fbpx
More
    31 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    සුව දිවියයි – පෝෂණයයි (1 කොටස) ~ මවුකිරි නම් පෝෂණයේ අත්තිවාරම

    Family Tech Sponsorspot_imgspot_img

    ලිපියෙහි අන්තර්ගතය සැකෙවින් පහතින් නරඹන්න

    පෝෂණය කියන්නේ සෞඛ්‍යමත් ජීවිතයකට වැදගත්වන්නාවූ ප්‍රධාන සාධකයක්. බඩගිනි දැනුනම ඕනෑම දෙයක් කටට දාගන්නවට වඩා අපි ආහාර ලෙස ලබාගන්නා දේවල් පෝෂණීය වුණොත් අපිට ලැබෙන ප්‍රයෝජන අති විශාලයි. මේ නිසාම අලුත උපන් දරුවාගේ සිට මිය යන මහල්ලා දක්වාම අපි පෝෂණය කරන්නට විවිධ දෑ සිදුකරනවා.

    අම්මලා තාත්තලා විදිහට අපිට නම් දැන් තියෙන ප්‍රධාන පෝෂණ ගැටලු වන්නේ අලුත උපන් දරුවාට මව්කිරිවලින් ලැබෙන පෝෂණය ප්‍රමාණවත්ද? අමතර ආහාර වලින් ලැබෙන පෝෂණය ප්‍රමාණවත්ද? වගේ දේවල්. මේ නිසාම ලිපි පෙලක් යටතේ අලුත උපන් දරුවාගේ සිට ක්‍රමයෙන් වැඩෙන දරුවාගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳ Familylife.lk සුව පියස හරහා ඔබව දැනුම්වත් කරන්න අප අදහස් කළා.

    මේ එහි පළමු වැන්න වන අතර ඉන් මව්කිරි සම්බන්ධ අපේ අම්මලාට ඇතිවන ගැටලු රාශියකට පිළියම් ලැබෙනු ඇති බවට අපේ විශ්වාසයයි.
    පෝෂණය
    ©i1.wp.com

    ඉපදී පළමු පැයේදී ස්ථාපිත කරන මවුකිරි

    ලොව සියලුම රටවල වෛද්‍ය විද්‍යාත්මකව, පෝෂණය සම්බන්ධව හා සෞඛය සම්බන්ධව පවතින අංශ සියල්ලන්ම 100%ක්ම පිළිගත් දෙයක් වන්නේ අලුත උපන් දරුවෙකුට මාස හයක් ගතවන තුරුම මව්කිරි පමණක්ම ලබා දිය යුතු බවයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලොව සියලුම රටවල් එක හෙලාම ඒකමතිකව පිළිගෙන ඇත්තේ විද්‍යාත්මක සාක්ෂි මතයි.

    දරුවෙකු මෙළොව ඉපදී පළමු පැය ඇතුලත ස්ථාපනය කරන මව්කිරි මාස හයෙන් පසු අනෙකුත් ආහාර ලබා දෙන අතරතුරද දරුවාට ලබා දිය යුතුවෙයි. සාමාන්‍යෙයන් මෙය දරුවාට අවුරුදු 2ක්වත් යනතුරු ලෙස දක්වයි. ප්‍රායෝගික බාධාවන් ලෙස මව රැකියාවක නිරත වෙන්නේ නම් ප්‍රසූත නිවාඩු අවහර වන නිසා මුල් මාස හය මවුකිරි ලබා දීම අඩාල වන්නට ඉඩක් පවතිනවා. නමුත් එයට විසදුම් ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගේ උපදෙස් මත මවුකිරි දොවා තබා යෑමේ හැකියාවක් පවතිනවා.

    එසේම ඇතැම් සේවා ස්ථානවල කිරි පැය ලෙස මවුකිරි ලබා දීමට පහසුකම් ලබා දී තිබෙනවා. අලුත උපන් දරුවෙකුට පළමු පැය තුළ මවුකිරි ලබා දීම අනිවාර්යෙන් සිදු කෙරෙන අතර මව සිසේරියන් සැත්කමකට ලක්වී සිහි නොමැති තත්ත්වයක සිටියද දරුවාට කෙසේ හෝ ඉපදී පළමු පැය ගතවීමට පෙර මවුකිරි ස්ථාපිත කිරීමට සෞඛ්‍ය සේවකයින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනු ලබයි.

    මවුකිරි දරුවෙකුට වැදගත් ඇයි?

    දරුවට අවශ්‍ය සියලුම පෝෂණ සංඝටක අවශ්‍ය ප්‍රමාණයට මවුකිරිවල අඩංගුය. මව ආහාරයට ගන්නා දේවල්වල පෝෂණ තත්ත්වය අඩු වැඩි වුවත්, දරුවාට අවශ්‍ය පෝෂණ සංඝටක සියල්ල මවුකිරි වල අඩංගු වෙනවා. නිසා, “ මම මන්ද පෝෂණයෙන් පෙලෙන මවක්, මම දුර්වලයි” කියලා බබාට මවුකිරිවලින් ලැබෙන පෝෂණය මදියි කියලා කිසිම මවක් සිතිය යුතු නැහැ. මවගේ පෝෂණ තත්ත්වය කුමක් වුවත් දරුවාට අවශ්‍ය සියලුම පෝෂණය මවුකිරි කියන ජීවී කිරෙන් නිපද වීමට තරම් සොබාදහම විශ්මිතයි.

    මවකගෙන් මවකට තමන්ගේ දරුවාට නිපදවෙන මවුකිරිවල සංඝටක වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. උදාහරණයක් ලෙස නිර්මාංශ මවකගේ සිරුරෙන් නිපදවෙන මවුකිරිවල සංඝටක මාංශ අනුභව කරන මවකගේ සිරුරේ නිපදවෙන මව්කිරිවල අඩංගු සංඝටක සමඟ සුලු වෙනස්කම් දැක ගත හැකියි. සාමාන්‍යයෙන් නිර්මාංශ මවකගේ මවුකිරිවල අඩංගු මේද අම්ල වල සංයුතිය මාංශ අනුභව කරන මවකගේ මවුකිරිවල අඩංගු මේද අම්ලවල සංයුතියට වඩා වෙනස් කම් සුලුවෙන් දක්වනවා.

    නමුත් මවක් නිර්මාංශ වීම සුදුසු නැති බවක් මින් අදහස් නොකරයි. නිර්මාංශ මවක් මේ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගෙන විවිධ පිටිකිරි වර්ග බීමට අවශ්‍යතාවක් මෙන් අදහස් නොකෙරෙයි. මවුකිරිවලින් දරුවෙකුට අවශ්‍ය සියලුම පෝෂණයන් ලැබෙන්නේ මාස හයක් යනතුරු පමණක් බව මතක තබාගත යුතු දෙයකි.

    මන්දයත් මාස හයෙන් පසු එකදිගට මවුකිරි පමණක් ලබා දුනහොත් දරුවාට මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතියි. යකඩ ඌණතා, ශක්ති නැත්නම් කැලරි ඌණතා, විටමින් හා ඛනිජ ලවණ ඌණතා ඇති වීමේ අවධානමක් පවතියි. මාස හයෙන් පසු දරුවෙකු ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගන්නා බැවින් ආහාර හදුන්වා දීම අත්‍යාවශ්‍ය වේ.

    පෝෂණය

    මවුකිරි දරුවාට ප්‍රමාණවත්ද ? දැනගන්නේ කොහොමද?

    සාමාන්‍යයෙන් හොඳ උපත් බරක් යැයි සැලකෙන උපත් බර කිලෝ 3 ½ක් තිබුණු දරුවෙක්ගේ බර මාස හයක් ගතවන විට දෙගුණ විය යුතුය. එනම් කිලෝ 7ක් පමණ විය යුතුය. දරුවාට නිසි පරිදි පෝෂණය ලැබෙන විට දරුවා අවුරුද්දක් වන විට උපත් බර තුන්ගුණයක් විය යුතුය. එනම් කිලෝ 10 ½ක් පමණ විය යුතුය.

