භෞත චිකිත්සාව කියූ පමණින් අපට නොසිතෙන නමුත් එම ක්‍රමයේ පවතින අපූරු චිකිත්සක ක්‍රමයක් අද අපි familylife.lk සුව පියස තුළින් ඔබවෙත ගෙන එන්නයි මේ සූදානම.
ශ්වාස නාල පද්ධතිය සම්බන්ධ රෝග එනම් ශ්වසන රෝග සඳහා මූලිකවම බලපාන හේතු සාධකය වන්නේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් මගින් ශ්වසන පද්ධතිය ආසාදනයට ලක්වීමයි. එසේත් නැතිනම් ඇතැම් රසායනික සහ විෂ වායු හේතුවෙන් ද ශ්වසන රෝග ඇති වීමේ හැකියාව පවතී.
ස්වසන පද්ධතිය ආසාදනයට ලක්විය හැකි තත්ත්ව
- වෛරස් හෝ බැක්ටීරියා වැනි විෂබීජ දූවිලි මගින් හෝ රෝගී පුද්ගලයෙකුගේ නිරෝගී පුද්ගලයෙකුගේ ස්වසන පද්ධතියට ඇතුළු වීම
- නොයෙකුත් අනතුරුවලට මුහුණ දී එක්තැන්වී සිටීම (අංශභාගය/කැඩුම්-බිඳුම්/ශල්‍යකර්ම වලට මුහුණ දී සිටීම)
- ශ්වසන පද්ධතියේ අර්බුද (Tumour)
- ශ්වසන පද්ධතියට පිටස්තරයෙන් යම් ද්‍රව්‍ය ඇතුළු වීම
- මානසික ගැටලුකාරී තත්ත්ව
බහුලව දක්නට ලැබෙන ශ්වසන රෝග
- නියුමෝනියා
- බ්‍රොන්කයිටීස්
- බ්‍රොන්කියොලයිටීස්
- ඇදුම
- බ්‍රොන්කියෙක්ටේසිස්
- ප්ලුරල් එෆියුෂන්
- පෙණහලු හැකිලීම
යම් පුද්ගලයෙකුහට වැලඳී ඇති රෝග තත්ත්වය මත ලබදෙන භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයද වෙනස් වේ.
ශ්වසන රෝගියෙකු පෙන්නුම් කරන ලක්‍ෂණ
- වියළි හෝ බුරුල් කැස්ස
- හතිය නැතහොත් මහන්සිය
- හුස්ම ගැනීමේදී ඇති වන පපුවේ වේදනාව
- උණ
- වමනය/කෑම අරුචිය/උදරයේ වේදනාව
- හිසේ වේදනාව
ශ්වසන රෝගියෙකු සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතරේම භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදීමද ඉතා වැදගත් වේ .
ශ්වසන රෝගියෙකුහට ලබාදෙන භෞතචිකිත්සක ප්‍රතිකාර
පොස්චරල් ඩ්‍රෙනේජ් (Postural drainage) ක්‍රමය
මෙහිදී සිදුවන්නේ රෝගියාගේ රෝගියාගේ සෙම තිබෙන ස්ථානයට අනුව අදාල ඉරියව්වල පිහිටුවමින් ගුරුත්වාකර්ෂණය උපයෝගී කර ගනිමින් හා අතින් තට්ටු කරමින් සෙම ඉවත් කිරීමයි.
සෙම තත්ත්වය දකුණු හෝ වම් පෙණහැල්ලේ යට ඛණ්ඩිකාවේ නම්,
– රෝගියා මුනින් අතට හරවා බඩ යටින් කොට්ට කීපයක් තබා හිස පහතට වැටෙනසේ තබමින් රෝගියාගේ පිටට තට්ටු කළ යුතුය.
සෙම තත්ත්වය දකුණු පෙණහැල්ලේ මැද ඛන්ඩිකාවේ නම්,
– රෝගියාගේ දකුණු අත පැත්ත ඉහළට දිස්වෙන ලෙස පැත්තට හරවා බඩ යටින් කොට්ටයක් තබා පපුවේ මැද කොටසට සහ පිටේ මැද කොටසට තට්ටු කරමින් සෙම ඉවත් කර ගත හැක.
සෙම තත්ත්වය දකුණු හෝ වම් පෙණහලුවල ඉහළ ඛණ්ඩිකාවේ නම්,
– රෝගියා උඩුබැලි අතට තබා පපුවට තට්ටු කරමින් කැස්ස ඇති කරවීමෙන් රෝගියාගේ සෙම ඉවත් කර ගත හැක.
එසේම වෛද්‍ය නිර්දේශයට අනුව මෙම භෞත චිකිත්සක ප්‍රතිකාරවලට පෙර සමහර රෝගීන්ට ජල වාෂ්ප ආඝ්‍රාණය හෝ නෙබියුලයිසර් ප්‍රතිකාරය ද කරනු ලබයි.
ශ්වසන රෝග සඳහා ශ්වසන ව්‍යායාම
ශ්වසන රෝග සඟා තවත් ප්‍රතිකාර ක්‍රමයක් ලෙස මෙම ශ්වසන ව්‍යායාම හැඳින්විය හැකිය.
ඇදුම රෝගයට ශ්වසන ව්‍යායාම මගින් සුවය
සාමාන්‍යයෙන් ඇදුම රෝගියෙකුගේ ශ්වසන පේශිවල දරදඬු බව නිසා එම පේශී සිහින් වී ඇති අතර ගැඹුරට හුස්ම ගෙන එය හැකි තරම් දරා සිට මුඛයෙන් එක්වර පිඹ හුස්ම පිට කිරමින් ශ්වසන මාර්ගය පළල් කිරීම සිදු කෙරේ.
හුස්ම ගැනීම සහ පිට කිරීම සිදුවන්නේ ශ්වසන පේශි සංකෝචනය මගින් සහ ශ්වසන පේශි ඉහිල් වීම මගිනි. පෙණහලුවල කාර්යය වන්නේ වායුගෝලයේ තිබෙන වාතයේ අඩංගු ඔක්සිජන් රුධිරයට ලබාදීමයි.
නමුත් ශ්වසන මාර්ගය සෑදී ඇති බ්‍රොන්කියල් පේශියේ දරදඬු බව හේතුවෙන් ප්‍රශ්වාසය නිසි ආකාරයෙන් සිදු නොවීම හේතුවෙන් ආශ්වාසයෙන් සිරුර තුළට ඇඳ ගන්නා වාතය නිසි අයුරින් ප්‍රශ්වාසය මගින් පිට කිරීමට රෝගියාට නොහැකි වීම නිසා පෙණහලු තුළ රැඳෙන වාතය (Dead Space Air) සැර වැඩි වන අතරම කාබන්ඩයොක්සයිඞ් පරිමාව ඉහළය.
මෙසේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අවම වීම නිසා මොළයේ තිබෙන ශ්වසන මධ්‍යස්ථානය මගින් අවශ්‍ය ඔක්සිජන් පරිමාව ලබාගැනීම පිණිස ශ්වසන වේගය වැඩි කරයි.
මෙවැනි තත්ත්ව යටතේ විශේෂිත ශ්වසන ව්‍යායාම වෙත රෝගීන් යොමු කෙරේ. රෝගියාගේ පපුව දෙපසට අත්ල තබා හුස්ම පිට කරන විට අත්ල ගස්සවමින් පෙණහලු තෙරපීම මෙහිදී සිදුකරයි. එවිට අපිරිසිදු වාතය පිට වී පිරිසිදු වාතය පැමිණේ. එවිට නැවතත් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ ගොස් ශ්වසන වේගය සාමාන්‍ය අතට පත් වේ.
මෙහිදී Peak Flow Meter නම් වූ උපකරණය යොදාගනිමින් හුස්ම පිට කරන වේගය පිළිබඳව දළ මිනුමක් ලබාගනිමින් ශ්වසන ව්‍යායාම ද වෙනස් කරමින් සිදුකරයි. පෙණහලුවල ඇති එක් එක් ඛණ්ඩිකා පිම්බෙන අයුරින් හුස්ම ගැනීම පුරුදු පුහුණු කිරීම (Localized breathing exercises) ද භෞතචිකිත්සකවරු අතින් සිදු වේ. සමහර රෝග සඳහා හුස්ම දරා සිටීම පාලනය කරන ව්‍යායාම ද තවත් සමහර රෝග සඳහා හුස්ම ගැඹුරට ගැනීමේ ව්‍යායමද තවත් රෝග සඳහා කෙටි හුස්ම ගැනීමේ ව්‍යායාම ද සිදු කෙරේ.
