familylife.lk ලිපි කියවන අපේ ස්මාර්ට් අම්මලා තාත්තලා හරි කැමතියිනේ තමන්ගේ පොඩ්ඩගේ මානසික සංවර්ධනය ගැනත් දැනගන්න. අපි මේ ලිපියෙන් කතා කරන්නේ පොඩි දරුවෙක්ගේ මානසික වර්ධනය සදහා ඔබට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක් ගැනයි. මේවා එතරම් ශ්‍රමයක් නොදරා දවසේ වැඩකටයුතු අතරතුරේදීම දරුවාව සහභාගි කරගනිමින් සිදුකිරීමේ හැකියාව ඔබට තියෙනවා.

1. උපකරණ ලේබල් කරන්න.
දුරකතනය, ශීතකරණය, පුටුව, මේසය, කෝප්පය යනාදී විදියට උපකරණ ලේබල් කිරීම මගින් දරුවාට ඉක්මනින් තමන්ගේ වචන මාලාව දියුණු කරගන්නත්, වචන නිවැරදිව උච්චාරණය කරන්න වගේම ඉක්මනින් වචන හදුනාගන්නත් හැකියාව ලැබෙනවා. ප්‍රමාණ, හැඩතල, වර්ණ වගේ සංකල්පත් මේ තුළින් හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම නිවසේ උපකරණ නිසි පිළිවෙලකට සැලසුම් කළොත් දරුවා පිළිවෙල කියන දේටත් පහසුවෙන්ම හුරු වෙයි. ලේබල් පහසුවෙන් නොගැළවෙන විදියටත් ආකර්ෂණීය විදියටත් හදාගත්තොත් පොඩ්ඩා හරිම ආසාවෙන් මේකට හවුල් වෙයි.
උදා:- “පුතේ නිල් පාට කෝප්පය අරන් එන්න.
මේ පොත ඔයාගේ පොඩි මේසය උඩින් තියන්න”
2. ගලපන්න
ෆ්ලෑශ් කාර්ඩ්ස්, සෙල්ලම් බඩු, නිවසේ ඇති උපකරණ වගේ දේවල් යොදාගෙන මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. මෙමගින් දරුවාගේ මතක ශක්තියත්, සන්සන්දනය කිරීමේ හැකියාවත් දියුණු වෙනවා.
උදා:- “මේ රතු පාට පිඟාන වගේම තවත් රතු පාට පිඟානක් අරන් එන්න පුතේ“
“මේ කහ පාට කුරුළු පැටියා වගේම තවත් කුරුළු පැටියෙක් මේ කාර්ඩ්ස් වලින් තෝරගන්න“
3. ආගිය කතා
මුහුදු වෙරළ, ළමා උයන වගේ තැන්වලටත් විතරක් නෙවෙයි වෙළදසැල් වලට පවා දරුවා එක්ක යන්න. ටිකක් කරදරයි වගේ දැනුණත් මෙවැනි ගමන් වලින් පොඩ්ඩා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. යන එන අතරේ ඒ ඒ තැන්වලට යන පාර මතකද, මොනවගේ කාළගුණයක්ද තියෙන්නේ, මුණගැහුනේ කවුද, දැක්ක සත්තු සහ ගස් වැල් මොනවද කියන දේවල් ගැන කතා කරන්න. සමාජය ගැන, පරිසරය ගැන ඉගෙනගන්නත්, අවට සමාජයට අනුගත වෙන්නත් මේ දේවල් ඉවහල් වේවි.

4. නටන්න ගයන්න රඟන්න සිත්තම් කරන්න
ගෙදර වැඩ කරන අතරේ, පොඩ්ඩව නාවද්දි, දත් මදිද්දි, කෑම කද්දි ඊට අදාළව සින්දුවක් කිය කිය ඒ දේ කරනවනම් බබා ආසාවෙන් ඒවට හවුල් වෙයි. සින්දු හද හද කීවත් කමක් නෑ. බබාවත් හවුල් කරගෙන පොඩි බෙරයකට තට්ටුවක් දාන ගමන් චුට්ටක් නට නට සින්දුවක් කීවොත් දරුවා සතුටින් ඉපිලේවි. පාට පැන්සල්, දිය සායම්, පැස්ටල්, පින්සල්, පරණ දත් බුරුසු, ස්පොන්ජ් කෑලි වගේ විවිධ දේවල් භාවිතා කරමින් දරුවා එක්ක චිත්‍ර ඇදලා පාට කරන්න. ඒවගේම බණ්ඩක්කා කෑල්ලක්, අරලියා මලක්, ගහල කොලයක්, අල පෙත්තක් වගේ දේකත් තීන්ත ගාලා පාට කරන විදිය පෙන්වන්න. ඒවගේම ඇඟිල්ලෙන් චිත්‍ර අඳින්න කියන්නත් පුළුවන්. හැබැයි එයාට ස්වාධීනව ඒ දේවල් කරන්න ඉඩ දෙන්න. පොඩ්ඩට ඇසුරු කරන්න ලැබෙන විවිධ චරිත විදියට රගපාන්න ඉඩ ලබා දෙන එකත් වටිනා අත්දැකීමක් වේවි. නිර්මාණාත්මක බව, ආත්ම විශ්වාසය, පරිකල්පන ශක්තිය, හසුරු කුසලතා වගේ දේවල් මේ මගින් දියුණු වෙනවා.
5. බිල්ඩින්ග් බ්ලොක්ස්
බර, වර්ණය, ප්‍රමාණය වෙනස්වෙන විදිය බිල්ඩින්ග් බ්ලොක්ස් පොඩ්ඩට ලබා දෙන්න.
නිර්මාණාත්මක බව, මානසික උත්තේජනය, හැඩතල වර්ණ හදුනාගැනීම, අවකාශීය දැනුම , පරිකල්පන ශක්තිය සහ සංයමය ගොඩනැගීමටත් අත්හදා බැලීම්වලට පෙළඹෙන්නත් මේ දේ ඉවහල් වෙනවා.
6. ප්‍රෙහේලිකා
තර්කන හැකියාව, විවිධ ක්‍රම ඔස්සේ ගැටළු විසඳීමට උත්සාහ දැරීමටත්, මතක ශක්තිය සහ ආත්ම අභිමානය ඉහළ නංවන්නත්, වැඩ කල්දැමීම අවම කිරීමට පිළියමක් වශයෙනුත් ප්‍රෙහේලිකා පාවිච්චි කරන්න පූළුවන්. විවිධ හැඩයන්ට අනුව ලී වලින් සැදූ කුඩා ප්‍රෙහේලිකා පොඩි මුදලකට මිළදී ගැනීමේ හැකියාව දැන් තියෙනවා.

7. ටීම් වර්ක්
සමාජ සබදතා, බෙදාහදා ගැනීම, සන්නිවේදන කුසලතා සහ ඉවසීම දියුණු කරගන්න කණ්ඩායම් ක්‍රියාකාරකම් උදව් වෙනවා. අසල්වැසි නිවෙස්වල සමවයස් දරුවන්, නෑදෑ හිතවත් පවුල්වල දරුවන් එක්ක මුහුවීමට දරුවාට ඉඩ ලබා දීම ඔහුගේ ඉදිරි ජීවිතයටත් ධනාත්මක බලපෑමක් වෙයි.
8. ශරීර අවයව
ළමා ගීත මගින් ශරීරයේ කොටස් දරුවාට හදුන්වා දීම කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් විශාල කන්ණාඩියක් ඉදිරිපිටට ගිහිල්ලත් මේ දේ විනෝදාත්මක ක්‍රීඩාවක් විදියට කරන්න පුළුවන්.
9. හැන්ගි මුත්තෝ හැංගියෝ
මේ සෙල්ලම නම් කරලා නැති කෙනෙක් නැතුව ඇති නේද? වයස මාස 4-5 පැන්චෙක් එක්ක උනත් මේක කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම විනෝදය ලබාදෙන ක්‍රීඩාවක් වගේ පෙනුනත් දරුවාගේ ගැටළු විසදීමේ හැකියාව, අවකාශීය හැකියාව, නිවැරදි තීරණවලට එලඹීමේ හැකියාව වගේම ඉවසීමත් වර්ධනය කරන්න හැංගි මුත්තට පුළුවනි.
10. පොත් කියවන්නෝ
මේ තුළින් ඔබට හිතාගත නොහැකි තරම් වාසි ගොඩක් දරුවට ලැබෙනවා. මූලිකවම දරුවාට ඉක්මනින් අකුරු හදුනාගැනීමේ හැකියාව ලැබෙනවා. වචන මාලාව දියුණු වීමටත්, දැනුම වැඩි වීමටත්, නිර්මාණාත්මක බව, මතක ශක්ථිය සහ පරිකල්පන ශක්තිය ඉහළ යෑමටත් පසු කාලීනව දරුවා වැරදි ඇබ්බැහිවීම් වලින් මිදීමටත් පොත් කියවීමේ පුරුද්ද උපකාර කරනවා. අවම වශයෙන් දිනකට විනාඩි 20-30ක්වත් මේ වෙනුවෙන් වැය කිරීම ප්‍රමාණවත් වෙනවා. ඒවගේම දරුවාට පෙනෙන්න වැඩිහිටියනුත් පොත් කියවනවා නම් ඒක වාසියක්. අවවාදයට වඩා ආදර්ශය උතුම්නෙ. තමුන් ස්මාට්ෆෝන් එකෙන් ෆේස්බුක් එකේ ඔබමොබ යන ගමන් දරුවාට පොත් කියවන්න බලකරාට වැඩක් නැහැ.
11. ටේප් ඇළවීම
සමතල පසුබිමක සෙලෝටේප් තීරු කීපයක් විවිධ දිශාවන්ට හිටින විදියට අලවන්න. දරුවාට ඒවා එකින් එක ප්‍රවේශමෙන් ගලවන්න කියාදෙන්න. මේ ක්‍රියාකාරකම මගින් ඉවසීමත්, අවධානය රදවා තබා ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා.

12. ජල සහ වැලි කෙළි
පොඩ්ඩොන්ට වතුර, වැලි , පස් සහ මැටි වලින් සෙල්ලම් කරන්න ඉඩ ලබා දෙන්න. මේ හරහා පරිමාව සහ ඝනත්වය ගැන වැටහීමක් ලැබෙනවා වගේම හසුරු කුසලතාවත් දියුණු වෙනවා. මේ දේවල් එක්ක පොඩි කාලේ ඉඳළම නිතර ගැවසෙන නිසා දරුවගේ ප්‍රතිශක්තීකරණයත් ඉහළ යනවා.
13. හපන් බබා
දරුවාට තමන් ඇදිය යුතු ඇඳුම තීරණය කිරීමට, තනිවම ඇඳ ගැනීමට, මව්පියන්ගේ වැඩ කටයුතුවලට උදව් දීමට, සෙල්ලම් කිරීමට, තමාව පිරිසිදු කරගැනීමට වැනි දේවල්වලට ඉඩ ලබා දීම තුළින් ඔවුන්ගේ ආත්ම අභිමානය ඉහළ යෑම, අත්දැකීම් ලැබීම හා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව දියුණු කරනවා.
14. ප්‍රශ්න ප්‍රශ්න
පොඩ්ඩා එක්ක ගමන් බිමන් යනකොට, ගමනක් ගිහින් ආවම, කතන්දර කියනකොට, සෙල්ලම් කරනකොට පුළුවන් හැම විටම ඒ ගැන ප්‍රශ්න අහන එක දරුවගේ පරිකල්පන ශක්තියත්, මතක ශක්තියත්, අදාළ දේ ගැන දැනුවත්කම වැඩි වෙන්නත් රුකුලක් වෙනවා.

15. සොයන්නෝ
යම් යම් උපකරණ, ද්‍රව්‍ය අතගාන්න, සුවඳ බලන්න, සන්වේදනය කරන්න දරුවාට ඉඩ ලබා දෙන්න. පුදුමාකාර විදියට කුතුහලය පිරුණු ළමා මනසට බොහෝ දේවල් ඉගෙන ගන්න ඒ දේ විශාල උදව්වක් වෙයි.
අවසාන වශයෙන් පොඩි දෙයක් මතක් කරන්නම්. කුඩා දරුවෙකුගේ බුද්ධි වර්ධනය කියන දේ දරුවා කොතරම් කුඩා වුනත් කුඩා වපසරියකට සීමා කරන්න අපිට පුළුවන්කමක් නැහැ. දරුවා අත්විඳින, අත්දකින සෑම සියළු දේකින්ම කුමක් හෝ දෙයක් ඉගෙනගන්නා නිසා හැකි තරම් අත්දැකීම් විදගන්න ඉඩ ලබා දෙන්න. වැඩිහිටියන් වශයෙන් ඔබගේ වගකීම වන්නේ දරුවාට නිසි ආරක්ෂාවත් , මග පෙන්වීමත්, නිදහස ලබා දීමත් පමණයි. ඉහත සදහන් ක්‍රියාකාරකම් දරුවා ලවා කරවනවානම් දරුවා කුසගින්නෙන්, නිදිමතකින්, අසනීපයකින් හෝ කුමක් හෝ අපහසුතාවයකින් පෙළෙන අවස්ථාවන් මගගහරින ලෙසටත් බල කිරීමෙන් හෝ සැරවැර කිරීම මගින් මේ දේවල් සිදු නොකරවන ලෙසටත් අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ දරුවා සම්බන්ධයෙන් ලියවුනු තවත් ලිපි කියවන්න දරු සෙනෙහස තීරයට පිවිසෙන්න.
ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.
කවරයේ ඡායරූපය – kidsandcompany.com