    මේ කාලයේදී දරුවාගේ උස වැඩිවීම බර වැඩිවෙන අයුරෙන් සිදු නොවෙයි. එය ක්‍රමාණුකූලව වැඩිවෙයි. මෙහිදී මවුවරු දැනගත යුතු විශේෂම දෙය වන්නේ ළමුන්ගේ වර්ධනය දරුවාට සුවිශේෂ ආකාරයකින් සිදුවන බවයි. මේ නිසා තමන්ගේ දරුවාගේ වර්ධනය අනෙක් දරුවන් සමග සන්සන්දනය නොකළ යුතු වෙයි. කළ යුත්තේ දරුවාට ලබා දී ඇති වර්ධන ප්‍රස්ථාර සටහනේ මාසෙන් මාසෙට බර කිරා ලකුණු කරන විට එය ක්‍රමානුකූලව ඉහලට යන්නේද යන්න සොයා බැලීමය.

    දරුවාට පාචනය, උණ වැනි රෝග වලින් තොරව සිටියදී මවුකිරි මුල්මාස හයේ නිවැරදිව ලබා දුන්නේ නම් මෙම ප්‍රස්ථාර සටහන ක්‍රමානුකූලව ඉහලට ගමන්කරනු ලබයි. දරුවෙකුට මවුකිරි බීමට අවශ්‍යතාව මුල් කාලය තුළ පැයත් පැය තුනත් අතර තුර ඇතිවේ. ඒහැර කාල සටහනක් අනුව පැය දෙකෙන් දෙකට මවුකිරි දිය යුතුයැයි නියමයක් නොමැත.

    එසේම දරුවා කිරි ඉල්ලා අඬන සෑම අවස්ථාවකදීම මවුකිරි ලබාදිය යුතුය. මවුකිරි ලබා දිය යුත්තේ දරුවාගේ අවශ්‍යතාවය මත මිස මවගේ අවශ්‍යතාව මත නොවේ. මවගේ පියයුරෙන් දරුවෙකුගේ කටට කිරි ගලා එන්නේ දරුවෙකු අඬන අවස්ථාවේදී හා කිරි උරාබොන අවස්ථාවේදී බව මතක තබා ගත යුතුය.

    දරුවා දිනකට හය හත් වරක් මුත්‍රා පිට කිරීම දරුවා හොඳට කිරි බොන බවට මවට ලබා දෙන එකම සංඥාව වේ. එසේම කිරි බොන විට දරුවෙකුට නින්ද යන්නේ මවුකිරිවල ඇති ස්වභාවික රසායනයන් නිසාවෙනී. මන්දයත් දරුවාගේ ශීඝ්‍ර වර්ධනයට නින්ද අවශ්‍ය බැවිනි.

    මීලඟට පියයුරු දෙකෙන්ම මාරු කරමින් කිරි ලබා දියයුතුවේ. කිරි ඉරීමේ කාලය තීරණය කරන්නේ දරුවාය. නිසා නිවැරදි ආකාරයට දරුවා පියයුරට ලංකර මවුකිරි ලබා දිය යුතුය. නොඑසේනම් කිරි ඉරීමේ අපහසුතාවය නිසා දරුවා කිරි ඉරීම අතහරියි. එසේම ඇතැම් දරුවන් තනපුඩුව ඉරීමෙන් යම් මානසික තෘප්තියක් ලබන බැවින් වැඩි වේලාවක් කිරි ඉරීම සිදුකළ හැකිය. හැර බලහත්කාරයෙන් කාලසටහනකට අනුව මවකට මවුකිරි දරුවාට පෙවීම සිදුකළ නොහැක. මවුකිරි ලබා දෙන විට නිවැරදි ආණතියට දරුවා රඳවා ගැනීමත්, දරුවාගේ කුසතුළ එකතුවෙන වාතය ඉවත් කරමින්( ගුඩුස් යැවීම) නිසි අයුරෙන් දරුවාට මවුකිරි ලබා දෙන්නේනම් දරුවා නිවැරදි ලෙස මවුකිරෙන් පෝෂණය වෙයි.

