fbpx
More
    26.9 C
    Colombo
    Monday, April 7, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අම්මාගේ දන්ත සෞඛ්‍යය දරුවාගේ දත් රැකෙන්න බලපාන බව දන්නවද?

    Family Tech Sponsorspot_imgspot_img

    familylife.lk අප අද මවුසිහිනය තුළින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ගැබිනි අම්මාගේ දන්ත සෞඛ්‍යය පිළිබඳවයි. ඒ පිළිබඳ සාකච්ඡාව මෙතරම් වැදගත් වන්නේ ගර්භනී කාන්තාවක් සෑමවිටම තම පිරිසිදුතාවය කෙරෙහි අවධානයෙන් සිටීම ඔබේ මෙන්ම ඔබේ දරුවාගේ සෞඛ්‍ය කෙරෙහිද බලපෑම් ඇති කිරීමට සමත් වන බැවිනි.

    උතුම් මව් පදවිය ලැබීම යනු කාන්තාවකට ජිවිතයේ ලැබිය හැකි සුන්දරම අත්දැකීමක් බව සැබෑවකි. නමුත් එහි සුන්දරත්වය නියමාකාරයෙන් අත්විඳීමට අවස්ථාව ලැබෙන්නේ දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් වූ වගකීම් නිසි ආකාරව ඉටු කරන්නට වූ විට පමණි. විශේෂයෙන්ම දරුවෙකු පිළිසිඳගත් බව දැනගත් දින සිටම ඒ සඳහා අවශ්‍ය වගකීම් දෙමව්පියන් ලෙස ඔබ කරට ගත යුතු වෙයි. එහිදී මවගේ වගකීම් සහගත බව අන් කවරටත් වඩා වැදගත් වෙයි.

    ගැබිනි අම්මාගේ දන්ත සෞඛ්‍ය

    ගර්භනී මව්වරුන් හෝ වේවා වෙනත් සාමාන්‍ය පුද්ගලයෙකු හෝ වේවා තමන්ගේ දත් සම්බන්ධව නිරන්තර අවධානයකින් සිටීම වැදගත්. එලෙසම එය නිවැරදි ලෙස ආරක්ෂා කර ගැනීමද වැදගත්. දිනපතා දවසට දෙවරක් කෑමට පසු දත් මැදීම, ඔබ ලබාගන්නා සෑම සුළු හෝ ප්‍රධාන ආහාර වේලකට පසුවම කට සේදීම සහ ජලය පානය කිරීම සම්බන්ධව නිරන්තර අවධානයෙන් සිටීම, ප්‍රධාන වශයෙන් යහපත් මුඛ සෞඛ්‍යයක් වෙනුවෙන් ඔබට උපකාරී වේ.

    එලෙසම තම මුඛ සෞඛ්‍ය සම්බන්ධව සැකයක් හෝ ප්‍රශ්නයක් ඇති වූ විට හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙකු වෙත යාමටද වගබලා ගත යුතුය. අඩුම තරමේ මාස 6කට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් දත් පරීක්ෂාවක් සිදුකර ගැනීම වැදගත්.

    ගර්භණී සමයේදී මව්වරුන්ගේ ඇතිවන දත් දිරීමක්, විදුරුමස්වල ඇතිවන රෝගී තත්ත්වයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක මුඛ සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයකදී ගර්භණී සමයේ මුල් මාස තුන හැර මැද මාස තුන ඇතුළතදී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීම අනිවාර්යයි. එසේ නොමැති වූ විට ඉතා බරපතල තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන අවස්ථාද අද වනවිට විරල නොවේ.

    ගැබිනි සමයේ මුඛ සෞඛ්‍ය සම්බන්ධ වැරදි මත රාශියක් අප අතර පවතී.

    මව අවැසි තරමින් කැල්සියම් නොගත්විට ඇයගේ දත්වල කැල්සියම් දිය වී ඒවා දරුවාට ලැබෙන බව පැවසීම ඉන් එකකි. එලෙසම වමනය යන කාලයට දත් මැදීම සිදු නොකළ යුතු බවද ගැබිනි සමයේ දන්ත ප්‍රතිකාර කිරීමෙන් වැලකි සිටිය යුතු බවටද තවත් මත රාශියකි. නමුත් මතක තබා ගත යුතුම කාරණය වන්නේ මේවා සියල්ල අසත්‍ය මතයන් බවයි.

