පවුලක් වෙනවා කියන්නේ පොඩි පහේ වගකීමක් නෙවෙයිනේ. පවුල් උනාම වගකීම් වැඩි වෙනවා. විශේෂයෙන්ම දරු මල්ලෝ ලැබුනම. ඒ වගකීම් දෙන්නා දෙමහල්ලො අතරේ බෙදී යෑම අනිවාර්යෙන්ම විය යුතු දෙයක්. ඉතිං ඒ ගැන ටිකක් දිගට කතා කරන්න ඕනෙ කියල Familylife.lk අපි හිතුව. මේ ඒ ඇරඹුමයි.
මොකද ඒ සා විශාල වගකීමක් තනි කෙනෙක්ගේ හිසට කඩා වැටුනොත් ඒක දරාගන්න ඒ කෙනාට අපහසු වෙලා මුළු පවුල් සංස්ථාවම බිද වැටෙන්න උනත් ඉඩකඩ තිබෙන නිසා. ඉස්සර දැන් කියලා නෑ පවුලේ වගකීම් ස්වාමියා හා බිරිද අතර බෙදිලා ගිහින් තියෙනවා සහ තවදුරටත් සිදු වෙනවා.
ඉස්සර අපි සහ දැන් අපි
නමුත් ඉස්සර පැවති ක්‍රමයත් දැන් ක්‍රමයත් අතර ලොකු වෙනසක් ඇතිවෙලා තියෙනවා. මොකද වර්තමානයත් එක්ක ජීවත් වෙන්න නම් වෙනස් වෙන සහ පවත්නා දේශපාලන, ආර්ථික , සමාජ, තාක්ෂණික, පාරිසරික සහ නීතිමය වෙනස්වීම්වලට අනුගත වෙන්න වෙනවා. මේ වෙනස්වීමවලට අනුගත වෙන තාක් කල් තමයි කොයි කාටත් තමන්ගේ පැවත්ම රදවා තබා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මේ ලිපියෙන් අපි කියන්න යන්නේ ඉස්සර පවුලේ වැඩ කටයුතු දෙන්න දෙමහල්ලො අතරේ බෙදිලා ගියේ කොහොමද කියන කරුණ සහ ඒ ක්‍රමය වර්තමානයට ගැළපෙන්නේ නැත්තේ ඇයි කියන කාරණය ගැන.
කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වු න අතීත ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ එදිනෙදා ජීවිතයේ කාර්යභාරයන් හරිම පැහැදිලිව දෙකට බෙදිලා වෙන් උනා. ඒ කියන්නේ පිරිමි කුඹුරට හේනට ගියා. වත්තේ පිටියේ වැඩ කටයුතු කළා. අඹු දරුවන් පෝෂණය කරන්න අවශ්‍ය දේ හෙව්වා. පවුලේ පිරිමි දරුවන් තමන්ගේ පියාගේ අඩිපාරේ යමින් ඒ දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම පවුලේ හත් අට දෙනෙකුගේවත් කුසවල් පුරවන්න ඒ ඉපයීම ප්‍රමාණවත් උනා.
කාගෙද කියල ලේබල් නැති වගකීම් ඇති වීම
මුල්ම කාල වකවානුවලදී කන්න අදින්න මිසක් වෙන වෙන උවමනාවල් මිනිස්සුන්ට ප්‍රධාන උනේ නෑ. කාන්තාවන් පිරිමි උපයන දේ උයා පිහාදීම, පිරිමින්ගේ වැඩ කටයුතුවලට උපකාර ලබා දීම, නිවසේ වැඩ කටයුතු කිරීම සහ දරුවන් රැක බලා ගැනීම කියන කටයුතුවල නිරත උනා. අවශ්‍ය වූ විට හේනේ කුඹුරේ වැඩ වලත් නිරත උණා. පවුලේ ගැහැණු දරුවන් මවගේ කාර්‍යභාරයන් පුරුදු පුහුණු උනා. කුඹුරෙන් වත්තෙන් පලා මිටක් නෙළාගැනීම, කොස් පොලොස් ගෙඩියක් කඩාගැනීම, නිවසේ එදිනෙදා කෑමට ගැනීමට එලවළුවක් වවා ගැනීම වගේම ගෙදර පරිපාලන කටයුතුත් ගැහැනියගේ යටතට පත් උනත් පියා සිටින නිවසට ආදායම් උපයා ගැනීම මවකගේ වගකීම උනේ නෑ.
පසුකාලීනව දරුවන්ට අධ්‍යාපන ලබාදීමේ අවශ්‍යතාවය ඇතිවෙද්දි ඒ කටයුතුවලට මූලික වෙන්න වගේම, ගමේ සමිති සමාගම්වලට සහභාගී වෙලා ඒ සම්බන්ධතා රැකගන්නත් ඇයට සිදු උනා. ඒත් සමගම උවමනාවක් උවහොත් දරුවාගේ පාසලට යෑමේ වගකීම භාර උනේත්, දිනපතා දරුවා පෙරපාසලට රැගෙන ගියේ මවයි. කෙටියෙන්ම කියනවා නම් ස්වාමියාට නිදහසේ ජීවනෝපාය කරගැනීමේ නිදහස ලබාදී බිරිද නිවසේ වැඩ කටයුතුවලත්, දරුවන්ගේත් වගකීම ඇය වෙත පවරාගෙන තිබුණා.
ගෝලීය වෙනසකම් එක්ක, විශේෂයෙන්ම ආර්ථික කටයුතුවල වෙනස්වීම එක්ක මේ ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්න අපහසු වෙලා තියෙනවා. සරලවම කීවොත් පවුලේ කටවල් ප්‍රමාණය අඩු උනත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් හා උවමනාවන් වැඩි වෙලා සහ වෙනස්වෙලා තියෙනවා. එහෙමත් නැත්තන් අවශ්‍යතාවයන් සහ උවමනාවන් සපුරාගන්න ගෙවිය යුතු මිල වැඩිවෙලා තියෙනවා.
තව දුරටත් කාන්තාවට දරුමල්ලෝ රැකගෙන, ස්වාමියාගේ වැඩ කටතුයුතුවලට උදව් කරගෙන සහ ගෙදර දොරේ වැඩ කටයුතු කළමනාකරනය කරගෙන ගෙදරට වෙලා සිටීමේ හැකියාවත් ස්වාමියා හා දරුවන් වෙනුවෙන් පේවී සිටීමේ හැකියාවත් නැතිවෙලා ගිහින්. දරුවා වෙනුවෙන් දිනපතා පාසලට හෝ පෙරපාසලට දිවීමට කාලයක් ඉතුරුවෙලා නෑ. ඇයටත් ස්වාමියා වගේම හරි හරියට ආදායම් ඉපයීමට සිදුවෙලා.
මෙන්න මෙතනදී තමයි අර කියන ගැටුම ඇතිවෙන්නේ. මවටත් පියාගේ වගකීම් උන මුදල් ඉපයීමේ වගකීම පැවරෙනකොට පියාටත් මවකගේ භූමිකාව රගදක්වන්න සිදුවෙනවා. උදෙන්ම අවදිවෙන, කෑම ටික උයන, දරුවන්ට පාසල් යෑමට සූදානම් වෙන්න උදව් කරන, දරුවව දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හෝ පෙර පාසලට ඇරලවන, දරුවන් සෝදන නාවන, රෙදි සෝදන, ගෙවල් පිරිසිදු සහ රැකියාවට දුවන එහෙමත් නැත්නම් ස්වයං රැකියාවක හෝ නිරතවෙන තමන්ගේ බිරිදට හරි හරියට උදව් උපකාර කරන ස්වාමියන්, පියවරුන් අපි දැන් නිතර දකින තත්ත්වයක්.
නිවසේ සුළු සුළු අලුත්වැඩියාවන් කරන, ඉවර උන ගෑස් සිලින්ඩරය මාරු කරගෙන එන, මාසෙකට සෑහෙන බඩු ගෙදර අරන් එන, පිච්චුන බල්බ් එකක් තනියම මාරු කරගන්න බිරින්දෑවරුත් මේ වන විට සමාජයේ බහුලව දකින්න ලැබෙනවා.
ඊට අමතරව සමාජ සම්බන්ධතා පවත්වාගැනීමේදී ඒ කියන්නේ අසල් වැසියන් නෑදෑයන් හිත මිතුරන් සමග කටයුතු කිරීමේ වගකීමත් මේ දෙදෙනාටම ගන්න වෙනවා. කෙටියෙන්ම කීවොත් තමන්ගේ ස්වාමියාගේ උදව් උපකාර රහිතව මේ වැඩ කටයුතු සියල්ලම කළමනාකරණය කර ගැනීමට කාන්තාවන්ට අපහසු වෙලා තියෙනවා.
කාර්‍යබහුල ජීවන රටාවක් ඇතුලේ තවදුරටත් පවුලේ වැඩ කටයුතු “ගෑනු වැඩ හෝ පිරිමි වැඩ“ විදියට වර්ගීකරණය කරන්න හැකියාවක් නැතිවෙලා. ඒ වගේම මේ ලිපි පෙළේ පළමු ලිපිය අවසන් කරන්නට මත්තෙන්, දෙදෙනෙකුගේ කාර්‍යන් තනිව ඉටු කරන දිරිය කතුන් වගේම දිරිමත් පිරිමිත් මේ සමාජයේ හිග නොවෙන බවත් අපි ඔබට මතක් කර දෙනවා.
සමහරවිට මේ ලිපිය කියවන ඔබත් ඒ වගේ කෙනෙක් වෙන්න පුලුවන්. අපි ආයිත් හමුවෙලා මේ ගැන තව දුරටත් කතාකරමු.