    මුල් මාස හයේ මවුකිරි පමණයි

    වැඩිහිටියන්ගේ දුර්මත හමුවේ රස්නේ කාලවලදී මාස 6 අඩු ලමුන්ට වතුර පෙවීම සිදුකරනු දැකගත හැකියි. නමුත් එය නොකර යුතුම දෙයකි. කොත්තමල්ලි, තැඹිලි ආදි කිසිවක් මාස හයක් ඉක්මවන තුරු දරුවාට ලබා නොදිය යුතුය. වෛද්‍ය නිර්දේශමත යම් ඖෂධයක් ලබා දීමට සිදුවූවොත් හැර මාස හයක් ඉක්මවන තුරු වෙනත් කිසිදු පානයක් දරුවාට ලබා නොදිය යුතුය.

    මන්දයත් මාස හයට අඩු දරුවන්ට වතුර වුවත් අපත්‍යවීමට හැකියාවක් පවතියි. එමෙන්ම අනෙක් දියරවර්ග දිරවීම සම්බන්ධ ගැටලු ඇතිවීමටත් ඒවා සමඟ ක්ෂුද්‍ර ජීවින් සිරුරට ඇතුලු වී විවිධ ලෙඩ රෝග ඇති වීමත් සිදුවිය හැකිය. මාස හය ගතවීමට පෙර මෙවන් දියර වර්ග දරුවාට ලබා දීමෙන් දරුවාගේ වර්ධනය අඩාල වීම සිදුවේ. වගේම දරුවාගේ මොළය වර්ධනයට මවුකිරි තරම් සුදුසු වෙනත් කිසිම නිෂ්පාදනයක් මෙලොව නොමැති බව මතක තබා ගත යුතුය.

    දරුවා බුද්ධිමත් කිරීමට යැයි කියා වෙළඳ පොලේ අලෙවි වන පිටිකිරි වර්ග ලබා දීම අනවශ්‍ය බව මෙයින් වටහා ගත යුතුම වේ. සුවිශේෂී තත්ත්වයන් මත විශේෂඥ වෛද්‍යවරයෙක් නිර්දේශ කළ හොත් පමණක්ම දරුවෙකුට පිටිකිරි ලබාදීම සිදුකළ යුතු නමුත් මවක් හිතුමනාපෙට දරුවෙකුට පිටිකිරි ලබා නොදිය යුතුවෙයි.

    මවුකිරි වලින් දරුවාට ලැබෙන වාසි

    අනාගතයේ දරුවාට වැළදිය හැකි ලෙඩ රෝග ගණනාවකින්ම වැලැකීමට අවශ්‍ය ප්‍රතිශක්තිය මවුකිරි හරහා දරුවෙකුට ලැබෙයි. මුල් මාස හයේ මවුකිරි පමණක්ම පානය කළ දරුවෙකු ස්ථුල වන්නේ නැත. දියවැඩියාව, ඇතැම් පිළිකාවර්ග ( රුධිර ගත පිළිකා විශේෂ), හෘදයාබාධ, ශ්වසන රෝග, චර්ම රෝග, අසාත්මිකතා ආදී රෝග වැලදීමේ අවධානම අඩුවෙයි.

    මීලඟට ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත බවක් මවු ujකිරිවලින් ලැබෙයි. පිටස්තරින් කිසිදු විෂබීජ දරුවාට මවුකිරි හරහා ගමන් නොකරයිනමුත් පිටිකිරි ලබා දෙන විට විෂබීජ දරුවාගේ ශරීරයට ගමන් කරයි.

    මුල් මාස හයේදී මවුකිරි පමණක් පානය කරන දරුවෙකුගේ බුද්ධිමට්ටම ඉතා ඉහළ බව පරීක්ෂණ වලින් තහවුරු කරගෙන ඇති දෙයකි.

    මීලඟට මවගේ ආදරය හා ලබැඳියාව මවුකිරි ලබා දෙන අවස්ථාවේ දරුවාට ලැබෙන නිසා දරුවාගේ මානසික වර්ධනයත් ඉතා ඉහළ වේ. එය සමාජීය වශයෙන් ඉතා වැදගත් වේ.

    පෝෂණය

    මවුවරු අතර ඇති දුර්මත

    අනේ අම්මේ මගේ බබාට කිරිමදි කියලා මට හිතෙනවා. මොකක්ද මම කරන්න ඕන? මේවගේ ප්‍රශ්න සමාජ මාධ්‍ය හරහා ඇති කරගෙන තිබෙන කණ්ඩයම් අතර නිතර දකින්නට ලැබෙනවා. ඇත්තටම මවකගෙන් එරෙන කිරි දරුවෙකුට මදි වෙනවාද? නැත. මවකගෙන් එරෙන කිරි දරුවෙකුට ප්‍රමාණවත් නොවන්නේ ඉතාම කලාතුරකිනී.

    එනම් මවකගේ අන්තරාසර්ග ග්‍රන්ථිවල යම් ගැටලුවක් නැත්නම් හෝමෝන ගත ගැටලුවක් තිබේනම් පමණක් මෙම තත්ත්වය කළාතුරකින් ඇතිවෙයි. හැර මවකට ඇති පෝෂණ ගැටලු නිසා දරුවාට කිරි අඩුවීමක් සිදුවන්නේ නැත.

    නමුත් දරුවෙකුට කිරි මදි යැයි හිතෙන්නට හේතුවන ප්‍රධාන සාධකය වන්නේ මවක් නියම ක්‍රමවේදයට දරුවාට මවුකිරි පෙවීම සිදු නොකිරීමයි. එනම් දරුවා නිවැරදි ඉරියව්වෙන් තබා පියයුරට දරුවාගේ කට ලඟා නොකර සිටීමෙන් දරුවාට කිරි උරා බීමට බාධාවන් ඇති වීමයි.

    මීලගට අම්මලා අතර තියෙන දුර්මතයක් තමයි නාලා ඇවිත් කිරි දෙන්න හොඳ නැහැ කියන එක. කිරි සීතල වෙලා හෙම්බිරිසාව හැදෙයි කියලා ඇතැම් පැරණි මත දරණ අය මවුවරුන්ට උපදෙස් ලබා දෙනවා. නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැත.

    මනුෂ්‍යා යනු අචලතාපී සත්ත්වයෙකි. මිනිසාගේ ශරීර උශ්නත්වය වතුරේ බැස සිටියත් සැලකිය යුතු මට්ටමින් අඩුවීමක් සිදුවන්නේ නැත. තලගොයා, කබරයා වැනි සතුන්ගේ නම් ජලයේදී ශරීර උෂ්ණත්වය පහල යයි. නමුත් මනුෂ්‍යා ගේ එසේ නොවෙයි.

    නිසා නෑමෙන් පසු මවුකිරි සීතල නොවේ. මවුකිරි රත් වෙන්නට යැයි කියා නෑමෙන් පසු උණු වතුර බීමෙන් කිසිවක් සිදුවන්නේ නැත.

    මීලගට කුඩා මාලු වර්ග හාල්මැස්සන් වැනි දේ ආහාරයට ගැනීමෙන් මවුකිරි හරහා කුඩා කටු දරුවාට යන බවට ඇත්තේද දුර්මතයකි.

    නමුත් මවක් මවුකිරි දෙන කාලය තුළ කෝපි, තේ වැඩි පුර පානය නොකළ යුතුය යන්නේ සත්‍යතාවක් පවතියි. කෝපි, තේ වල අඩංගු සංයෝග දරුවාට මවුකිරි හරහා යෑමෙන් දරුවාගේ නින්ද අඩුවෙන බව සොයාගෙන ඇත. හැර වෙන සෞඛ්‍ය ගැටලු ඇති නොවේ.

    එසේම මධ්‍යසාර භාවිතයෙන් මවක් මවුකිරි ලබා දෙන කාලයේදී තොර විය යුතුය.

    හැර බලමාලු අන්නාසි තක්කාලි ආදිය මවුකිරි ලබාදෙන කාලයේදී ආහාරයට නොගතයුතුය යන මතය බැහැර කළ යුත්තකි. මවකට එම ආහාර අසාත්මික නම් ඒවාගෙන් වැලැකිය හැකි අතර එය තීරණය කළ යුත්තේ මව විසින්මය. ආසාත්මික නොවේ නම් ඕනෑම ආහාරයක් ගත හැකි අතර අප අතර පවතින මතයක් අනුව කිරි එරීමට උදව්කරන කොස් පොලොස් ආදිය මෙන්ම ඕනෑම පෝෂණීය ආහාරයකින් කිරි එරීම වර්ධනය කරයි.

    නිවැරදි ලෙස ආහාර ලබා ගන්නා මවකට විශේෂිත පිටි වර්ග හෝ විශේෂිත නිෂ්පාදනය කරන ලද කිරිවඩනවා යැයි සදහන් දෑ මිලදී ගැනීම අවශ්‍ය වන්නේ නැත. පලා වර්ග, ෆෝලික් අම්ලය, කැල්සියම් සහිත ආහාර ( මීකිරි, යෝගට්, චීස්,කුඩා මාලු, මුරුංගා කොළ, කතුරුමුරුංගා, පරිප්පු ආදිය) ගත යුතුය. එසේ නොවුණ හොත් මවගේ සිරුරේ කැල්සියම් අවම වී පසුකාලීනව දත්වල ගැටලු, අස්ථිවල ඝනත්වය අඩුවී ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළදිය හැකිය.

    පෝෂණය

    මව්කිරි ලබා දෙන මවකට ලැබෙන වාසි

      • මව්කිරි ලබා දෙන මවකට යලි ගර්භණී වන්නට පෙර තිබූ සිරුර යලි ලගාවීමේ හැකියාවක් පවතියි. (සෑම දරු උපතකින්ම පසු ගැබ්ගැනීමට පෙර සිටි දේහ ස්කන්ධය කිලෝ එකකින් වැඩිවන බව විද්‍යාත්මකව දක්වා තිබෙයි.)
      • ගර්භණී සමයේ ප්‍රසාරණය වූ ගර්භාෂය යථා තත්ත්වයට පත්වීම සිදුවේ. මෙයින් මීලඟ දරු උපතට අවශ්‍ය නිරෝගී ගර්භාෂය මවකගේ පිහිටයි.
      • මාස හයක් නොකඩවා මව්කිරි දුන් මවකට පියයුරු පිළිකා, ඩිම්බකෝෂ ගත පිළිකා ඇතිවීමේ අවධානම අඩුය.
      • දරු ප්‍රසූතියේදී රුධිරගලනයක් ඇතිවූ මවකගේ එම තත්ත්වය නතර වීමද මවුකිරි ලබා දීමෙන් සිදුවේ.
      • තාවකාලිකව ඔසප් චක්‍රය ප්‍රමාද වන බැවින් ස්වභාවික උපත් පාලනයක් සිදුවේ.( 100%ක් ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් නොවේ)
    • දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝග වලක්වා ගත හැකිය.

    සුවිශේෂී අවස්ථාවන්

    උපත් බර අඩු දරුවෙකු එනම් කිලෝ 2 ½කට අඩු බරක් ඇති දරුවෙක්ට ඇතිවිය හැකි සංකූලතා පිළිබඳ සොයා බලා මවුකිරි සමඟ විටමිනයක් නිර්දේශ කිරීමට හැකිය. එය මවට ලබාදී මව හරහා දරුවාට ලැබෙන ලෙස හෝ සෘජුව දරුවාට ලබාදෙන ලෙස හෝ වෛද්‍යවරුන් නිර්දේශ කළ හැකිය.

    එසේම වර්ධන සටහනේ බර අඩුවෙන බවක් මාස කිහිපයක් තුළ පෙන්නුම් කෙරේ නම් ඊට හේතුව සොයා බලා පරික්ෂා කර අදාල වෛද්‍ය උපදෙස් ලබා දෙනු ඇත. දරුවාගේ වර්ධන සටහනේ කුමක් පෙන්වූවත් එයට ගත යුතු පිළියම සැම විටම වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කළ යුත්තක් විය යුතුය.

    Renuka Silva

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් වයඹ විශ්ව විද්‍යාලයේ මානව පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රේණුක සිල්වා මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    නිසංසලා පතිරණ
    නිසංසලා පතිරණ
    දශකයකට ආසන්න කාලයක් පුරා මෙරට ජාතික පුවත්පත් සඳහා විධිමත් හා වැදගත් සෞඛ්‍ය සම්බන්ධ ලිපි සපයමින් පාඨකයාගේ විශ්වාසය ඉහළින්ම දිනාගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමධාරියකි.
    Colombo
    broken clouds
    31 ° C
    31 °
    31 °
    68 %
    5.2kmh
    62 %
    Fri
    31 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු