ළදරුවෙකුට ඝණ ආහාර ආරම්භ කිරීම ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක කඩ ඉමක්. මේ සම්බන්ධයෙන් අලුත් මව්පියන් වුණු ඔබට ගැටළු බොහොමයක් තියෙන්නට පුළුවන්. familylife.lk අපි ෆැමිලි ටුඩේ තුළින් මේ ලිපියෙන් කතාකරන්නට සුදානම් වෙන්නේ ළදරුවෙකුට ඝණ ආහාර ආරම්භ කිරීමේ දී සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධව යි.
උපන්න දිනයේ පටන්ම ළදරුවෙක්ගේ පළමු ආහාරය වන මව් කිරි දරුවට ආහාරයක් විතරක් නෙවෙයි, ඖෂධයක් ද වෙනවා. ළදරුවාගේ කායික සහ මානසික සංවර්ධනයටත් උපකාර වෙන මව්කිරි ළදරුවෙකුට ලබාදෙන්න පුළුවන් ඉතාමත් වටිනා ම, සුපිරිසිදු ම, විශ්වාසදායකම සහ තත්ත්වයෙන් උසස් ම ආහාරය විදියට හඳුන්වන්න පුළුවන්.
දරුවාට අත්‍යවශ්‍ය සියලුම පෝෂක කොටස් අඩංගු වී ඇති සහ දරුවාගේ ප්‍රතිශක්තිය ඉහළ නංවා බෝවෙන රෝගවලින් දරුවා සුරකින මව්කිරි තුළ අඩංගුයි. එනිසාම මවුකිරි ලබාදෙන කාල සීමාව තුළ දී වතුර බිඳුවක් හෝ අමතර වශයෙන් ලබාදීමෙන් වළකින ලෙස වෛද්‍යවරු උපදෙස් ලබාදෙන්නෙත් මේ හේතුව නිසයි.
හැබැයි, මවගේ ශරීරය තුළ දරුවාට ප්‍රමාණවත් තරම් මව්කිරි නිෂ්පාදනය නොවෙන, දරුවා මවගේ තන පුඩුව ප්‍රතික්ෂේප කරන (මෙවැනි අවස්ථාවලදී කිරි දොවා පෙවීම කරන්න පුළුවන්), මවට සෞඛ්‍යමය ගැටළු ඇතිවන, ප්‍රසූතියේදී මව මියයන, දරුවෙක් හදා ගැනීමට ලබාගන්න සහ නොමේරු ළදරුවන් විදියට උපත ලබා නොමේරු ළදරු ඒකකයේ දරුවා තබන අවස්ථාවන් වලදී වෛද්‍ය අනුමැතිය සහිතව ළදරු කිරිපිටි ලබාදීමේ හැකියාව තියෙනවා.
මව්කිරි පමණක් ලබා දියයුතු කල සීමාව මාස 6ක් වන අතර ඉහත සදහන් ගැටළු සහිත අවස්ථාවලදී ළදරු කිරිපිටි මාස 5 පමණ ලබා දී වෛද්‍ය උපදෙස් මත ළදරුවෙකුට ඝණ ආහාර ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. මාස 6 දී වගේම ඊට පෙර ආහාර ලබාදීම ආරම්භ කළත් අපි මේ කියන පිළිවෙලේ නම් වෙනසක් සිදුකළ යුතු වන්නේ නෑ.
දරු ප්‍රසුතියෙන් පසු රෝහලෙන් ඔබට ලබාදෙන දරුවාගේ සෞඛ්‍ය වර්ධක සටහනේ ළදරුවෙකුට ආහාර ලබාදීම ආරම්භ කිරීමේදී පොදුවේ අවශ්‍යවන සියළුම උපදෙස් අඩංගු වෙලා තියෙන නිසා දරුවාට ආහාර ලබාදීම ආරම්භ කිරීමට පෙර මේ පොත කියවා උපදෙස් ලබාගැනීම ඔබට විශාල පහසුවක් වෙන්න ඉඩ තියෙනවා. මාස 6 සිට (හෝ ඊට පෙර) ආහාර ලබාදීමේදී පහත ආකාරයට ආහාර ලබාදීම පහත සදහන් ආකාරයට සිදු කිරීමේ හැකියාව තියෙනවා.
මාස 6 ආරම්භ වූ පසු (දින 180)
සුදුසු දේශීය සහල් වර්ගයක් හෝ සාමාන්‍ය රතු හාල් බත් ස්වල්පයක් හොදින් මත් ගා මව්කිරි ස්වල්පයක් එකතු කරලා දරුවට කවන්න. ආරම්භයේ දී තේ හැඳි 2-3ක් පමණ ප්‍රමාණවත් වෙනවා. ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් ප්‍රමාණය වැඩි කරන්න.
දින තුනකින් පමණ පස්සේ පරිප්පු වගේ ඇට වර්ගයක් එකතු කරලා බත උයලා මත්ගාලා කවන්න. මේ විදියට සතියක් පමණ ආහාර ලබාදීමෙන් පස්සේ, එළවලු, මාළු, හාල්මැස්සන් කුඩු, පලා, ඇට වර්ග සහ පළතුරු ක්‍රමක්‍රමයෙන් හඳුන්වා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඉහතින් සදහන් කළ ආහාර වර්ග හඳුන්වා දීමේ දී වරකට එක වර්ගයක් බැගින් හඳුන්වා දීම මගින් දරුවාට අසාත්මික විය හැකි ආහාර වර්ග හඳුනාගැනීම පහසු වෙනවා.
ආහාර වර්ගයක් මුල්වරට හඳුන්වා දීම උදේ වරුවක සිදු කිරීම තමයි වඩාත්ම සුදුසු වන්නේ. දිනකට ප්‍රධාන වේල් 2-3ක් ලබා දීම ප්‍රමාණවත් වෙනවා. දිනකට වරක් සුරාගත් හෝ පොඩි කරගත් පළතුරක් ලබාදීම අත්‍යවශ්‍ය වෙන්නේ ඝන ආහාර ආරම්භ කිරීමෙන් පසු දරුවාට සුළු මළබද්ධ තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති නිසයි. දරුවට ජලය ලබාදීම අත්‍යවශ්‍ය නොමැති අතර අවශ්‍ය හැම අවස්ථාවකම මව්කිරි ලබාදීම කරන්න පුළුවන්.
හාල්මස්සන් කුඩු සාදා ගැනීම– පිරිසිදු හාල්මැස්සන් අවශ්‍ය ප්‍රමාණයට අරන් උණුවතුරේ විනාඩි 5ක් පමණ පොඟවා ගන්න. හාල්මස්සාගේ බඩ ඇතුලේ ඇති අපද්‍රව්‍ය පමණක් ඉවත්කරගෙන ලුණු ගතිය ඉවත් වෙන තෙක් පිරිසිදු කරගෙන වතුර ඉවත්වෙනතුරු වේලාගන්න. වේලාගත් හාල්මැස්සන් කබලේ දුඹුරු පැහැ වන තුරු කර නොවෙන විදියට බැදගන්න. බැදගත් හාල්මැස්සන් බ්ලෙන්ඩරයකින් හොඳින් කුඩු කරගෙන පිරිසිදු බෝතලයක දමා හුළං නොවදින විදියට තියාගෙන බබාගේ එක ආහාර වේලකට තේ හැඳි බාගයක පමණ ප්‍රමාණයක් එකතු කරලා කවන්න.
මාස 8 සිට
බත්, එළවලු, ඇට වර්ගයක්, මාළු (මාළු සහ ඇට වර්ග අවශ්‍යනම් වෙනම තම්බා එකතු කරන්න පුළුවන්) හොඳින් තම්බා සියුම් කැබලි හිටින විදියට මත්ගා පලා වර්ගයක් ද එකතු කර කවන්න. උකු පොල්කිරි, පොල්තෙල්, සූරියකාන්ත තෙල්, ඉරිඟු තෙල්, රත්කිරීමට ගන්නා ඔලිව් තෙල් කියන ඕනෑම වර්ගයකින් තේ හැන්දක් එකතු කර බත පිසගන්න.
එහෙමත් නැත්තන් ලුණු රහිත බටර් හෝ රත් නොකරන ඔලිව් තෙල් ස්වල්පයක් කැවීමට සකස් කරගත් ආහාරයට එකතු කර කවන්න. අඬු කෝප්ප බාගයකට මදක් වැඩිවෙන විදියට දිනපතා වේල් 2-3ක් ලබාදෙන්න. අමතර වේලකට පළතුරක් හා අවශ්‍ය වෙලාවට මව්කිරි ලබාදෙන්න. නිතරම ආහාරවල විවිධත්වයක් ඇති කිරීමෙන් දරුවාට ආහාර ගැනීම ප්‍රිය වෙනවා ඇත.
මාස 9 සිට
මේ කාල සීමාව තුල දී විවිධාකාරයේ ආහාරවලට හුරු කිරීම ඉතා වැදගත් වෙනවා. අඬු කෝප්ප බාගයකට වඩා මදක් වැඩියෙන් දිනකට වේල් 3ක් සහ අමතරව එක් පළතුරු වේලක් ලබාදෙන්න. ආහාරවල කැබලි ගතිය අනුක්‍රමයෙන් වැඩි කරන්න. හොඳින් තම්බාගත් බිත්තර කහමදයෙන් තේ හැන්දක ප්‍රමාණයක් මුලින්ම ලබා දී අසාත්මිකතාවයක් පෙන්වන්නේ නැතිනම් දෙන ප්‍රමාණය වැඩි කරන්න. මව්පිය අධීක්ෂණය යටතේ දරුවාට අතින් අල්ලාගෙන කෑමට හැකි ආහාර ලබාදෙන්න.
මාස 10-12
අඬු කෝප්ප තුන්කාලක් බැගින් දිනකට වේල් 3ක් මේ වයසේදීත් ප්‍රමාණවත් වෙනවා. යෝගට් (සීනි රහිත යෝගට් වර්ගත් අවශ්‍යනම් මිලට ගැනීමේ හැකියාව තියෙනවා.), තැම්බූ අලවර්ග තැම්බූ ඇටවර්ග සහ පළතුරු වැනි කෙටි ආහාර වේල් 1-2ක් සහ අවශ්‍ය විට මව්කිරි ලබාදෙන්න. වතුර ස්වල්පයක් අවශ්‍ය නම් පමණක් ලබාදෙන්න. දරුවාගේ දෛනික දියර අවශ්‍යතාවය මව්කිරි මගින් හරියාකාරව සම්පූර්ණ වෙනවානම් වතුර අවශ්‍ය වන්නේ නෑ.
අවුරුද්දක් වන තුරු කිසිම හේතුවක් මත දරුවාගේ ආහාරවලට ලුණු හෝ සීනි එකතු කිරීමත්, සීනි (යෝගට් හැර) ලුණු සහිත වෙනත් ආහාර වර්ග ලබාදීමත් නොකළ යුතු බව තරයේ මතක තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.