උපතේ සිට මරණය තෙක් විවිධ ජීවන අවධීන් වල ජීවත් වන අපට “ලෙඩ රෝග, බේත් හේත්, දොස්තර, රෝහල, ෆාමසිය ” වගේ දේවල් දැන් නිතරම භාවිත කරන වචන බවට පත් වෙලා තිබෙනවා. ඉතිං මේ හැම දේම පොදුවේ සෞඛ්‍ය කියන වචනයට සම්බන්ධයි. වර්තමානයේ කාර්ය බහුල ජීවන රටාවත් එක්ක බෙහෝ දෙනා තමන්ගේ සෞඛ්‍යය නොසලකා හරින්නත් පුරුදු වෙලා. අද අපි familylife.lk සුව පියස තුළින් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබේත් මගේත් සෞඛ්‍ය ගැනයි.
කෙනෙක්ට ඇති වෙන ලෙඩරෝග පිටට ලක්ෂණ පෙන්වන කායික, මානසික රෝග වෙන්න පුලුවන්. ඒ වගේම බැලූ බැල්මට පිටට ලක්‍ෂණ නොපෙන්වන කායික හෝ මානසික රෝග වෙන්නත් පුළුවන්. කුමන වර්ගයේ වුවත් ඔබට ඇතිවිය හැකි ලෙඩ රෝග සම්බන්ධයෙන් විස්තර, එම තත්ත්වයන් වළක්වා ගත හැකි ආවස්ථාවන් හා ක්‍රමවේදයන් මෙන්ම සෞඛ්‍යය යහපැවැත්මක් තමන්ගේ පවුලේ පවත්වා ගන්නේ කොහොමද කියල සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය කියන්නෙ කායික, මානසික හා සමාජීය යහපැවැත්මක් පවත්වා ගැනීමයි. එය ලෙඩ රෝග ඇති නොවීම හෝ ශාරීරික – මානසික දුර්වලතා නැතිවීමට එහා ගිය සංකල්පයක්.
සෞඛ්‍ය ගැන කතා කරන විට සෞඛ්‍ය ප්‍රවර්ධනය ගැනත් කථා නොකරම බෑ. එයින් අදහස් වෙන්නෙ තමන්ගේ සෞඛ්‍යට බලපාන සාධක තමන්ගේ පාලනයට ගැනීම සහ තම සෞඛ්‍යය දියුණු කර ගැනීමේ ක්‍රියාවළියයි. ඉතිං ඔබ ඔබ ගැන සැලකිළිමත් නම්, ඔබේ පවුලේ සාමාජිකයන් ගැන සැලකිලිමත් නම් අනිවර්යයෙන්ම මෙම ක්‍රියාවලීන් ගැන දැනුවත් විය යුතුමයි.
මෙම සංකල්ප ගැන අපි පුංචි උදාහරන කීපයක් අරගෙන කථා කරමු. හිතන්න ඔබ, ඔබේ වයසට, ස්ත්‍රී පුරුෂ භාවයට අදාල උසට සරිලන බර වැඩි තරබාරු පුද්ගලයෙක් කියල. නමුත් ඔබට කිසිදු රෝගී තත්ත්වයක් නොමැති නම් එය ඔබට කිසිදු ගැටලුවක් ඇති කරන්නේ නෑ. ඒ වගේම තරබාරුකම අධි රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ ක්ලොස්ටරෝල් අගය වැඩි වීම, අක්මාවේ රෝග ඇතිවීම ආදී රෝග වලට ගොදුරු වීමේ හැකියාව වැඩි කරනවා. එම නිසා ඔබේ බර නියමිත මට්ටමක පවත්වා ගැනීම සෞඛ්‍යය යහපැවැත්මේ අංගයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.
තවත් උදාහරනයක් සැලකුවහොත් ඔබේ විවේක කාලයේදී නිවසේ රූපවාහිනිය බලමින් අක්‍රීයව කාලය ගත කිරීමට වඩා එම කාලය සෞඛ්‍යය සම්පන්න යහපැවැත්මක් ඇති වඩා ඵළදායී ලෙස ගත කිරීමට යොදාගන්න පුලුවන්. ඔබේ ගෙවත්ත අස්පස් කර ගැනීම, කුඩා ගෙවතු වගාවක් කිරීම, පොදු වැඩ වලට දායකත්වය ලබාදීම, නැතිනම් කුමන හෝ ක්‍රියාශීලී ක්‍රීඩාවක නිරතවීම වැනි යමක් ඔබට ඒ වෙනුවට කළ හැකියි. මෙම ක්‍රියාකාරකම් මගින් විශේෂ උත්සාහයකින් තොරවම අපට කායික, මානසික මෙන්ම සමාජීය යහපැවැත්ම ළඟාකර ගැනීමේ හැකියාව ලැබෙනවා.
කායික සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය, සමාජීය සෞඛ්‍යය වශයෙන් බෙදා වෙන්කළත් මේ කාරනා එකිනෙක බැඳුනු සංකල්පයන්.
