fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

    Family Tech Sponsorspot_imgspot_img

    දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර හත්වන වසර සිසුන්ට බෙදා හැර ඇති පොතක් සම්බන්ධව සමාජයේ කතිකාවක් ආරම්භ වී ඇත. දරුවන්ට ලිංගික අධ්‍යපනය ලබා දිය යුතුය යන්න අපේ අදහස වන අතර එම පණිවුඩය දරුවන් අතරට ගෙන යාමේදී දෙමවුපියන් ලෙස ඔබ සැලකිලිමත් විය යුතු දේවල් ගැන අප මෙම ලිපියෙන් කතා කරන්නට සූදානම්

    අවාසනාවන්ත විදියට අපේ ගෙවල්වලට වගේම පාසල්වලටත් තහනම් මාතෘකාවක් වෙලා තියෙන ලිංගික අධ්‍යාපනය දරුවන් වෙත සාර්ථකවය සන්නිවේදනය නොවීම තුළින් සමාජමය ගැටළු රාශියක් ඇති වෙලා තිබෙනවා. අඩු වයස් ගැබ් ගැනීම්, ලිංගාශ්‍රිත රෝග, මානසික සහ කායික සෞඛ්‍ය බිදවැටීම්, අධ්‍යාපනය කඩාකප්පල් වීම, කායික අපයෝජන, මිථ්‍යා සහ වැරදි මතවල එල්බගෙන ක්‍රියා කිරීම, අහිතකර ඇබ්බැහිකම්වලට හුරු වීම ඇතුළු බොහෝ අහිතකර ප්‍රතිවිපාකවලට මූලික ම හේතුවක් විදියට “දරුවන්ට නිසි වයසට ගැළපෙන විදියට ලිංගික අධ්‍යාපනය ලබා නොදීම” පෙන්වන්න පුළුවන්කම තියෙනවා.

    familylife.lk කියවන ඔබ මවක් හෝ පියෙක් නම් ළග ළගම එන අළුත් අවුරුද්දේ තමන්ගේ දරුවාට ලබා දෙන අළුත් දැනුම් ගොන්නට මේ කතා කරන කරුණත් එකතු කරගන්න කියලා අපි මතක් කරනවා.

    දරුවාට ක්‍රමානුකූල ලිංගික අධ්‍යාපනය ලබා දීම කුඩා කාලයේ සිටම ආරම්භ කිරීම, පසුකාලීනව මව්පියන්ට මේ ගැන දරුවා එක්ක විවෘතව කතා කරන්න විශාල උපකාරයක් වෙනවාට නොඅනුමානයි. කාන්තාවන් සහ පිරිමින්, පවුල, කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් වගේ උදාහරණ අරගෙන වයසට ගැළපෙන විදියට අදහසක් ලබාදීමේ හැකියාව තියෙනවා. ඒ සදහා ඔබට පහත සදහන් ක්‍රමෝපායන් උපකාරයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

    දරුවන්ට ලිංගික අධ්‍යාපනය

    අපි ලිංගික අධ්‍යාපනය ලබපු විදියටම ද අපේ දරුවන්ටත් ඒ දනුම ලබා දෙන්නේ?

    අපි බොහෝ දෙනෙක් ලිංගික අධ්‍යාපනය ලැබුවේ අවිධිමත් ක්‍රමවලට කියලා ඔබට මතක ඇති. ඒ දේටත් නව යොවුන් වියට එනකන් ම බලාගෙන ඉන්නත් වෙලා තියෙනවා. අනෙක් අතට ඒ අහපු දේවල් නිවැරදි ම දේවලුත් නෙවෙයි. ඒ වගේම මේ  ගැන දෙයක් අහලා දැනගන්න පුළුවන් වැඩිහිටියෙක්, ගුරුවරයෙක් අපිට හිටියද? අඩුම තරමේ පාසලේ සෞඛ්‍ය පාඩමේදිවත් මේ ගැන කතා බහ කරන්න ගුරුවරු පෙළඹුනාද? දෙමව්පියෝ එක්ක මේ ගැන කතාකරන්න හිතන්නවත් බය වුණා නේද? හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසා අපිට ලැබුණු අහිතකර තත්ත්වයන් මොනවද? අවසන් වශයෙන් අපිට උරුම වෙලා තිබුණු තත්ත්වයම අපේ දරුවන්ටත් උරුම කරලා දෙනවද? සන්සන්දනාත්මකව සළකලා බලලා සුදුසු දේ ඔබම තෝරාගන්න.

    වයසට ගැළපෙන්න කියා දෙන්න.

    දරුවාගේ වයසට සහ මානසික සංවර්ධනයට ගැළපෙන තරමට විතරක් දැනුම ලබාදෙන්න. දරුවා දෙයක් ගැන අහනවානම් උත්තර දෙනවා ඇර අහන්නේ නැති දේවලට කරුණු දැක්වීම ඔහුගේ මනසට දරාගැනීම අපහසු වේවී. කොහොමත් දරුවෝ කියන්නේ කුතුහලය උපරිමයෙන් තියෙන කණ්ඩායමක් නිසා ගොඩක් වෙලාවට දිගින් දිගටම ප්‍රශ්න අහන්න ඉඩ තියෙන බවත් මතක තියාගන්න වෙනවා. 

    දරුවාගේ දැනුම වටහාගන්න.

    දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී දරුවා මේ ගැන ප්‍රශ්න අහන වෙලාවට සංවාදයක් සිදු කෙරෙන විදියට ආපස්සට දරුවගෙනුත් ප්‍රශ්න අහන්න. දරුවා මොන වගේ දේවල් ගැන දැනට දැනුවත්ද, මොන විදියට ඒ දැනුම ලබාගෙනද කියලා මෙයින් දැනගන්න පුළුවන් වෙනවා. හැබැයි කලබල නැතුව බොහොම ප්‍රවේශමෙන් ඒ දේ කරන්න සිද්ධ වෙනවා.

    තොරතුරු අරන් ඒ තොරතුරු මත දරුවාට දෝශාරෝපන එහෙම කළොත් දරුවා හැමදෙයක්ම මව්පියන්ගෙන් හංහන්න පටන් ගන්නවා. මේ විදියට කතා බහ කරගෙන යනකොට දරුවා තුළ වැරදි අදහස් තියෙනවනම් නිවැරදි කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කතා බහ නවත්තන්න අවශ්‍ය තැන ගැනත් හොද අවධානයකින් ඉන්න වෙනවා.

    අවංක වෙන්න.

    දෙමව්පියෝ බොරු කියනකොට ඒ දේ තේරුම් ගැනීමේ හැකියාව දරුවොන්ට තියෙනවා. දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේදී මව්පියන් බොරු කියන බව වැටහුනොත් දරුවා ප්‍රශ්න ඇසීමෙන් වළකින්න ඉඩ තියෙනවා. ඒ නිසා දරුවෝ ඉස්සරහා ලිංගිකත්වය ගැන කතා කිරීමේදී අවංකව කතා කිරිම ඉතාම වැදගත් වෙනවා. දරුවා අහන දේ ගැන උත්තරයක් දෙන්න තමන් දන්නේ නැත්තන් ඒ දේ කියන්න පැකිළෙන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයට නිවැරදි උත්තරය හොදින් හොයලා බලලා කියලා දෙන්නම් කියලා දරුවට කීමේ හැකියාව මව්පියන්ට තියෙනවා. 

    දැනුම ලබාගන්න.

    දරුවන් එක්ක ගණුදෙනු කිරීම ඉතාම කල්පනාවෙන් කළ යුතු දෙයක් වෙනවා. මේ සදහා දැනුමින් යාවත්කාලීන වීම අත්‍යවශ්‍ය කරුණක් වෙලා තියෙනවා වගේම දැනුම ලබාගන්න පුළුවන් විවිධ ක්‍රම සහ විධිත් තියෙනවා. පොත් පත්, අන්තර්ජාල ලිපි, වීඩියෝ දර්ශන වගේ දේවල් මාර්ගයෙන් අවශ්‍ය කරුණු දැන කියාගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට ලිංගික අධ්‍යපනය සම්බන්ධව දරුවන්ට ගැළපෙන විදියට සිංහලෙන් ලියැවුණු පොත් පත් තියෙන බවත් අපි මතක් කරනවා. 

    දරුවන්ට ලිංගික අධ්‍යාපනය

    මූලිකත්වය ගන්න.

    සමහර දරුවෝ ස්වභාවයෙන් ම නිතර නිතර ප්‍රශ්න අහන අය වෙනකොට සමහර දරුවෝ යම් යම් කරුණු ගැන මව්පියන්ගෙන් අහන්න ලැජ්ජා වෙනවා. ඒ වගේ වෙලාවට අම්මාට තාත්තාට මුල් වෙලා දරුවන්ට ලිංගික අධ්‍යාපනය සම්බන්ධ කාරණා කතා කරන්න සිදු වෙනවා. වෙන වෙනත් මාර්ගවලින් දරුවන් වැරදි තොරතුරු ලබාගන්න කලින් නිවැරදි අධ්‍යාපනයක් ලබාදෙන එක නුවණට හුරුයි කියලා අපි හිතනවා.

    ඉවසිලිවන්ත වෙන්න.

    දරුවා දෙයක් ගැන අහනකොට ”ඔයාට මොකටද ඔය ලොකු අයගේ කතා/ ඔවා දැන්මම ඔයාට වැඩක් නෑනේ, ගිහින් පොතක් පතක් බලාගන්න” වගේ ආදීකාලීන උත්තර නම් දෙන්න එපා. ඒ වගේම තමන් දකින දෙයක් ගැන දරුවා ප්‍රශ්නයක් ඇහුවොත් සුදුසු තැනකට ගිහින් දරුවා එක්ක ඒ ගැන කතා කරන්නත්, පෞද්ගලිකත්වය, අන් අයගේ පෞද්ගලිකත්වයට අත පෙවිය හැකි සීමාව වගේ කරුණු ගැනත් ඉවසිලිවන්තව සහ ආදරයෙන් කියා දෙන්න.

    කතාබහ පවත්වාගෙන යන්න.

    තමන්ගේ රහස් අවයව ආවරණය වෙන විදියට ඇදුම් ඇදගැනීමේ වැදගත්කම කියාදෙන වයසේ සිට දරුවා වැඩිහිටි වියට පත්වෙන තුරුම දරුවාට දැනුම අවශ්‍ය සෑම මොහොතේම මේ කාරණය ගැන කතා බහ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙය සැගවිය යුතු කාරණාවක් විදියට නොසළකා විවෘතව කතා කිරීම මගින් දරුවාට තවදුරටත් මව්පියන් සමග සමීප වීමේ අවස්ථාව ලැබෙනවා.   


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසීමට පහත ලෝගෝව ක්ලික්/ටැප් කරන්න

    www.familylife.lk

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු