කාර්යබහුල ජිවන රටාවත් එක්ක අපිට ඇතිවෙන වේදනා කැක්කුම් ගැන සමහර වෙලාවට අපේ සැලකිල්ලක් නම් ඇත්තෙම නැහැ. ඒ හේතුවම සුළුවෙන් තියෙන වේදනා කැක්කුම් දරුණු තත්ත්වයට එන්නත් බලපාන්න පුළුවන්. Familylife.lk සුව පියස හරහා අපි අද බොහෝදෙනෙක් මැසිවිලි නැගුවත්, නිසි ප්‍රතිකාරයකට යොමු නොවන බෙල්ලේ කැක්කුම ගැන කතා කරන්න හිතුවේ ඒ නිසයි.
මොකක්ද මේ බෙල්ලේ කැක්කුම
සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් නම් රෝගී තත්ත්වය හේතුවෙන් හටගන්නා වේදනාවක් ලෙස මේ තත්ත්වය හැඳින්විය හැකියි. බෙල්ලේ පිටුපස පිහිටි ග්‍රයිවී කශේරුකා අතර ඇති අන්තර් කශේරුකා මඬල දිරාපත් වීමෙන් ග්‍රයිවී කශේරුකා එකිනෙකට ලං වීම හේතුවෙන් ඇති වෙන ස්නායු තෙරපීම නිසයි මේ තත්ත්වය හටගන්නේ.
අපේ සිරුරේ කශේරුකාවේ ඇති ඉහළම චලන සිදු වන්නේ ග්‍රයිවී කශේරුකා අතර. ඉතින් මේ කශේරුකා අතර නිතර නිතර සුළු සුළු අනතුරු සිදු වෙනවා. මේ හේතුවෙන් කුඩා අස්ථි කැබලි එහෙමත් නැත්නම් ඔස්ටියෝෆයිට්ස් (Osteophytes) කශේරුක දාරවල සෑදීම නිසා සුෂුම්නාව හෝ ඉන් හටගන්නා ස්නායු තෙරපීමට ලක්වෙනවා.
මේ තත්ත්වය මත සිදුවන ස්නායු තෙරපීම නිසා බෙල්ලේ වේදනාව, බෙල්ලේ සිට අතට දිවයන වේදනාව, හිරිවැටීම, මාංශ පේශි දුර්වල වීම යන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කශේරුක ධමනිය තෙරපීමට ලක්වුවහොත් හිසේ කැක්කුම, දෑස් අඳුරු වී ක්ලාන්තය ඇති විය හැකි අතරම Vertebral bassilar insuffiencyZ නමින් හඳුන්වන තත්ත්වයත් ඇතිවිය හැකියි.
බෙල්ලේ වේදනාවට භෞතචිකිත්සක ප්‍රතිකාර
- තාපය මගින් ප්‍රතිකාර ලබාදී වේදනාව හා මාංශ පේශිවල තද ගතිය නැති කළ යුතුය. ඒ සඳහා අධෝරක්ත කිරණ (Infra red) හෝ කෙටි තරංග (Short Wave) ලබාදිය හැක.
- ඉන් පසු කශේරුකාව අවට පේශීන් ඉහිල් කරන ව්‍යායාම කළ හැක. මේ සඳහා ස්ථිති ව්‍යායාම (Static exercises) කළ යුතුය.
තාප ප්‍රතිකාරවලින් වේදනාව අඩු නොවුණහොත්
- තවත් විද්‍යුත් චිකිත්සක ප්‍රතිකාරයක් වන ඉන්ටර්ෆැරැන්ෂල් ප්‍රතිකාරය (Interferential) මගින් වේදනාව ඉවත් කළ හැක. ඉන් පසු බෙල්ල අවට මාංශ පේශීන් ශක්තිමත් කරන ව්‍යායාම (Strengthening exercise) කිරීමෙන් ඉදිරියට මේ රෝගී තත්ත්වය පාලනය කරගත හැක.
- අන්තර් කශේරුක මඩල දිරාපත් වීමෙන් කශේරුකා අතර පරතරය අඩු වී සුෂුම්නා ස්නායු තෙරපෙන අවස්ථාවක් නම් භෞතචිකිත්සාවේ යෙදෙන සර්වයිකල් ට්‍රැක්ෂන් (cervical traction) ලබාදීමෙන් එම තෙරපීම ඉවත් කර රෝගියාට සහනය ලබාදිය හැක.
- එසේම සර්වයිකල් කොලරයක් පැලැඳීම මගින් හිසේ බර කොඳු ඇට පෙළ දිගේ පරිවහනය අඩු කර නිකට හරහා පර්ශු කූඩුව තුළට ගමන් කර විය හැක. එවිට අන්තර් කශේරුක මඩලවලට යෙදෙන පීඩනය අඩු වී ඒවාට පහසුවක් දැනේ. තෙරපීම අඩු වී රෝග ලක්ෂණද අඩු වේ.
- මෙහිදී අවධානයට ගත යුතු වැදගත්ම කරුණක් නම් දීර්ඝ කාලයක් මේ සර්වයිකල් කොලරය පලඳිනවා නම් අනිවාර්යෙන්ම බෙල්ල අවට මාංශ පේශීන් ශක්තිමත් කරන ස්ථිති ව්‍යායාම කළ යුතු බවයි. නැතහොත් ගෙලේ චලනය සීමා වන බැවින් ගෙල අවට මාංශ පේශින් සිහින් වී දුර්වල වී යා හැක. ගෙල නොසොල්වා පේශීන් පමණක් සංකෝචනය කරන ව්‍යායාම මෙයට සුදුසුය.
තමාට ගැළපෙන කොලරය තෝරා නොගතහොත් බලාපොරෙත්තු වන ප්‍රතිපලය හිමි නොවන අතරම කොලරය තෝරාගැනීමේදී රෝගියාගේ බෙල්ල අවට මිනුම් ලබාගෙන කොලරය සාදා ගැනීම සුදුසුය.
රෝගී තත්ත්වයෙන් පෙළෙන්නෙකු,
- ප්‍රමාණයට වඩා හිස ඉදිරියට නැවීමත් හිස ඉහළට එසවීමත් නොකළ යුතුය.
- නිතර පොත් පත් කියවන්නෙකු නම් තම පොත තම ඇස් මට්ටමට ගෙන කියවිය යුතුය.
- කොට්ටයක් නොමැතිව නිදා ගැනීම වඩා සුදුසුය. අවශ්‍යනම් ඉතා තුනී කොට්ටයක් භාවිත කළ යුතුය.
- පැත්තකට හැරී නිදා ගන්නා විට උරහිස හා හිස අතර පරතරයට කොට්ටයක් තබා ගන්න.
- තවද කිසිම විටක හිස මත බර ගෙන යාම හෝ ඔළුවෙන් සිට ගැනීම ආදී ව්‍යායාම නොකළ යුතුය.
සර්වයිකල් ස්පොන්ඩිලෝයිස් රෝගියකුට සුදුසු ව්‍යායාම
1. තම දෑත් නළල මත තබන්න. ඉන්පසු නළලෙන් ශක්තිය ගෙන අත්ල තෙරපන්න. නළලෙන් ගන්නා ශක්තියට සමාන ශක්තියක් අත්ල මගින් ගත යුතුය. එවිට හිසේ චලනයක් සිදු නොවේ. ගෙල අවට පේශීන් හොඳින් සංකෝචනය වේ. එසේම හොඳින් ඉහිල් වේ. මෙමගින් පේශියේ ඇති දරදඬු භාවය අඩු වනවා මෙන්ම පේශිය ශක්තිමත්ද වේ.
2. පළමු ව්‍යායාමය ලෙසටම අත්ල හිසේ පිටුපසට තබා තෙරපන්න. ඉහිල් කරන්න.
3. හිසේ දෙපැත්තට වරින් වර අත්ල තබා තෙරපන්න. ඉහිල් කරන්න.
මෙම ව්‍යායාම එක් වතාවකට එක් ව්‍යායාමයක් ලෙස 10 වතාවක් දිනකට 3වරක් බැගින් දිගටම මාසයක් පමණ දිනපතා කරන්න. එවිට මෙම රෝගී තත්ත්වය පාලනය වේ.
මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දෙමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා දැක්වූ සහයෝගයට Familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.
ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.