මොබයිල් ෆෝන් දරුවන්ට මෙතරම්ම අහිතකර ඇයි දැයි යන්න ෆැමිලි ටුඩේ හරහා ගෙන එන මෙම ලිපිය මගිනුත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ එහි ඇති අවදානම අවධාරනය කිරීම ඉතාම වැදගත් නිසයි. රූපවාහිනිය ජංගම දුරකථනය ඇතුළු අනෙකුත් සියලුම ඩිජිටල් තිර මගින් පොඩි දරුවෙක්ව කායිකව සහා මානසිකව හානියට පත්වෙන ආකාරය පිළිබදව familylife.lk අපි මීට කලින් අරන් ආව ලිපි කිහිපයකින්ම කතා කළා(ලිපිය සඳහා මෙතැන ක්ලික්/ටැප් කරන්න.) මේ දේ දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නොවෙන නිසා ඉවසීමෙන් සහ බුද්ධිමත් විදියට කාලය අරන් කරන්න වෙන දෙයක් කියන කරුණත් මුලින්ම අපි ඔබට මතක් කරනවා.
අම්මලා තාත්තලා හැම වෙලාවෙම ෆෝන් එකට එබිලා ඉන්න අයනම්, එකක් නෑර ටීවී එකේ පෙන්වන ටෙලිනාට්‍ය ටික බලනවනම්, එහෙමත් නැත්තන් ලැප්ටොප් එක දිග ඇරගෙන ටීවී සීරිස් බලනව නම් මුලින්ම මේ දේවල් ටික සීමා කරන්න වෙනවා. තමන්ගේ දෙමව්පියන්ව අනුකරණය කරන දරුවා නිතරම දකින්නේ මේ දේවල් නම් තමනුත් ඒ දේම කරන එකේ වැරැද්දක් දරුවාට වැටහෙන්නේ නෑ. තමන්ගේ දරුවා ඩිජිටල් තිරවලට ඇබ්බැහි වෙලා නම් ඒක දරුවගේ නෙවෙයි තමන්ගේ වැරැද්ද නිසා වුණු දෙයක් බව මුලින්ම අවංකව පිළි අරගෙන පවුලේ හැමෝම එක තීරණයකට ඇවිත් දරුවාව හරි මගට ගන්න උත්සහ කරන්න. මේ කටයුත්තෙදි දෙමව්පියන්, ආච්චිලා සීයලා ඇතුළු පවුලේ හැමෝම එකම තීරණයක ඉන්න එක හරිම වැදගත් වෙනවා.
දරුවාව ඩිජිටල් තිර ඇබ්බැහියෙන් මුදවාගන්න නම් එහි ඇති අවධානම් සහගත තත්ත්වය ගැන වැඩිහිටියන් හොදින් වටහාගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. ඇතැම් මව්පියන් තාක්ෂණය වැරදි විදියට භාවිතා කිරීම, සමාජ ජාලා වෙබ් අඩවි අනිසි භාවිතය පිළිඹදව තබා රූපවාහිනිය ජංගම දුරකථනය දරුවන්ට ලබා දීම නුසුදුසු ය කියන කාරණය ගැනවත් දැනුවත් නැති බව පෙනී යනවා. මොබයිල් ෆෝන් දරුවන්ට මෙතරම්ම අහිතකර ඇයි යන්න සිතීමට පෙර වැඩිහිටියන් මුලින්ම දැනුමින් සන්නද්ධ වීම අත්‍යවශ්‍ය වෙනවා. තමන්ගේ දරුවාට මේ දේවල් නුසුදුසු වන්නෙ ඇයි, කොහොමද මේ වගේ ඇබ්බැහිකම් වලින් දරුවා මුදවාගන්නේ කියන කාරණය වටහා ගැනිමටත්, එය දරුවාට වටහා දීමටත් එවිට ඔබට හැකියාව ලැබෙනවා.
