පොඩි දරුවෙක්ගේ මනස කියන්නේ තනි සුදු කොළයක් වගේ පිරිසිදු දෙයක්. ජාත්‍යන්තර ළමා දිනය සමරන අද දවසේ familylife.lk අපි කතා කරන්නෙ අවට පරිසරය නිසා දරුවාගේ පිරිසිදු ළමා මනසට වන බලපෑම ගැනයි.
ඉපදෙන්නත් කළින්ම…
ඒ පිරිසිදු මනස දීප්තිමත් වර්ණවලින් සහ හැඩතලවලින් පිරෙන්න පටන් ගන්නේ දරුවා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් ඉඳලාමයි. නවතම සොයාගැනීම්වලට අනුව නම් මව් කුසට මාස 4-5 ක් වන කාලේ ඉදලම දරුවට නොයෙක් දේවල් දැනෙන්න පටන් ගන්නවා. යහපත් දේවල් කතාකරන්න සහ අහන්න වගේම මනස සතුටින් සහ නිරවුලව තියාගන්න කියලත් අම්මට උපදෙස් ලැබෙන්නේ මේ නිසයි. වෙනත් විදියකට කීවොත් අම්මා අත්විදින දුක, සතුට, කෝපය, සැනසීම වගේ හැගීම් සියල්ලක්ම කුසේ ඉන්න දරුවටත් දැනෙනවා. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තා කතාබහ කරන හැම දේම දරුවට ඇහෙනවා.
සරලවම කීවොත් වටපිටාව විසින්, විශේෂයෙන්ම දෙමව්පියන් විසින් දරුවට ලබාදෙන හොද නරක සියල්ලක්ම ඉපදෙන්නත් කලින් ඉඳලම ළදරු මනස විසින් උකහාගන්න පටන් ගන්නවා. මේ ලෝකේ එළිය දකින්නත් කලින් ඉඳලම අත්දැකීම් ලබන පොඩ්ඩොන්ට ඉතාම කුඩා වයසේ පටන්ම වේගයෙන් දේවල් ග්‍රහනය කරගෙන ඉගෙනගැනීමේ හැකියාව තියෙනවා.
ඔබ වගකීම් සහගත මවක්, පියෙක් නම් සීමාවක් නොමැතිව දරුවාගේ මනසට ඇතුළත් වන දේවල්වල තියෙන යහපත්, අයහපත් දේ තෝරා බේරා ගැනීමට දරුවට උපකාර කිරීම ඉතාම වැදගත් වෙනවා. සුදුසු ප්‍රේක්ෂකයන් සහ පාඨකයන් තෝරාබේරාගෙන සමාජයට යම් යම් දේ ලබාදෙන්න තරම් මිනිස්සු සැළකිලිමත් නොවීම මේකට මූලිකම හේතුවක් විදියට දක්වන්න පුළුවන්.
වෙනත් විදියකින් කීවොත් තමන් කරන කියන දේවල් කරන්නේ සුදුසු අවස්ථාවකදීද? සුදුසු අය ඉදිරිපිටදීද? කියන කරුණ වටහාගෙන ක්‍රියාකරන්න තරම් ඇතැම් පුද්ගලයින් සැළකිලිමත් නොවීම මේකට හේතුව වෙනවා. ඔබේ දරුවාත් මේ කියන දේවල්වලට ඍජුවම නිරාවරණය වෙනවානම් පොඩ්ඩා එයින් මුදවාගන්න මේ ලිපිය තුළින් ප්‍රයෝජණයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
තාක්‍ෂණයේ අඳුරු පැත්ත
තාක්ෂණික දියුණුවත්, වැඩිහිටියන්ගේ අධික කාර්‍යබහුලත්වයත් ඇතුළු කරුණු ගණනාවක් නිසා කුඩා දරුවන් රූපවාහිනිය, ජංගම දුරකථනය වගේ තාක්ෂණික මෙවලම්වලටත්, අන්තර්ජාලයටත් ඇති නැඹුරුව මේ වෙනකොට ඉහළ ගිහින් තියෙනවා. මේ හරහා සමාජ ජාල වෙබ් අඩවි, වීඩියෝ දර්ශන, විඩීයෝ ක්‍රීඩා වගේ දේවල්වලට පහසුවෙන් ලඟා වීමට දරුවාට ඉඩ ලැබෙනවා සහ ඔවුන් ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් පුදුමාකාර වේගයකින් ඉගෙනගන්නවා. තමන් ජීවත්වන පරිසරයෙන් වගේම ඇසුරු කරන්නන්ගෙන් ලබාගන්නා දේවල් තරමටම මේ කියන දේවලුත් දරුවාගේ හැසිරීම් වලට බලපානවා.
වයසින් වැඩීමත් එක්කම සමාජයට වැඩි වශයෙන් නිරාවරණය වෙන දරුවා මේ දේවල් වලින් සම්පූර්ණයෙන්ම මුදවා ගැනීම කරන්න අමාරු සහ නුසුදුසු දෙයක් උනත් දරුවා පිළිබඳව දැඩි අවධානය සහ සෙනෙහස දක්වමින් ජීවිතයට ලබාගත යුතු සහ නොයුතු දේවල් ගැන යම් අවබෝධයක් ලබාදීම වැඩිහිටියන්ට කළ හැකි දෙයක්.
ජාතිය, ආගම, කුලය, පැහැය, ලිංගිකත්වය, ප්‍රාදේශිකත්වය, භාෂාව, දේශපාලනික මතවාද වැනි ඕනෑම කරුණක් මුල්කරගෙන වෛරීසහගත සහ අපහාසාත්මක ප්‍රකාශ කිරීම මේ වෙනකොට ඉතාම සුලබ දෙයක් බවට පත්වෙලා තියෙනවා. මේ දේවල් වේගයෙන් සමාජය තුළ ව්‍යාප්ත කිරීම ඉතාම ලේසි පහසු දෙයක් බවටත් පත්වෙලා. වෛරීසහගත ප්‍රකාශවලින් නොනැවතී ඒවා ඔස්සේ ක්‍රියාකිරීමට පෙළඹෙන ආකාරය පවා මේ වෙනකොට දකින්නට ඉඩ ලැබෙනවා. කෙටියෙන්ම කිවහොත් ඉහත සදහන් කරපු කරුණුවලින් කුමක් හෝ සම්බන්ධ කරගනිමින් පහසුවෙන්ම ඇණකොටා ගන්නා තත්ත්වයට ඇතැම් පුද්ගලයින් පත්වෙනවා.
දේශපාලකයන්ගේ හා මාධ්‍යයේ වගකීම
විශේෂයෙන් අද වන විට මාධ්‍ය වල වැඩි කාලයක් හා අවධානයක් යොමු කරන්නේ ප්‍රේක්‍ෂක මනස තුල දැඩි වික්ෂිප්තභාවයක් ඇති කළ හැකි පුවත් හා වැඩසටහන් වෙනුවෙන්. මාධ්‍ය ආයතන අතර පවතින තරඟයේ අවාසනාවන්ත ගොදුරු බවට පත්වන්නේ මේ වැඩසටහන් දෙස බලා සිටින ඔබේ අසරණ දරුවායි. රට මනාව පාලනය කරමින් දරුවන්ගේ අනාගතය යහපත් කරන්නට දිවුරා පොරොන්දු වන දේශපාලකයින් තම තමන්ට නිති පතා බැන අඬ ගසමින් සෑම මාධ්‍යකම ප්‍රවෘත්ති ගුවන් කාලයෙන් වැඩි කොටසක් භුක්ති විඳිනවා. මේවා දකින දරුවන්ට ඔවුන්ගේ අනාගතය ගැන ඇතිවන්නේ අස්ථාවර බියමුසු හැඟීමක්.
මත්පැනට, මත්ද්‍රව්‍යට සහ සොරකම් මැරකම්වලට ඇබ්බැහි වුනු පුද්ගලයන්ගෙන් ගහණ පරිසරයක් නම් සමාජ සම්මතයන් සහ වැදගත් හැසිරීම පිළිබඳ නිසි අවබොධයක් ලබාගැනීමේ ඉඩ කඩ ඇහිරෙනවා. මාධ්‍ය ඔස්සේ හෝ විශේෂයෙන් ප්‍රවෘත්තිවලින් සොරකම්, මිනීමැරුම් වැනි භීෂණකාරී දේවල් නිරතුරුවම දකින විට ජීවිතයක ඇති වටිනාකම පිළිබඳව පවා ඇති හැඟීම දරුවා තුළින් ඉවත්වීමට ඉඩ තියෙනවා.
ඉහතින් සදහන් කළ දේ මාධ්‍යය ඔස්සේ නිරන්තරයෙන් දකින දරුවාට ඒ දේවල් පහසුවෙන්ම සාමාන්‍යකරණය වෙනවා. තමා ජීවත්වන නිවස සහ අවට පරිසරය නිරතුරුවම අඩදඹර, කළකෝලාහල, බැන අඩගැසීම් වලින් පිරුණු වටපිටාවක් නම් යහපත් ආදර්ශ ලබාගන්න තිබෙන ඉඩ කඩ ඇහිරෙනවා.
ඉවසීමෙන්, දුරදිග බලා සහ නම්‍යශීලීව සිතා බලා ගැටළු විසදාගැනීමේ ඇති වැදගත්කම ගැන අවබෝධය කුඩා වයසේදීම නැතිවෙලා යන්නත් මේ දේවල් හේතුවක් වෙන්න පුළුවන්. පහසුවෙන් කෝපයට පත්වෙමින්, අත පය භාවිතා කරමින්, කෙටි ක්‍රම ඔස්සේ මිස බුද්දියෙන් ගැටලු විසදාගැනීමේ වඩා ඵලදායි බව වටහාගැනීමට ශක්තිය මේ නිසා දරුවාට අහිමි වෙනවා.
මෙවැනි ක්‍රියාවලින් වැරදි වැටහීම් වලට එලඹෙන දරුවෙක් පාසලේදී හෝ අනෙක් දරුවන් සමග හැසිරීමේදී අන් අය පීඩාවට පත් කිරීමටත්, පාලනය කිරීමට අපහසු ආකාරයේ හැසිරීම් පෙන්නුම් කිරීමටත් ඇති ඉඩ කඩ ඉහළ වෙනවා. ඒ නිසාම එවැනි දරුණු සිදුවීම් දරුවාගේ මනසට ඇතුළු වීම වළක්වාගැනීම දෙමවුපියන්ට අනාගතයේ මහත් අස්වැසිල්ලක් ගෙන දේවි. රටටත් යහපත් පුරවැසියෙක් නිර්මාණය වේවි.
අපි ඔබට මෙම ලිපියෙන් කරන්නේ ඔබේ දරුවා පිළිබඳ අනතුරු හැඟවීමක්. ඒ වෙනුවෙන් ඔබේ දෑස් ඇර තබා ගන්නට කරන සිහි කැඳවීමක්.
විශේෂයෙන් අදට යෙදෙන (ඔක් 1) ජාත්‍යන්තර ළමා දිනයේදීවත් ඔවුන් දෙස විමසිල්ලෙන් බලන්නට සමාජයේ ඔබ සියලු දෙනාට මතකට නැගේවා යන්න familylife.lk අපගේ ප්‍රාර්ථනයයි
අනෙකුත් දරු සෙනෙහස ලිපි සඳහා පිවිසෙන්න
තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසෙන්න
ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.
කවරයේ ඡායරූපය -simplytodaylife.com