ඇදුම වැනි රෝග පාලනය කළ හැකි ඉරියව්
පුටුවක වාඩි වී උකුළ මත කොට්ට කීපයක් තබා ඒ මතින් ඉදිරියට නැමී හිස පහත් කරගෙන සිටීම
මෙම ඉරියව්වේදී බ්‍රොන්කියල් පේශිවල දරදඬු භාවය අඩු වී ඉහිල් වේ. මෙම භෞතචිකිත්සක ප්‍රතිකාර ආහාර ගැනීමට පෙර කළ යුතුය. නැතහොත් වමනය ඇති විය හැක. උදේ කෑමට, දවල් කෑමට සහ රෑ කෑමට පෙර දිනකට 3 වරක් මෙය කළ යුතුය.
සෙම ඉවත් කිරීමට කැස්ස ඇති කිරීම
භෞතචිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි ගෙලෙහි ඇති ට්‍රැකියල් නොච් :ඔර්ජයස්ක ණබදජය* තෙරපීමෙන් කැස්ස ඇති කළ හැක. කෙසේ වුවද ඔබ සිහියේ තබා ගත යුතු අනෙක් වැදගත්ම කරුණක් වන්නේ කැස්ස යනු කලබලයට පත්විය යතු තත්ත්වයක් නොවන බවත් එමගින් සෙම පෙණහලුවලින් ඉවතට ඇඳ දමන අතරම ශ්වසන මාර්ගයට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතු`ඵ වන විටදීත් කැස්ස ඇති වී එය ඉවත් කරයි. එනම් එය අපේ සිරුරේ ආරක්‍ෂාවට අත්‍යවශ්‍ය වන ක්‍රියාවකි.
තවද ශ්වසන මාර්ගය හැකිළීමේදී ඇතැම් අවස්ථාවලදී සෙම නැතිවත් කැස්ස ඇති වන අවස්ථා ඇත. මෙවැනි අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය. කැස්ස ඇති වන ස්වභාවය, එය මතුවන වේලාව ආදි දේ පැවසීම තුළින් වෛද්‍යවරුන්ට එය විනිශ්චය කිරීම පහසුය.
සාමාන්‍යයෙන් පාන්දර දෙකෙන් පසු කැස්ස ඇති වන්නේ නම් බොහෝ විට ශ්වසන මාර්ගය දරදඬු වී ඇති වන හතිය තත්ත්වය නිසාය. උදෑසන 8 – 9 වන විට ඒ තත්ත්වය පහව යයි. ඇතැම් විට ආහාර ගැනීමේදීත් නිදන ඉරියව්වේදීත් කැස්ස ඇති විය හැකි අතරම විවිධ රෝග තත්ත්ව හේතුවෙන්ද කැස්ස එන ක්‍රමද විවිධ විය හැකිය. එබැවින් හරියට ඒ දෙස විමසිලිමත් වී වෛද්‍යවරුන්ට පවසන්න.
නිව්මෝනියාව වැනි රෝග තත්ත්ව සම්පූර්ණයෙන්ම සුව කිරීමට නම් පෙණහලුවල ඇති වන සෙම පැල්ලම් ඉතුරු නොවී ඉවත් කළ යුතුමයි. එසේ නොවන්නට හුස්ම ගන්නා වාතය සමග ශ්වසන පද්ධතියට පැමිණෙන ක්ෂුද්‍ර ජීවින් එම සෙම පැල්ලම් තුළ නැවත ව්‍යාප්ත වී නැවත නැවන ආසාදනයට ලක්වීම සිදුවේ. එබැවින් එම සෙම පැල්ලම ඉවත් වන තුරුම නිවසේ සිටම ඔබට උපදෙස් ලබා දුන් පරිදි භෞතචිකිත්සක ව්‍යායාම දිනකට 3 වරක් බැගින් දින 7ක් පමණ කළ යුතුය. ඇතැම් විට පෙණහලු වටා ඇති ප්ලුරල් අවකාශය තුළ ඇති වන සැරව හේතුවෙන් ප්ලුරල් එෆියුෂන් තත්ත්වය ඇති වුව හොත් ශල්‍ය වෛද්‍යවරු (IC Tube) අන්තර් පර්ශුක බට දමා එම සැරව පිටතට ගන්නා අතරම භෞතචිකිත්සාවේදී කරන ව්‍යායාම ඒ ක්‍රියාවලිය පහසු කරවයි.
සුව හමුව තුළින් යලිත් හමුවෙමු
මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දෙමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞතචිකිත්සක ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා දැක්වූ සහයෝගයට ෆැමිලිලයිෆ් අපගේ ස්තුතිය මෙසේ පළකරමු.
ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට කාරුණික වන්න.