සමහර නිවෙස් වල රූපවාහිනිය නරඹන්නේ කුඩා දරුවන් සහ ආච්චිලා සීයලා පමණයි. දරුවා මෙයින් මුදවාගැනීමට මව්පියන්ට අවශ්‍යතාවය තිබුනත් පවුලේ අනෙක් වැඩිහිටියන් නිසා ඒ දේ සිදු කිරීම අපහසු වෙලා තියෙනවා. එවැනි අවස්ථාවාලදි, රූපවාහිනිය ඇත්තේ නිවසේ සාලයේ, කෑම කාමරයේ හෝ දරුවාගේ නිදන කාමරයේ නම් එය ගළවා රූපවාහිනිය නරඹන වැඩිහිටියාගේ කාමරයේ සවි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දරුවාට ජංගම දුරකථන ලබාදෙන, රූපවාහිනිය ක්‍රියාත්මක කර දෙන අයෙක් නිවසේ සිටිනවානම් එහි ඇති අවධානම ඔවුන්ට පැහැදිලි කර දී එය නවතා දැමීමේ හැකියාව දරුවාගේ මවට සහ පියාට තිබිය යුතු වෙනවා.
දරුවාත් හවුල් කරගනිමින් රූපවාහිනිය නරඹන, දරුවාට ලැප්ටොප් එකේ කාටූන් එකක් දාලා දීලා වැඩිහිටියන් ජංගම දුරකථන භාවිතා කරන විශේෂ කාලසීමාවන් තියෙනවානම් එම අවස්ථා මගහරවා ගන්න. උදාහරණයක් විදියට රෑ කෑමෙන් පසු නින්දට සූදානම් වෙන අවස්ථාව සළකන්න පුලුවන්. ඒ කාල සීමාව දරුවන් හුරතල් කරමින් විනෝද වීම, පාසලේ/ පෙර පාසලේ අධ්‍යාපනික කටයුතු හෝ මිතුරු මිතුරියන් ගැන කතා බහ කිරීම, දරුවාට කතාන්දර පොතක් හෝ සින්දුවක් කියා දීම වගේ පලදායි ක්‍රියාවන්ට වැය කරන්න පුළුවන්කම තියෙනවා. සතියක් නොකඩවා මේ දෙය කිරීමෙන් එය පුරුද්දක් බවට පත් කර ගන්න පුළුවන් වෙනවා.
ඩිජිටල් තිරවලට දැඩි ලෙස ඇබ්බැහි වුණු දරුවෙක් නම් එක්වරම එයින් මුදවා ගැනීම එතරම් පහසු දෙයක් නොවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සීමාවක් ඇතුව යම් කාලයක් පමණක් ලබා දීම කළ හැකි වෙනවා. දරුවා දිනකට පැය 3ක් පමන රුපවාහිනිය සමග කල් ගත කරනවානම් මුලින්ම එය පැයකට සීමා කරන්න. නරඹන දෙය මව්පියන්ට තීරණය කළ හැකි වෙනවා. වරින් වර මේ තීරණ දරුවාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමෙන් වලකින්න. රූපවාහිනිය ඇතුලු අනෙකුත් ඩිජිටල් තිර ජීවත්වීමට අතවශ්‍ය නොවන උපකරණ බව දරුවාට වටහා දෙන්න. කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය සිදු කිරීමෙන් සහ අනෙකුත් විසදුම් ක්‍රම අනුගමනය කිරීමෙනුත් දරුවා මෙයින් මුදවා ගැනීමට හැකියාව ලැබේවි.
දරුවා පාසලටත් නිවසටත් පමණක් සීමා වූ දරුවෙක් නම්, අධ්‍යාපනයටත් රූපවාහිනියටත් පමණක් සීමා වූ දරුවෙක් නම් මේ කාර්‍යය සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා. මේ දේවල්වලින් පරිබාහිර සමාජය ඇසුරු කිරීමටත් ක්‍රියාකාරකම් වල නියැළීමටත් දරුවට අවස්ථාව ලබා දීමෙන් මේ කටයුත්ත වඩාත් සාර්ථක වීමට ඉඩ තියෙනවා. උදාහරණ විදියට හවස් කාලයේ අසල්වාසී දරුවන් සමග ක්‍රීඩා කිරීම, පිහිනීම චෙස් බැඩ්මින්ටන් හෝ ඕනෑම ක්‍රීඩාවක නියැළීමට උනන්දු කරවීම, පොත් පත් කියැවීමට පෙළඹවීම, නිවසට ආසන්න ක්‍රීඩා උද්‍යානවලට රැගෙන යාම, දරුවා සමග අත්වැඩ වැනි ක්‍රියාකාරකම්වල නිරත වීම, අහාර ගන්නා අවස්ථාවලදී කතාන්දර කියා දීම, මිදුලට බැස වැලි සෙල්ලම් කිරීමට, අවට පරිසරය සහ ගස් වැල් නිරීක්ෂණයට අවස්ථාව ලබා දීම පෙන්වන්න පුලුවන්.