දරුවා කතා කරන්න ප්‍රමාදයි කියන එක පුංචි පැටවු ඉන්න අම්මලා තාත්තලට තියෙන කප්පරක් ප්‍රශ්නවලින් ප්‍රධානම ප්‍රශ්නයක් විදියට පෙන්වන්න පුළුවන්. ඔය කියන තරම්ම ඕක ප්‍රශ්ණයක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඔව්, මේක ලොකු ප්‍රශ්ණයක්, එහෙමත් නැත්තන් ලොකු ප්‍රශ්ණයක අරම්භයක් වෙන්න පුළුවන්. ඒ නිසා familylife.lk අපි හිතුවා, අවධානමට පෙර සූදානම හොඳයි කියලා මෙහි ඇති අවධානම ගැන ඔබව දැනුවත් කරන්න.
දරුවාගේ කථනය ප්‍රමාද වීම ඔහුගේ සංවර්ධනයේ එක් ඌනතාවයක් විදියට හදුන්වන්න පුළුවන්. මෙහිදී දරුවාට අන් අයගේ අදහස් වටහාගන්න වගේම තමන්ට ප්‍රකාශ කරන්න අවශ්‍ය දේ හරියටම කියාගන්නත් අපහසු වෙනවා. මේ නිසා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම, හැසිරීම සහ අධ්‍යාපනය කියන කාරණාවලදි දරුවා තුළ යම් පසුබෑමක් ඇතිවෙන්න වගේම දරුවාට මේ පසුබෑම මානසිකවත් බලපාන්න පුළුවන්.
දරුවා උපත ලබන මොහොතේදි පවා දරුවාගේ පළමු හැඬීම ගැන විශේෂ අවධානයක් යොමුකරන්නේ දරුවා කතා කරන්න ප්‍රමාදයි කියන කාරණයේ ඇති අවධානම නිසයි. රෝහලෙන් පිටවිමට පෙර ඔබට ලබාදෙන දරුවාගෙ සෞඛ්‍ය වර්ධක සටහනේ විවිධ වයස් මට්ටම්වලදි ළදරුවාගේ වර්ධනය ගැන සටහන් වෙලා තියෙන කරුණු ගැන ඉතා හොදඳින් සැළකිලිමත් වෙන්න කියන කාරණයත් අපි මෙහිදී ඔබට මතක් කරනවා.

දරුවාගේ කථනය ඇතුළුව අනෙකුත් වර්ධන ක්‍රියාකාරකම්වල සැළකිවයුතු අඩුවක් දක්නට ලැබෙනවානම් අනිවාර්යයෙන්ම ළමා රෝග විශේෂඥයෙකු වෙතට යොමු වීම තමයි ඔබ කළ යුතු වන්නෙ. සමහර වෙලාවට ඔබට දරුවාගේ ආබධිත තත්වයක් හඳුනාගන්න අපහසු වුණත් පළපුරුද්ද සහ වෘත්තීය සුදුසුකම් සහිත වෛද්‍යවරයාට එය හොඳින් වැටහෙනවා. යම් ගැටළුවක් ඇත්නම් හැකි තරම් කල් ඇතුව හඳුනා ගැනීම මගින් එය සුව කර ගැනීම පහසු වෙනවා.
දරුවෙකුගේ කථනය ප්‍රමාද වෙන්න පහත සදහන් කරුණු බලපානවා.
1. කථන සහ භාෂා සංවර්ධන අබාධිත බව නිසා මොළයේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සිදුවෙනවා. මෙ හේතුව නිසා කථන ශබ්ද නිපදවීම, සන්නිවේදය සදහා භාවිතා කරන භාෂාවේ වචන භාවිතය අපහසු වීම, අන් අය කියන දේවල් වටහාගැනීම අපහසු වීම වගේ ලක්ෂණ දක්නට ලැබෙනවා.
2. ඇසීමේ දුර්වලතා නිසාත් කථාව ප්‍රමාද වෙනවා. මව්පියන් හොඳ අවධානයෙන් ඉන්නවනම් මේ තත්ත්වය පහසුවෙන්ම හදුනාගන්න පුළුවන්කම තියෙනවා.
3. දරුවා ජීවත්වන පරිසරය මෙයට ප්‍රධනම හේතුවක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අම්මා තාත්තා, රැකබලා ගන්නා පුද්ගලයා ඇතුළු නිවසේ සාමාජිකයින් දරුවා එක්ක කතා බහා කරනවා අඩු නම් දරුවාගෙ කථන හැකියාව දියුණු වෙන්නේ නෑ. ඒ වගේම සම වයස් දරුවන් සමග සම්බන්ධතා අඩු වීමත් මෙයට හේතු වෙනවා.
4. දරුවා ඩිජිටල් තිර භාවිතා කිරිමත් කථන ප්‍රමාදයට හේතු වෙනවා. අපි මේ ගැන පෙර ලිපි කිහිපයකින් කතා කලා. (ලිපි සඳහා මෙතන ක්ලික්/ටැප් කරන්න)
5. අඩු මාසෙන් ඉපදුනු දරුවන් තුළ සංවර්ධන ඌණතා පවතින්න ඇති ඉඩකඩ වැඩි වෙනවා.
6. ශෝතෙන්ද්‍රියේ ක්‍රියාකාරිත්වයේ අබාධ සහිත බව නිසා කථන ශබ්ද හදුනා ගැනීමේ (විකේතනය) ගැටළු ඇතිවෙනවා. මෙය අවධානය යොමු කිරීම, වටහා ගැනීම සහ ස්මරණය කියන කාරණාවලට අහිතකර විදියට බලපානවා. නමුත් චිකිත්සනය මගින් මෙය සුව කරගත හැකිවෙනවා.
7. ස්නායු ආබාධ තත්වයන් නිසා කථනයට අවශ්‍ය පේශීන් වලට බලපෑම් ඇතිවෙනවා.
8. කථනය ප්‍රමාද වීම ඔටිසම් තත්ත්වයට පත් වීම නිසාත් සිදුවිය හැකි දෙයක් වෙනවා.
9. තොල, තල්ල වැනි මුඛය ආශ්‍රිත ආශ්‍රිත ස්ථානවල ආබාධ හේතුවෙනුත් කථනය ප්‍රමාද වෙනවා.
10. පාසල වැනි යම් විශේෂ ස්ථානයකදි පමණක් කතා නොකර සිටීම.
දරුවාගේ කථන ප්‍රමාදය යම් සැකයක් ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්න අතරෙම දරුවාගේ කථන හැකියාව දියුණු කරන්න මව්පියන් විදියට ඔබට පහත සදහන් උපක්‍රම පවිච්චි කරලා බලන්න පුළුවන්කම තියෙනවා.
1. දරුවා කුසේ ඉන්න කාලේ සිටම දරුවා සමග කතා බස් කරන්න. ඔබ මේ ගැන සිතා නොතිබුණත් දරුවාට ඔබ පවසන සියලුම දේවල් ඇසෙනවා.
2. අලුත උපන් දරුවාගෙ මිමිණීම වලට ප්‍රතිචර දක්වන්න. දරුවා සමග කතා බස් කරමින් හුරතල් කරන්න.
3. දරුවා සමගින් හැංගිමුත්තෝ සෙල්ලම සහ සෙල්ලම් බඩු යොදාගනිමින් ක්‍රීඩා කරන්න.
4. දිනපතා තමුන් කරන කියන සියළුම දෑ පිළිබදව දරුවා සමගින් කතා බහ කරන්න. දරුවාගේ වාග් මාලාව මේ නිසා දියුණු වෙනවා.
5. කතන්දර, කතන්දර පොත්, කවි සිංදු කියා දෙන්න. දරුවා සමග එකතු වී ඒවා අලුතින් නිර්මාණය කරන්න. රගපාමින් ඒවා කියවන්න. මේ හරහා මතකය, ශ්‍රවනය සහ හැගීම් ප්‍රකාශනය කියන දේවල් දියුණු වෙනවා.
6. කිසිම අවස්ථාවක දරුවාට බලපෑම් කිරීම සිදු කරන්නෙපා. කතා බහේ වැරදි සිදුවන විට ඉතා ආදරයෙන් එය නිවැරදි කරන්න.
7. දරුවා තනි වචනයෙන් පිළිතුරක් දෙන විට හෝ යමක් කියන විට නැවත එය අලුතින් වචන එකතු කරමින් දියුණු කරන්න.
8. දිනය පුරාවට දරුවාට ඇසෙන දකින හැගෙන දේවල් ගැන ප්‍රශ්න අසන්න. දරුවාගේ ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න. තොරතුරු බෙදාගැනීමට ධෛර්‍යමත් කරන්න.