසල් දැරියන් කිහිපදෙනෙක් පිළිබඳව කියවෙන බොහොම රසවත් තුන් ඈඳුතු නවකතා පෙළක්.

තමන්ගෙන් සිදුවන වැරදි නිවැරදි කරගනිමින්, මුහුණදීමට සිදුවන ගැටළු විසදගනිමින් ජීවිතය ජයගන්න උත්සහ කරන චරිත පිළිබද කතා පුවත් මේ පොත්වල අඩංගු වෙනවා. ඉතාම සරල, විනෝදකාමී සහ කුතුහලය දනවන ආකාරයට ලියවිලා තියෙන මේ පොත් කිහිපයත් කුඩා දරුවෙකුට අසාවෙන් කියවන්න පුළුවන් කෘති විදියට හදුන්වන්න පුලුවන්.

පියසේන කහඳගමගේ

දේශපාලන පළිගැනීම් ලෙස ජිවිත කාලය පුරාවට දුෂ්කර ප්‍රදේශවල ස්ථාන මාරුවීම ලැබූ පියසේන කහදගම මහතා එම  ප්‍රදේශවල ජන ජීවිතය ආශ්‍රය කරගෙන, සත්‍ය කරුණු අඩංගු පර්යේෂණාත්මක කෘති රචනා කළා. බින්තැන්න, දඹාන, මින්නේරිය, දිගාමඩුල්ල  ප්‍රදේශවල සමාජ, ආර්ථික, සංස්කෘතික වටපිටාව, දුෂ්කරතා, කුඹුරු ගොවිතැන, හේන් වගාව සහ ආශ්‍රිත බස් වහර වගේ දේවල් ඇසුරු කරගෙන

  • අපේ ගමේ විත්ති
  • හේනේ විත්ති
  • වනගත චාරිකා
  • සාරකෙත
  • රන්වන් කරල්
  • බින්තැන්නේ විත්ති
  • කෙතක මහිම
  • වනේ ඇඳුනු පියසටහන්
  • දඩබිමේ හපන්නු

වගේ බොහෝ පොත් පාසල් දරුවන්ට අතිරේක කියවීම් විදියට පවා නිර්දේශ වෙලා තියෙනවා. මිට අමතරව කොටිරාලට පාඩමක්, පනාමුරේ ඇත්රාජා සහ හොල්මන් කොරිය ඇතුළු තවත් පොත් ගණනාවකුත් මෙතුමා අතින් රචනා වෙලා තියෙනවා.

ඩී. ඇම්. කරුණාරත්න

ඩී. ඇම්. කරුණාරත්න මහතා අතින් ලියවුනු යොවුන් සාහිත්‍ය කෘති අතරෙන්

  • කම්මලේ දෝංකාරය
  • ගිම්හානයේ වික්‍රමයක්
  • බස්තියන්ගේ සොහොන
  • කදුකරයේ දඩයම

කියන පොත් කිහිපය ප්‍රධාන වෙනවා. මෙයින් කම්මලේ දෝංකාරය හැරුණම අනිත් පොත් රහස් පරීක්ෂක කතා පොත් විදියට හදුන්වන්න පුළුවන්.

විශේෂම කරුණ තමයි සාමාන්‍යයෙන් රහස් පරීක්ෂක කතා රචනයට මෙරට කතුවරුන් පෙළඹෙන අවස්ථා විරල වුවත්, කුතුහලය සහ සරල බව නොනැසෙන විදියට මෙවැනි පොත් රචනයට කතුවරයා සමත්කමක් පෙන්වීමයි.

දෙනගම සිරිවර්ධන

සුන්දර සහ ඉතා සංවේදී කතා තේමාවන් ඇතුළත් කෘතින් රචනා කතුවරයෙක් විදියට දෙනගම සිරිවර්ධන මහතා හදුන්වන්න පුළුවන්.

  • කතරක පිපුණු මල් දෙකක්
  • පුංචි ගොපල්ලා
  • අපට අපේ අත්
  • ගුරු පඬුරු
  • මිතුරෝ
  • තාත්තලා සහ පුත්තු
  • වැහි වලාව
  • පුංචි ගොපල්ලා

වගේ කෘතිවලින් මානුෂික සම්බන්ධතා, සමාජයේ ඇති ගැටළු, මාපිය ගැටුම් නිසා අසරණ වන දරුවන්, දුෂ්කර දිවි පැවතුම් වගේ කරුණු ගැන කතා කරනවා. මේ දේවල් ළමා හා යොවුන් මනසට කාවදින විදියකට සරලව සහ තාත්වික විදියට රචනා කරන්නත් කතුවරයා සමත් වෙලා තියෙනවා.


ඔබ වැනිම පොතට පතට ආදරය කරන, දැනුමට, රසවින්දනයට ප්‍රියකරන තවත් අයෙකුගේ යහපත වෙනුවෙන් පහත මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න


මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

Colombo
broken clouds
29 ° C
29 °
29 °
78 %
3.2kmh
63 %
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
30 °
Sat
29 °
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
error: Content is protected !!
www.familylife.lk

හොඳම දේ ඔබ ලඟටම...

දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු