2018 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. පොඩ්ඩොන්ගේ පාසල් ජීවිතයේ පළමු කඩඉම් විභාගය වන ශිෂ්‍යත්වය “අම්මලාගේ විභාගය” විදියට හදුන්වන්නේ මව්පියන් මේ වෙනුවෙන් දරන අතිමහත් වෙහෙස නිසාමයි. familylife.lk අපි මේ ලිපියෙන් කතා කරන්නේ තමන්ගේ දරුවාගේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලයට මව්පියන් දක්වන ධනාත්මක සහ ඍනාත්මක ප්‍රතිචාරවල විවිධත්වය ගැනයි.
දරන වෙහෙස වගේම විභාග ප්‍රතිඵල කෙරෙහි අම්මලා තාත්තලා දක්වන ප්‍රතිචාරයත් දරුවන් දක්වන ප්‍රතිචාරයට වඩා බැරෑරුම්. ඔබ මෙයින් කවරාකාර ගණයකට අයත් වනවාද කියන කරුණ ඔබගේ තීරණයක් වුණත් එහි බලපෑම ඔබගේ දරුවාටත්, ඔහුගේ ඉදිරි අනාගතයටත් විශාල වශයෙන් අදාළ වන බව මතක් කරන්න familylife.lk අපි කැමතියි.
කිසිම අම්මෙක් තාත්තෙක් තමන්ගේ දරුවා විභාගයෙන් අසමත් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. හැම අම්මෙක්ටම තාත්තෙක්ටම ඕන කරන්නෙ තමන්ගේ දරුවාගේ ජයග්‍රහන දකින්න. ඒ වගේම කිසිම දරුවෙක් තමන්ගේ කැමැත්තෙන් අසමත් වෙන්නෙත් නෑ.
ඒ ඔබේ දරුවා බව පළමුව සිතන්න
අවාසනාවකට වගේ අසමත්වීම කියන දේ දරුවාගේ හිතටත් ලොකු වේදනාවක් ගෙන දෙන දෙයක් කියන කරුණ මව්පියන්ට වටහාගන්න බැරි උණාම තමයි විභාග ප්‍රතිඵල දැනගැනීමෙන් පස්සේ ඇතැම් දරුවෝ නිවසින් පැන යෑම, දිවි නසා ගැනීම වැනි දරුණු ක්‍රියාවන්ට පෙළඹෙන්නේ. “ෆේල් වෙලා ආවොත් ගෙදරින් පන්නනවා, ගෙදරට ගන්නේ නෑ” වැනි වචන දරුවාට කොතරම් භීතියක් ගෙන දෙනවාද කියන කරුණ ගැන මේ මව්පියන් වටහාගන්නේ නෑ.
ජනප්‍රිය පාසලක් ලබාගැනීමත්, තමන්ට නොලැබුණු අවස්ථා දරුවන් ලබනවා දැකීමට ඇති කැමැත්තත්, ජීවිතය ගොඩදාගැනීම අධ්‍යාපනය තුළින්ම සිදු කර ගත යුතුයි කියන අදහස් නිසා දරුවෙකුගේ අසමත් වීම ඇතැම් මව්පියන්ට දරාගත් නොහැකි ලොකු හිත් වේදනාවක් වෙනවා. දරුවාට බැන වැදීම, හින්සා පීඩා කිරීම, කොන් කිරීම, වෙනත් දරුවන් සමගින් සන්සන්දනය කිරීම, දරුවා අනුවණයෙක් වශයෙන් හංවඩු ගැසීම, ලජ්ජාවට පත් කිරීම වැනි අහිතකර ප්‍රතිචාර දක්වන්න අම්මලා තාත්තලා මේ නිසා පෙළඹෙනවා. නමුත් මේ දේවල් දරුවාගේ ආත්ම විශ්වාසය බිද වැටීමටත්, ඔහුගේ ඉදිරි අනාගත සාර්ථකත්වටයටත් අහිතකර බලපෑමක් වෙනවා කියන දේ වටහාගන්න මෙහිදී මව්පියන් අසමත් වෙනවා.
දුක සැප සමව දරාගන්න දරුවා හුරුකන්න
මේ අතර ඉන්නවා තවත් මව්පියන් කොටසක්. ඔවුන් මැදිහත් සිතින් තමන්ගේ දරුවගේ අසමත්වීම භාර ගන්නවා. සමත් වුවහොත් ලබාදෙන්න පොරොන්දු වුණු තෑග්ගත් දරුවාට ලබා දෙනවා. තමන්ගේ වේදනාව ඉවසගෙන, එහෙමත් නැත්තන් වේදනාවට පත් වෙන්නෙම නැතිව දරුවාගේ හිතත් හදන්නත්, දරුවාගේ දුර්වලකම් හදුනාගන්නත්, ඒවා නිවැරදි කරගන්නත් උපකාර ලබාදෙන අතරේ දරුවාගේ අසමත්වීමට තමන්ගේ බලපෑමත් වටහාගෙන ඊට පිළියම් යොදන්න තරම් මේ අම්මලා තාත්තලා බුද්ධිමත් වෙනවා.
අසමත් වූ දරුවාව මානසිකව පසුබෑමට ලක් කරන්න මේ අය කිසිවෙකුට ඉඩ ලබා දෙන්නේ නෑ. දරුවා කවර ප්‍රතිඵලයක් ලබාගත්තත් ඔහුට ශක්තියක් වෙමින් ඉදිරි වැඩ කටයුතු කෙරෙහි යොමු කරවන්න මොවුන් උනන්දු වෙනවා. අධ්‍යාපනයට අමතරව දරුවා තුළ ක්‍රීඩාවට, කලාවට සහ වෙනත් විවිධ අංශ පිළිබදව ඇති දක්ෂතා අවබෝධ කරගෙන ඒ දේවල් දියුණු කරගන්න මේ මව්පියන් උපකාර කරනවා.
දරුවා එක්ක විවෘතව කතා කරලා පරාජයම ජයග්‍රහනයක් කරගන්න ආකාරය ගැන වැටහීමක් දරුවාට ලබාදෙන්න මේ අයට පුළුවන්කම තියෙනවා. කෙටියෙන්ම කීවොත් ජීවිතේ ජයගත්ත සියල්ලෝම ශිෂ්‍යත්වය සමත් වූවන් නෙවෙයි කියන සරල කරුණ වටහා ගැනීමටත් එය දරුවාට වටහා දීමටත් තරම් මේ අය බුද්ධිමත්. මෙවැනි මව්පියන් ලබන දරුවෝ වාසනාවන්තයි කියන එක තමයි අපේ නම් හැඟීම.
අහසේ තරු ගෙනත් දුන්නත් මදි
දරුවා විභාගය සමත්වූවත් එයට සිතා ගත නොහැකි විදියට ප්‍රතිචාර දක්වන මව්පියන් ඉන්නවා. සාමාන්‍ය විදිය තමයි තමයි දරුවා විභාගයෙන් සමත් වූ විට දරුවාට තෑගි බෝග ලබා දීලා, දරුවා අගය කරන එක. නමුත් මේ මව්පිය කොට්ඨාශය ලද දෙයින් සෑහීමකට පත් වෙන්නේ නෑ. ළකුණු 190ක් ලබා ගත්තත් “ශිහ් අපරාදේ, තව 10 යි නේ ගන්න තිබ්බේ. මේ ළමයට ඒක බැරි වුණානේ“ කියමින් සන්සන්දනය කරමින් කම්පාවට පත්වෙනවා. එහෙමත් නැත්තන් “බලන්න, අහවලාගේ ළමයට 195යි. අපේ ළමයට තව වැඩිපුර ළකුණු 7-8ක් ගන්න බැරි උනානේ. එහෙනම් අයිලන්ඩ් රෑන්ක් එකකටත් යන්න තිබුණා” කියමින් අසරණ දරුවාගේ සතුට විනාශ කරන්න මෙවැනි අය දක්ෂයි.
විභාගය හොඳින් සමත් වූ දරුවාගේ කැපවීම සහ දක්ෂතාවය අගය කරනවා වෙනුවට දරුවා ඉදිරිපිටදීම වෙනත් අය සමගින් “අපේ කටේ බලේටමයි මෙයා මේක හරියට කරගත්තේ, වැඩක් කළේම නෑ” කියමින් ඔහුගේ ජයග්‍රහනය හෑල්ලුවට ළක් කරනවා. එහෙමත් නැත්තන් ඉහළ ලකුණු ලබාගත් දරුවාට උසස් පාසලකට යෑමේ අවස්ථාව තිබියදීත් “අනේ පුතා මෙහෙ ළග ඉස්කෝලෙකට යමු. ඒක ලේසි අපිට” කියමින් දරුවාගේ කැමැත්තට පිටුපානවා. එහෙමත් නැත්තන් දරුවා ඉගෙනගත් පාසලේම ඉගෙනුම ලැබීමට කැමැත්තෙන් පසු වුණත්, දරුවා එතනම රැඳෙමින් සාර්ථක විදියට ඉගෙනීමේ කටයුතුවල යෙදෙනවායැයි විශ්වාසයක් තිබුණත් බලහත්කාරයෙන් හෝ වෙනත් පාසලකට ඇතුළත් කිරීමට උත්සහ කරනවා. අවම වශයෙන් 6 ශ්‍රේනියට සමත් වීමෙන් පසුව දරුවා කැමති විෂයයක් තෝරාගැනීමට හෝ ඉඩක් ලබාදෙන්නේ නෑ . සියල්ල සිදු විය යුත්තේ තම මතයට බවයි මොවුන්ගේ අදහස. වසර 2-3ක් තිස්සේ විභාගය වෙනුවෙන් වෙහෙසුණු දරුවාට එයින් ජයගැනීමෙන් පසුවවත් කිසිදු සහනයක් හෝ ස්වාධීන තීරණයක් ගැනීමට මේ මව්පියන් ඉඩ ලබා දෙන්නේ නෑ.
විශේෂයෙන් අපි දකින තවත් ඉතාමත් දුක්කදායි තත්ත්වයක් තමයි අම්මලා අතර ඇතිවන තරඟය. විභාගයට පෙර පැවැත්වෙන වාර පරීක්‍ෂන ආදියේදී පවා දරුවාට අනවශ්‍ය පීඩනයක් එල්ල කරන්නේ තමන්ගේ ආත්මාභිමානය රැක ගැනීම වෙනුවෙන්. අහවලාගේ දරුවාට වඩා ලකුණු ලබා ගැනීමට බැරිවීමෙන් දැන් තමන්ට ඒ දරුවාගේ මව ඉදිරියේ ලැජ්ජා වීමට සිදුවන බවට දරුවන්ට දොස් දෙන මවුවරුන් අනන්තයි. තමන්ගේ ඇරියස් දරුවන් මත්තෙන් දිනන්නට හදන එවැනි මවුවරුන් තම දරුවන්ගේ අනාගතය ගැන තවත් වරත් සිතා බැලිය යුතුයි.
නිහතමානීව සතුටු වන්න. දරුවා අගයන්න
අවසන් කාණ්ඩය දරුවාගේ ජයග්‍රණය පිළිබදව ඉත සිතින් සතුටු වෙමින් දරුවාටද ඒ සතුට රිසි සේ විදින්න ඉඩ ලබා දෙනවා. පොරොන්දූ වූ තෑගි ලබා දෙනවා. පොත පත කියවීමට, සෙල්ලම් කිරීමට, ගමන් බිමන් යෑමට, රූපවාහිනිය නැරඹීමට ඉඩ ලබා දෙමින් බොහෝ කාලයක් තිස්සේ වෙහෙස වූ ළමා මනසට නිදහසක් ලබා දෙනවා. දරුවා පිළිබඳව විශ්වාසය තබමින් තීරණ ගැනීමට ඉඩ ලබා දෙනවා. “පුතා ගොඩක් මහන්සියෙන් වැඩ කළා. එයා දක්ෂ දරුවෙක්” කියමින් තමන්ගේ දරුවා අගය කරනවා. ලබාගත් ළකුණු මව්පියන්ගේ සිත්වලට ප්‍රමාණවත් නැති උනත් දිගින් දිගටම ඒ මත්තේ නොසිටිමින් දරුවා ඉදිරි වැඩකටයුතුවලට දිරි ගන්වනවා. තමන්ගේ දරුවගේ වගේම අනිත් දරුවන්ගේ ජයග්‍රහන ගැනත් අවංකවම සතූටු වෙනවා.
මේ වන විට ඔබ, දරුවාගේ ප්‍රතිඵල පිළිබදව සතුටින් හෝ කණගාටුවෙන් පසු වෙනවා ඇති. ඉදිරි වසරවලදී ඔබේ දරුවා මෙම විභාගවලට පෙනී සිටිනවා විය හැකියි. ශිෂ්‍යත්ව විභාගය කියන්නේ දරුවාගේ ජීවිතයේ එකම එක කඩඉමක් පමණයි කියන කරුණ වටහාගෙන එයට මුහුණදීමට දරුවා සූදානම් කරවීමෙන් බොහෝ ගැටළු අවම කරගත හැකි බව අපේ අදහසයි.
බලන්න ඔබේ දරුවා ගැන ලියවුනු මේ ලිපියත් ඔබට වැදගත් නේද කියල…
අම්මා, තාත්තා ඇඹුල් කෑවම දත් හිරිවැටෙන්නේ දරුවන්ගෙයි…