කායික සෞඛ්‍යය
සරලව ගතහොත් ශරීරයේ යහපැවැත්ම පවත්වා ගැනීම කායික සෞඛ්‍ය ලෙස හඳුන්වන්න පුළුවන්. නිතර හැදෙන හෙම්බිරිස්සාව, උණ වගේ බෝවෙන රෝග වගේම දිවවැඩියාව, අධි රුධිර පීඩනය බෝ නොවන රෝග වලට ලක් වීමේ ප්‍රවනතා වලින් මිදීමත් යහපත් කායික සෞඛ්‍යක් පවත්වා ගැනීමක් වශයෙන් දක්වන්න පුළුවන්. ක්‍රියාශීලී බව, නියමිත පෝෂණය හා විවෙිකය කායික යහපැවැත්මක් පවත්වා ගැනීමට වැදගත් කාරනා වනවා.
මෙය කළ නොහැකි කාර්යක් ලෙස බොහෝ දෙනා සැලකුවත් හොඳාන් සිතාබලා තමන්ගේ එදිනෙදා දින චර්යාවට සුළු වෙනස් කම් එක්කීරීමෙන් පහසුවෙන් කායික යහපැවැත්ම ඇතිකරගන්න පුළුවන්.
මානසික සෞඛ්‍යය
යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම කියන දෙයින් අදහස් කරන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කිරීමේ හට ගැනෙන ගැටළු වලට සාර්ථකව මුහුණ දෙමින් ඵළදායී ලෙස ජීවිතය පවත්වාගෙන යාම සහ සමාජයක් ලෙස තමන්ට අයත් වගකීම් වලදී සාර්ථක දායකත්වයක් ලබාදීමයි.
ඉක්මනින් කලබල වීම, නිතර කේන්ති යාම, දරාගැනීමට නොහැකි වීම, වැනි අයපත් ලක්‍ෂණ මෙන්ම ඉවසීමෙන් වැඩ කිරීම, දුකසැප එක ලෙස දරා ගැනීම, විමසා බලා කටයුතු කිරීම ආදී යහපත් ලක්‍ෂණ අපට සමාජයේ විවිධ පුද්ගලයන්ගෙන් දැකගත හැකියි. මේවා අතරින් අයපත් දේ හැකිතරම් බැහැර කර යහපත් දේ ලඟාකර ගැනීමට අප නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි.
සමාජීය සෞඛ්‍යය
සමාජීය සෞඛ්‍යයයම් පුද්ගලයෙකු අන්අය සමග කොතෙක් දුරට සාර්ථකව, ඵළදායීව හා සුවසේ සිය ජීවිතය ගත කරනවාද යන්න සමාජීය යහපැවැත්ම තීරණය කරන සාධක වෙයි. පුද්ගලයා හා සමාජය එකම කාසියක දෙපැත්ත ලෙස සැලකන්න පුළුවන්. තනි පුද්ගලයෙක් සෑම විටම සිය සමාජ සම්බන්ධතා මනාව පවත්වා ගැනීමට නිරන්තරයෙන් උත්සුක විය යුතුයි.
සමහර පුද්ගලයින් අන් අයට ගරු නොකරන අතර තමන්ගේ මතය සියයට සියයක් නිවැරදි යයි සිතා වැඩ කරයි. සමහරුන් ඉතා හුදකලා ජීවිත ගත කරයි. මේ අතර ඇතැමුන් නායකත්වය ගෙන සැමදෙනා සමග සුහදත්වයෙන් කටයුතු කරමින් කාගෙත් සිත් දිනා කටයුතු කරයි. තමන්ගේ සමාජීය සුවතාවය පිළිබඳ තමාට වැටහීමක් පැවැතිය යුතු අතර යහපත් සමාජ යහපැවැත්මක් සැමවිටම වැදගත් වේ.
මෙලෙස කායික, මානසික, හා සමාජීය යහපැවැත්මක් පවත්වා ගැනීම ඔබේ පවුලේ දියුණුවට බලපාන අත්‍යවශ්‍ය සාධකයක් බව වටහා ගන්න. ඔබ නිරෝගීව සිටියහොත් පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ කාලය, ශ්‍රමය, ධනය මෙන්ම සතුටද ආරක්‍ෂා වේ. සැමැවිටම රෝග වැළඳුනු පසු ප්‍රතිකාර කිරීමට වඩා ලෙඩ රෝග සෑදීම වලක්වා ගැනීම ඉතා වැදගත් වේ.
ඉදිරි ලිපි මගින් එදිනෙදා ජීවිතයේදී කායික, මානසික, හා සමාජීය යහපැවැත්ම පහසුවෙන් ලඟාකරගන්නා ආකාරය පිළිබඳව සවිස්තරව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම බෝවන හා බෝනොවන රෝග වලක්වා ගන්නා ආකාරය පිළිබඳවත්, අවශ්‍ය සෞඛ්‍ය සේවා ලබාගත හැකි ආකාරය පිළිබඳවත් වැඩි දුර තොරතුරු ගෙන එන්නට බලාපොරොත්තු වේ.
ඔබට, ඔබේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ඔබ සත්‍ය වශයෙන්ම ආදරය දක්වන්නේ නම් පවුලේ සෞඛ්‍ය යහපැවැත්ම පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වීම ඔබගේ වගකීමයි. පවුලේ සෞඛ්‍යට බලපාන සාධක නිසිලෙස හඳුනාගනිමින් ඒවා නිසි ලෙස කළමනාකරණය කරමින් සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින දියුණු කරගැනීම මෙම ලිපිය කියවන ඔබගේ වගකීමයි.
මේ ලිපියේ දෙවන කොටස – තමන් ගැන හිතන්නවත් වෙලාවක් නැද්ද?
මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනූජා පෙරේරා මෙනවිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.
මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.
Cover photo – 21drops.com