    මෙවැනි අසත්‍ය මතයන් පිළිගෙන තම මුඛ සෞඛ්‍ය පිළිබඳ අවධානය නොදෙන, නොඑසේ නම් වැරදි පුරුදුවල යෙදෙන මව්වරුන්ට සැබවින්ම ඉදිරියේදී ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවන බව නම් නොරහසකි.

    ගැබිනි සමයේ ඔබගේ දත්වල කිසියම් හෝ ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී ඇත්නම් මෙවැනි කාලයක ඒ සඳහා ප්‍රතිකාර ගැනීම නුසුදුසු යැයි සිතා එය සඟවාගෙන සිටීම වෙනුවට සිදුවිය යුත්තේ දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂාවක් කරගැනීමයි.

    එලෙස වෛද්‍ය උපදෙස් නොගෙන සිටීමෙන් තත්ත්වය තවත් බරපතල වියහැකි අතර ඉතා අවම මට්ටමේ ඇති ගැටලුවක් අනවශ්‍ය බිය හෝ මිත්‍යා මතවල එල්බගෙන සිටීම හේතුවෙන් බරපතල තත්ත්වයන් දක්වා පත්වීමට බොහෝවිට ඉඩකඩ ඇත. එනිසා වඩාත්ම සුදුසු වන්නේ ගර්භනී ඔබගේ මුඛ සෞඛ්‍ය සම්බන්ධ කිසියම් වෙනසක් දැනුනු වහාම දන්ත වෛද්‍යවරයෙක් වෙත ගොස් උපදෙස් ලබා ගැනීමයි.

    වමනය යන කාලයට දත් මැදීමේ තරමක අපහසුවක් ඇති වීම සාමාන්‍ය කරුණකි. නමුත් එසේ සිතා දත් මැදීමෙන් වැළකී සිටීම වෙනුවට ඒ වෙනුවෙන් තමන්ට ගැලපෙන නිවැරදි ක්‍රමයක් තෝරාගැනීම වැදගත්ය. උදාහරණයක් ලෙස දන්තාලේපය මාරු කිරීම වැනි ක්‍රමයක් උත්සහ කළ හැක.

    මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණු කිහිපයක්ද වෙයි. යම් අවස්ථාවන්වලදී දත් නරක් වීමෙන් සැරවා එකතු වීමක් සිදුවිය හැකි අතර එමගින් ඇතිවන තුවාලයන් ඉතා වේදනාකාරී විය හැක. එවැනි අවස්ථාවල දන්ත වෛද්‍ය උපදෙස් වෙත ගැබිනි මව යොමු කිරීම අතිශය වැදගත් කාරණයකි. එලෙසම ගර්භනී මවකගේ මුඛයේ විදුරුමස් හා ඊට යටින් පවතින අස්ථි කොටස් දියවීම වැනි රෝග තත්ත්වයන්ද ඇතිවිය හැකි අතර එය කුස තුළ සිටින දරුවාටද ඉතා අහිතකර ලෙස බලපෑම් කිරීමට සමත්ය.

    සාමාන්‍යයෙන් ගර්භනී මවකට විදුරුමස් රෝගයක් පවතින අවස්ථාවන්හිදී සෑමවිටම බැක්ටීරියා මුදා හැරීමක් ඒ හරහා සිදුවේ. මෙහි ප්‍රතිපලයක් ලෙස උපත් බර අඩු දරුවන්, නොමේරූ දරුවන් මෙන්ම මළ දරු උපත් ඇතිවීමේ අවධානමක්ද පවතී.

    දරු ප්‍රසූතියකින් අනතුරුව දත් දුර්වල වීම, කැඩී යාම, දිරා යාම වැනි තත්ත්වයන් ඇතිවීම කෙරෙහි දරු ප්‍රසූතිය සෘජුවම බලපෑම් නොකරයි. එය හඳුන්වාදිය හැක්කේ ගර්භනී සමයේ සිදුවන යම් යම් වෙනස්කම්වලට මව අනුගත නොවීම නිසා ඇතිවන තත්ත්වයක් ලෙසයි.

