familylife.lk දරු සෙනෙහස තීරයෙන් ගෙන එන සිඟිත්තා උපන් දා සිට මාස හයක් ගත වනතුරු වැදගත් කරුණු ඇතුලත් ලිපි පෙලෙහි පළමු වැන්නයි.
සෑම මවකටම පියෙකුටම තම දරුවා මිහිමත ඇති වටිනාම වස්තුවයි. විශේෂයෙන් මිනිස් සත්වයාට තම දරුවකු දෝතට පත්වීම ඔවුන්ගේ ජිවිතයෙ සුවිශේෂිතම අවස්ථාවකි. දරුවකු දෝතට පත්වීම විවාහක යුවලකගේ ජීවිතේ සුවිශේෂීතම නව පරිච්ජේදයක ඇරඹුමයි. කිරි කැටියාගේ මුල් මාස හය තුල පැටියාව පරිස්සමට ආදරයෙන් රැකබලා ගන්නට ඇවසි දැනුමින් ඔබව පොහොසත් කරන්නට familylife.lk අපි සූදානම්.
පැටියගෙ ආගමනය
මව් කුස තුල සුරක්ෂිත පරිසරයක දිවි ගෙවූ සිඟිත්තා නියමිත දින මවගේ වැදෑ මහෙන් වෙන් කළ පසු ස්වාධීනවම ජීවිතයට මුහුණ දිය යුතුය. තම ආහාරය පවා තම උත්සාහය මත ලබා ගත යුතුය. සිඟිත්තාට ජීවිතයට අනුගත වන්නට මව හා පියා අත්වැල විය යුතුය.
දරුවාගේ මුල් ආහාර
සිඟිත්තා ඉපදී පළමු පැය භාගය ඇතුලත මව් කිරි ලබා දිය යුතුය. පියයුරුවල පිහිටා ඇති කිරි ස්‍රාවය කරන ග්‍රන්ථි ගර්භණී සමයේදී වර්ධනය වේ. මෙම ග්‍රන්ථි කුඩා නාල හරහා තන පුඩුවට සම්බන්ධ වේ. කිරි නිපදවිම හා පිටතට ස්‍රාවය කිරීම හෝමෝන මගින් සිදු වන අතර මෙම සියලුම කටයුතු මොළය මගින් පාලනය කෙරේ.
ප්‍රොලැක්ටින් නම් හෝමෝනය මගින් කිරි නිපදවෙන අතර දරුවා කිරි උරා බීමේදී ඔක්සිටෝසින් හෝමෝනය මගින් ග්‍රන්ථි වටා ඇති පේෂින් ක්‍රියාකර ග්‍රන්ථි තෙරපීම නිසා කිරි තන පුඩුවෙන් පිටතට ස්‍රාවය වේ. එමගින් දරුවාට අඛණ්ඩව කිරි සැපයීමක් සිදු වේ.
මුල්දින කිහිපයේ ස්‍රාවය වන කහ පැහැති කිරි
දරු ප්‍රසූතියෙන් පසු පළමු දින කීපය තුළ ස්‍රාවය වන මෙම කහ පැහැති ඝණත්වයෙන් වැඩි කිරි කොලස්ට්‍රම් ලෙස හඳුනවයි. මෙහි ප්‍රෝටීන් බහුලව ඇති අතර සිනි හා මේදය අඩුය. එමගින් දරුවාට රෝග වලට ඔරොත්තු දීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබෙන අතරම ප්‍රෝටීන් බහුල නිසා දරුවාගේ වර්ධනයට පිටුවහලක් වේ .
මව්කිරි දිම පිළිබඳව ඔබ අවබෝධයෙන්ද?
ඔබගේ මව්කිරි දිමේ ඉරියව්ව නිවැරදි විය යුතුය. දරුවාගේ නිකට මවගේ පියයුරු ස්පර්ශ විය යුතු අතර යටි තොල හොඳින් පිටතට පෙරලි තිබිය යුතුය. කිරි උරන විට දරුවාගේ කම්මුල පිටතට පිම්බේ. මවගේ තනපුඩුව හා ඒ වටා ඇති තද පැහැති ඇරියෝලාව නම් කොටසින් වැඩි ප්‍රමාණයක් දරුවාගේ මුඛය තුල තිබිය යුතුය. එවිට කිරි ඉරීමේදි ඔබට වේදනාවක් නොදැනේ.
සාමාන්‍යයෙන් ඉපදී පළමු සතිය තුල පැය 2ට 3 කට වරක් මව්කිරි දෙන්න. ඉන්පසු දරුවාට බඩගිනි වූ බවට දක්වන ඉඟි අනුව දරුවාට අවශ්‍ය සෑම විටම කිරි ලබාදෙන්න. වරකට එක පියුරකින් විනාඩි 20 පමණ දරුවාට කිරි බීමට සලස්වන්න. සාමාන්‍යයෙන් දරුවාට කිරි ඇතිවී ඔහු විසින්ම පියයුර අතහරීයි. එවැනි විටෙක අනෙත් වාරයේදී අනෙක් පියයුරෙන් කිරි බීමට සලස්වන්න. මව් කිරි නිපදවීම උත්තේජනය වන්නේ දරුවා වැඩිපුර කිරි උරා බොන විට බව මතක තබා ගන්න.
දරුවාගේ බර අඩු වන්නේ නම් එය බොහෝ විට සිදුවන්නේ නිවැරදි ඉරියව්වකින් කිරි නොදිම නිසාවෙන්ය. තනපුඩුව පැළීමකට ලක් වුවහොත් දරුවාට කිරි උරා බීමට ද නොහැකිවේ. තනපුඩුව පැළීමකට ලක්ව ඇති විටක දරුවා කිරි බී අවසන් වූ පසු මව් කිරි ස්වල්පයක් දොවා එම ස්ථානයේ ආලේප කරන්න. දැඩි වේදනාව, පියයුර රත් පැහැ වී උණ ගැනීමක් ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න.
මව් කිරිදීම පිළිබඳව දැනුවත් කිරිමට පූර්ව ප්‍රසව සායනයන් මගින් සිදු කරයි. මව්කිරි දිමේ වැදගත්කම, එමගින් ඇතිවන වාසි හා නිවැරදිව මව්කිරි දෙන අයුරු එහිදී විස්තර කෙරේ. නිවසට පැමිණෙන පවුල් සෞඛ‍්‍ය නිලධාරිණියගෙන් ද ගැටලුකාරී තත්ත්වයකදී උපදෙස් ලබා ගත හැකිය. සෑම රෝහලකම මව් කිරි කළමණාකරණ ඒකකයක් පිහිටුවා ඇති නිසා තව දුරටත් මව්කිරි දීමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුව හොත් ළඟම ඇති රජයේ මූලික රෝහලට හෝ ශික්ෂණ රෝහල වෙත ගොස් සේවය ලබා ගත හැකිය.
කිරි දීමෙන් පසු දරුවාට ගුඩුස් යවන්න
සාමන්‍යයෙන් දරුවා කිරි උරා බොන විට ආමාෂයට වාතයද ඇතුල්වේ. එම වාතය ඉවත් නොවුනහොත් බඩ පිපුම, බඩ රිදීම, වමනය ඇති වන්නටත් පුලුවන්. එම වාතය සිරවීම නිසා දරුවා ක්ෂණික මරණයට පවා පත් විය හැකිය. එනිසා සෑම කිරි වේලකට පසුවම දරුවාට ගුඩුස් යැවීම කළ යුතුය. ගුඩුස් යැවීමට දරුවා උරහිසට හේත්තු කරගෙන සෙමින් පිටට තට්ටු කිරීම, දරුවා ඉන්දවා පිටට අත තියාගෙන අනිත් අතින් සෙමින් බඩ තද කිරීම, දරුවාගේ බඩ යට වන පරිදි මුණින් අතට තබා හිස පැත්තකට හරවා තැබීම යන ආකාර ගුඩුස් යැවීමට අනුගමනය කළ හැකිය.
මුල් මාස හයේ මව් කිරි පමණක් ප්‍රමාණවත්
දරුවකුගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි මව් කිරි පමණක් මුල් මාස හයේ දරුවාගේ වැඩීමට ප්‍රමාණවත්ය. වෛද්‍ය උපදේශයකින් තොරව කිසිඳු ආහාරයක් හෝ දියර වර්ග ලබා නොදෙන්න. දරුවගේ ශාරිරික වර්ධනය දරුවාගේ බර තුලින් දැන ගත හැකිය.
දරුවාගේ බර ප්‍රශස්ථ මට්ටමක පවතී නම් මුල් මාස හයම මව් කිරිම ලබා දෙන්න. නමුත් බර අඩු නම් වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් මාස හතර සම්පූර්ණ වූ පසු අමතර ආහාර ලබා දිය හැකිය. මුල් මාස කීහිපයේදී දරුවාට මව් කිරි ලබා දුන්නද දරුවාගේ වර්ධනය නිසිසේ සිදු නොවේනම්, දරුවා නිතරම මලානික ස්වභාවයක් පෙන්නුම් කරයි නම්, දරුවා ක්‍රියාශිලී නොවන්නෙ නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න.
සිඟිත්තාගේ වමනය
සිඟිත්තාට නිසියාකාරව ගුඩුස් නොයැවීම, වැඩිපුර කිරි බීම වැනි සාමාන්‍ය තත්ත්වයන් නිසා වමනය ඇති විය හැකිය. එහෙත් ඇතැම් රෝගී තත්ත්වයන් නිසාද වටමනය ඇති විය හැකිය. GROD නැමැති රෝග තත්ත්වයේදී දරුවා බොන කිරි වලින් කොටසක් ආමාෂයට නොගොස් නැවත ආපස්සට පැමිණෙන නිසා වමනය ඇතිවේ.
ඇතැම් දරුවන් ඈතට වමනය කරයි. එයට හේතුව ආමාෂයෙ සමහර ස්ථාන පටු වීම නිසා විය හැකිය. එනිසා දරුවා නිතර නිතර වමනය කරන්නෙ නම් ඒ පිළිබඳ අවදානය යොමු කළ යුතුමය. වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කිරීම ඉතා වැදගත්ය.
කිරි දීම සහ නින්ද
සාමාන්‍යයෙන් පළමු මාසයේ දරුවා වැඩිපුර නිදා ගෙන කිරි බීමට නැගිටී. රාත්‍රිය මවට වෙහෙසකාරි විය හැක්කේ දරුවා කිරි බීමට පමණක් නොව මුත්‍රා හා මල පහ කිරීම නිසාද අවදිවන නිසාය. මෙම රටාවම සති 6 ක් පමණ වන විට වෙනස්වී දරුවා දවල්ට වැඩිපුර ඇහැරගෙන සිට වැඩියෙන් රාත්‍රියේ නිදා ගැනිමට පෙළබේ. දරුවාට රාත්‍රිය හා දහවල අතර වෙනස දැනීමට අවශ්‍ය නිසා ආලෝකමත් විදුලි බුබුළු නිවා දමන්න. අවශ්‍ය නම් ඉතා මද එළියක් කාමරය තුල තබා ගන්න.
මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් කළුබෝවිල, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක මහත්මිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.
ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.