ගෙවතු වගාව ගැන උනන්දු වෙන්න බොහෝ දෙනෙකුට මග විවර කරන කාරනයක් තමයි, මේ වෙනකොට අපි ආහාරයට ගන්න දේවල් වලින් වස විස අඩංගු වෙලා නැති දේවල් තියෙනවනම් ඒ බොහොම පොඩි ප්‍රමාණයක් වීම. අපි කන බොන හැම දෙයකම වගේ දිගුකාලීනව අපේ ශරීරයට අහිතකර වන රසායනික ද්‍රව්‍ය වර්ග පිරිලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
කෑමට එකතු කරන කුළු බඩුවල ඉදලා එළවලු, පළතුරු, පලා, සහල්, මස්, මාළු වගේ ශරීරයට අත්‍යවශ්‍ය කිසිම ආහාර ද්‍රව්‍යක් මේ වස විස වලින් බේරිලා නෑ. වස විස නැති කාබනික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් බහුතරයක් පාරිභෝගිකයින්ට දරන්න පුළුවන් මට්ටමක නැති නිසා මේ වගේ අවස්ථාවකදි තියෙන හොදම විසදුම විදියට පෙනෙන්නේ තමන්ට ඇති හැකි විදියට එළවලු, පළතුරු, පලා ටිකක් ගෙදරම වගා කරගන්න එක විතරයි. ඒ හින්ද කාටත් වැදගත්, “ගෙවතු වගාවක් පටන් ගන්න කලින් තීරණය කරන්න අවශ්‍ය වෙන කරුණු” කීපයක් සාකච්ඡා කරන්න familylife.lk අපි කල්පනා කලා.

වගා කරන්නේ මොනව ද?
එලවළු, පළතුරු, පලා හෝ මල් තමයි සාමාන්‍යෙන් වගා කරන්නේ. මෙතනදි ඔබ ආහාරයට ගන්න අකමැති දේවල්වලට වඩා කැමති දේවල් ගැන අවධානය යොමු කරනවනම් තමයි ආසාවෙන් ගෙවතු වගාව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ දේවල් තමන්ගේ ප්‍රදේශයේ වගා කරන්න සුදුසු ද නැද්ද කියන කරුණත් සොයලා බලන්න. සාර්ථක ගෙවතු වගාව පවත්වාගෙන යන අසල්වැසියන්ගෙන් වගේම ගොවිජන සේවා හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහාත් අවශ්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්කම තියෙනවා.
වගාව පටන් ගන්න ස්ථානය.
ප්‍රමාණවත් තරම් ඉර එළිය ලැබෙන, සතුන්ගෙන් හානි අවම වෙන, කුඩා දරුවන් ක්‍රීඩා නොකරන, තද සුළං නොලබන, ජලය යෙදීමට සහ රැක බලා ගැනීමට පහසු ස්ථානයක වගාව ආරම්භ කිරීම හැම අතින්ම ඔබට පහසුවක් වෙයි.
පාත්ති සැකැස්ම.
ගෙවතු වගාව ආරම්භ කරන්න හිතනකොට බිම් සැකැස්ම ගැනත් අනිවාර්‍යෙන්ම හිතන්න වෙනවා. උස් කරන ලද පාත්ති, පෝච්චි, සාමාන්‍ය බිමේ හදන පාත්ති, තනි පේළියේ පාත්ති, සමූහ වශයෙන් සකසන පාත්ති විදියට වර්ග කීපයක් තියෙනවා. පාත්ති අතර ඇවිදීමට පහසු වෙන විදියටත් වගා භූමිය උපරිම වෙන විදියටත් තමයි පාත්ති සැකසිය යුත්තේ.
වගා උපකරණ.
නිවැරදි සහ ගැළපෙන වගා උපකරණ භාවිතා කිරීම ඔබට විශාල පහසුවක් වෙනවා නොඅනුමානයි. කල්පැවැත්ම වැඩි උපකරණ මිලට ගැනීම හොද ආයෝජනයක් විදියට පෙන්වන්න පුළුවන්. මේ උපකරණ නිසි පරිදි නඩත්තු කිරීම ගැනත් අවධානය යොමු කරන්න සිදුවෙනවා.
පසේ තත්ත්වය පරික්ශා කිරීම.
පාත්ති සැකසිමට හෝ පැළ කිරීමට පටන් ගන්න කලින් පසේ තත්ත්වය පරීක්ෂා කිරීම වැදගත් වෙනවා. මෙතනදිත් කෘෂිකර්ම නිළධාරින්ගෙන් උපදෙස් ලබාගැනීමේ හැකියාව තියෙනවා. පසේ තත්ත්වය වගාවට නුසුදුසු නම් ඒ උපදෙස් අනුගමනය කරලා පස උදාසීන කරගැනීම අවශ්‍ය වෙනවා.
පස සැකැස්ම.
කොම්පෝස්ට්, ගොම පොහොර, කොහු බත්, එළු පොහොර, වැලි, මැටි, පස් වගේ දේවල් අවශ්‍යතාවය අනුව එකතු කරලා පස සාරවත් සහ වගාවට ගැළපෙන විදියට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා
බීජ සිටුවීම හෝ පැළ සිටුවීම
බීජ හෝ පැළ වෙළදසැල් වලින්, කෘෂිකර්ම කාර්‍යාලවලින් ලබාගන්න පුළුවන්. බද්ධ කරන ලද පැළ, කෙටි කලකින් අස්වැන්න ලබාදෙන පැළ, විශේෂ ප්‍රභේද යනාදි විදියට වර්ග කිහිපයක් ම පැළ සහ බීජ මේ අතර තියෙනවා. සමහර වර්ග පැළ මගින් රෝපණය කරගැනීම වඩා සුදුසු වෙන අතරම සමහර වර්ග බීජ මගින් පැළ කර ගැනීම වඩා ඵලදායි වෙනවා.

වගා කිරීම
බොහෝ අවස්ථාවල බීජ පැකට් සහ පැළ වර්ග සමග මූලික උපදෙස් මාලාවක් ලබා දෙනවා. මේ උපදෙස් අනුගමනය කර ගෙවතු වගාව ආරම්භ කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ. බීජ වලවල්වල ගැඹුර, ආලෝකය ලැබෙන ප්‍රමාණය, පෝච්චිවල පැළ කළ යුතු බීජ වැනි කරුණු ගැනත් අවධානය යොමු කිරීම වටිනවා.
වගාව රැක බලා ගැනීම
අවශ්‍ය තරමට ජලය යෙදීම, සූර්‍යාලෝකය ලැබීමට ඉඩ සැළසීම, සුදුසු ආකාරයේ පොහොර යෙදීම, කෘමී, ගොලුබෙලි, මී සහ අනෙකුත් සතුන්ගෙන් වගාව ආරක්ශා කරගැනීම, තණකොළ ඉවත් කිරීම වැනි පියවර දිගින් දිගටම අනුගමනය කරමින් වගාව රැකගන්න ක්‍රියා කරන්න සිදුවෙනවා.
අපි මේ කතා කළේ ක්‍රමානුකූලව වගාවක් ආරම්භ කරන ආකාරය ගැන. හැබැයි අඹ ඇටයක් පොළොවට නිකන්ම විසිකරලා දැම්මත් ඉබේ පැළවෙන තරම් සාරවත් පොළොවක් හිමිවෙලා තියෙන මේ රටේ එලවළු, පළතුරු ටිකක්, පලා කොළයක් වවාගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් විදියට සළකන්න නම් බෑ.
ඒ වගේම කෘෂිකර්මය ලේ වලටම කා වැදිලා තියෙන ජාතියක් විදියට වගාවක් පටන් ගන්නකොට නිවසේ ඉන්න වැඩිහිටියෙක්ගෙන් ඒ ගැන විමසලා බැලුවත් වටිනා කියන උපදෙස් ටිකක් ලබාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මහා පරිමානයෙන් පටන් ගන්න හිතන්නේ නැතුව මුලින්ම එක පැළයක් පෝච්චියක හිටවලා, එහෙමත් නැත්තන් කූර තම්පලා ඇට ටිකක් මිදුලේ කොණක විසිරුවලා වුණත් මේ වැඩේ පටන් ගන්න පුළුවන්කම තියෙනවා.