    සාමාන්‍යයෙන් ගර්භනී සමයේදී මවගේ ආහාර රටාව වෙනදාට වඩා යම් වෙනස්වීමකට ලක් වෙයි. වෙනදා ලබාගත් ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව කෙටි ආහාර වේලක් හෝ ආහාර වේල් කිහිපයක් ලබාගැනීමට මව්වරුන්ට සිදුවීම සාමාන්‍ය දෙයකි. නමුත් ඒ සෑම කෙටි ආහාර වේලකින් පසුවද හොඳින් කට සෝදා ජලය පානය කිරීමට ඔබ තුළ පුරුද්දක් ඇති කරගැනීම මෙහිදී වඩා වැදගත්ය.

    එසේ නොවුනහොත් දත් දිරා යාමට ඇති ප්‍රවනතාවය ඒ හරහා තව තවත් වැඩි වීමට ඉඩකඩ පවතී. නමුත් ඒ දත් දිරායාමට හේතුවිය හැකි එක් අවස්ථාවක් පමණයි. මීට බලපෑ හැකි තවත් හේතු තිබිය හැකිය. සමහර මව්වරුන්ට ගැබිනි සමයේ මුල් මාස තුන ඇතුළතදී තදබල ලෙස වමනය ඇතිවීමට ඉඩකඩ පවතින අතර එමගින් මුඛයේ ආම්ලිකතාවය වැඩි වී දත් ක්ෂය වීමකට ලක්වීමෙන් එනමලය දියවී යාමක් සිදුවිය හැකිය.

    ගැබිනි අම්මාගේ දන්ත සෞඛ්‍ය

    මෙලෙස ඇතිවන දන්ත රෝගී තත්ත්වය ඉරෝෂන් ( Erosion ) ලෙස හඳුන්වන අතර ඒ නිසා දත් හිරි වැටීමකටද ලක්විය හැක. මෙවැනි තත්ත්වයකදී දත් නොමැද සිටීම නොකළ යුතු අතර ඒ හරහා සිදුවන්නේ තත්ත්වය තවත් උත්සන්න වීම පමණයි. එනිසා මෙවැනි තත්ත්වයකදී ඔබගේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය කරුණක්.

    දත් නොමැද සිටීමෙන් බැක්ටීරියා තැම්පත් වීම චක්‍රයක් සේ සිදුවන නිසා උදැසන දත් මැදීම කළ නොහැකි කෙනෙකුට කෙසේ හෝ පැය 24කට දෙවරක් දත් මැදීම කලයුතු බවට වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙයි. එවැනි තත්ත්වයකදී විසඳුම් ලෙස භාෂ්මික ද්‍රාවණ මගින් මුඛය සේදීම, වෛද්‍ය උපදෙස් සහිතව ෆ්ලෝරයිඩ් අඩංගු කට සෝදන දියර වර්ගයක් භාවිත කිරීම සිදුකල හැකියග\.

    ගර්භනී සමයේදී ශරීරයේ සිදුවන හෝමෝන සාන්ද්‍රනයේ වෙනස්වීමද, මුඛයේ විදුරුමස් දියවීම කෙරෙහි බෙහෙවින් බලපෑම් ඇති කරයි. එමගින් විදුරුමස් ඉදිමීමකට ලක්වන අතර දත් මැදීමේදී විදුරුමස්වලින් රුධිරය ගැලීමක්ද සිදුවිය හැකිය.

    මෙවැනි තත්ත්වයකදී බොහෝ මව්වරුන් දත් මැදීම අඩු කිරීමට හෝ දත් නොමැද සිටීමට කටයුතු කරන අතර එය කිසිසේත් නොකළ යුත්තකි. කෙසේ හෝ දිනපතා දවසට දෙවරක් දත් මැදීම අනිවාර්යෙන්ම කළ යුත්තක් බව මතක තබා ගත යුතුය.

    කෙසේ නමුත් මව්වරුන්ගේ නොසැලකිලිමත්කම බොහෝවිට ඔවුන්ගේ මුඛ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවලට හේතුවන අතර යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වාගැනීම කුස තුළ වැඩෙන දරුවා තුළද යහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වයක් නිරායාසයෙන්ම ඇති කිරීමට හේතු වනු ඇති බවද මතක තබා ගත යුතුය.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් අම්බලන්ගොඩ මෙඩිප්ලස් දන්ත ශල්‍යාගාරයේ දන්ත ශල්‍ය වෛද්‍ය එස්. ඒ. එල්. ආලංක මහාතා දැක්වූ සහයෝගයට Familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26.9 ° C
    26.9 °
    26.9 °
    85 %
    2.4kmh
    93 %
    Mon
    30 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු