fbpx
More
    31 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    මුල් මාස හයෙන් පසු දරුවෙකුගේ පෝෂණය ගැන මවක් දැනගත යුතුම දේවල්

    Family Tech Sponsorspot_imgspot_img

    ළදරුවෙකුගේ පෝෂණය පිළිබඳව කතා කරන විට එය ආරම්භ වෙන්නේ උපත ලබා පැයක් ගතවීමට පළමුව මව්කිරි දීමත් සමගනි. මුල් මාස 06 කාලය තුළ ළදරුවා මව්කිරෙන් පමණක් පෝෂණය ලැබීම වැදගත් වේ. එය ළදරුවාගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමටද ප්‍රමාණවත් වේ. මුල් මාස හයෙන් පසු දරුවෙකුගේ පෝෂණය රැකගැනීම සහ ළදරුවා ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු අමතර ආහාර ඇරඹීම අවශ්‍යය. familylife.lk ගෙන එන සුව දිවියයි පෝෂණයයි ලිපි පෙළේ දෙවැනි ලිපිය මගින් මුල් මාස හයෙන් පසු දරුවෙකුගේ පෝෂණය කතාබහ කරන්නයි මේ සූදානම.

     මව්කිරි වලින් පසු සුදුසු බත් තලපයද? සුප් හා කැඳ වර්ගද?

    ළදරුවන්ගේ පෝෂණය සඳහා මව්කිරි සහ ආහාර ලබාදීම කෙරෙහි වන නිර්දේශ, විද්‍යාත්මකව සනාථ වූ කරුණුවලට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සකසා ඇති ජාත්‍යන්තර නිර්දේශයන් අනුව දේශීය පසුබිමට සරිලන පරිදි ගොඩනැගී පවතින බව පළමුවෙන් මෙහිදී කිව යුතුය. අමතර ආහාර ලබා දීම ළදරුවාට මාස 06 සම්පූර්ණවීමේ සිට ආරම්භ කළ යුතුවේ.

    එහිදී පළමුවෙන්ම ලබාදීමට සුදුසු වන්නේ උකුවට තලපයක් ලෙස සකස් කර ගත් ආහාරයකි. මේ වෙනුවට කැඳ, සුප්, පලතුරු යුෂ, වතුර ආදී පානවර්ග ලබා දීම නොකළ යුතුය. 
    මේ නිර්දේශයන් විද්‍යානුකූල පසුබිමක් සහිත වූවකි. ළදරුවාගේ ආමාංශය කුඩාය. එහෙත් දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය වන ශක්ති සහ පෝෂණ අවශ්‍යතා ඉහළය. එමනිසාත්, ළදරුවාට බත් ඇට ලෙස කවන්නට නොහැකි නිසාත් තලපයක් ලෙස සකස් කර මෙම පළමු අමතර ආහාරය ලබාදීමට යෝජනා කෙරේ. මෙම තලපය එනම් උකු, හැන්දේ රැඳී තිබෙන ලෙස සැකසීම වැදගත්ය.

    දරුවා ඉපද මාස 6ක් ගතවන තුරුම මව්කිරෙන් පමණක්ම පෝෂණය වූ නිසා ඔහු හෝ ඇය හදුනන්නේ මව්කිරිවල රසයයි. මේ නිසා මුලින්ම සකසන තලපයට මව්කිරි ස්වල්පයක් එකතුකර දරුවාට හුරු රසයෙන් ආහාර හුරු කිරීම සිදුකළ හැකිය. ඉන්පසු ක්‍රමයෙන් විවිධ රසයන්ට දරුවා හුරු කරමින් ආහාර ලබා දීම සිදුකළ හැක.

    තෙල් හෝ මේද වර්ග ලබා දීම සුදුසුද?

    මෙම අමතර ආහාරයේ ශක්ති ඝනත්වය ඉහළ නැංවීම සඳහා එයට පොල් තෙල්, උකු පොල් කිරි, බටර් වැනි දෙයක් එකතු කළ හැකිය. මෙසේ එකතු කරන තෙල් හෝ මේද තේ හැන්දකින් කිලෝ කැලරි 40ක් පමණ ළදරුවාට අවශ්‍යවන ශක්ති ප්‍රමාණය යහමින් ලබාදීමට හැකිවේ.එසේම තල,රටකජු ආදී මේදය අඩංගු ඇට වර්ගයන්ද ආහාරයන්ට එකතු කළ හැකිය.

    මුල් මාස හයෙන් පසු දරුවෙකුගේ පෝෂණය

    මස් මාළු එකතු කළ යුත්තේ ඇයි?

     මීලඟට අපගේ අවධානය යොමුවිය යුතු තවත් කරුණක් නම් නීරක්තිය නැතිනම් රක්තහීනතාවයි. වෛද්‍ය පර්යේෂණායතනයක සිදුකළ අධ්‍යයන මගින්ද පෙන්වාදී ඇත්තේ කුඩා දරුවන් අතර රක්තහීනතාව ඉහළ මට්ටමක පවතින බවයි. එසේම විදේශීය පර්යේෂකයන් පෙන්වාදී ඇත්තේ වයස අවුරුදු 03 වන විට දරු‍වකුගේ මොළයේ වර්ධනයෙන් 80%ක්ම නිමාවන බැවින් රක්තහීනතාව ඇති වුවහොත් එවැනි දරුවන්ගේ බුද්ධිඵලය පහළ වැටෙන බවයි.

    මෙම වයස් සීමාවෙන් පසුව කවර තරමක් යකඩ අඩංගු ආහාර, පෙති, සිරප් ලබා දුන්නද එම තත්ත්වය ආපසු හැරවීම අපහසු බව ඔවුහු පවසති. එමනිසා ළමයින්ගේ අනාගත කායික වර්ධනයට පමණක් නොව බුද්ධි වර්ධනයට, ඉගෙනීමේ හැකියාව, මතකය නංවාළීම ආදී සියල්ලමට අත්තිවාරම දැමිය යුත්තේ ළදරු හා ළමා කාලයේදීය. දරුවාට යකඩ පෝෂක ලැබීම සහතික කිරීම සඳහා මස්, මාළු, හාල් මැස්සන් ආදී සත්ත්වමය ආහාර ලබාදීම අත්‍යවශ්‍ය වේ.

    මේ ආහාර තුළ අඩංගු වන්නේ ශරීරයට අපහසුවෙන් උරාගන්නා හීම් යකඩය. අමතර ආහාර ලබාදීම අරඹා දින 6-7කින් පමණ මෙම යකඩ සපිරි සත්වමය ආහාර ලබාදීම ආරම්භ කළ යුතුමය. පලා වර්ග, පියළි ඇට වර්ග, ඇට ජාති ආදීයේ යම් ප්‍රමාණයන්ගෙන් යකඩ පැවතියද ඒවා සියල්ල හීම් නොවන යකඩ බැවින් ශරීරයට උරාගැනෙන්නේ සුළු වශයෙන් හෙවත් 5%ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකි.

    බිත්තර කහමදය තුළත් යකඩ පැවතියද ඒවා හීම් නොවන යකඩය. බිත්තර අනිවාර්යෙන්ම ළමයාට ලබාදිය යුතු ගුණවත් ආහාරයක් වුවත් ඉන් යකඩ ලබාගත හැක්කේ ඉතා සුළු ප්‍රමාණයකි. නිසා දරුවන්ගේ ආහාරයට රතුමස් හෝ රතුමාලු කෑල්ලක් හෝ පීකුදු කෑල්ලක් හෝ හාල්මැස්සන් වැනි යකඩ සපිරි සත්ත්වමය ආහාරයක් දිනපතාම එක් කිරීම තුළින් රක්තහීනතාව වැළැක්වීමට පුළුවන.

    මුල් මාස හයෙන් පසු දරුවෙකුගේ පෝෂණය ගැන කතා කිරීමේදී තවත් වැදගත් අවශ්‍යතාවක් වන්නේ දරුවාට විවිධ ආහාර හුරු කිරීමය. ආහාරයක ඇති පෝෂක වර්ග හා ප්‍රමාණ ආහාරයෙන් ආහාරයට වෙනස් වේ. එම නිසා විවිධ ආහාර වර්ග දීම මගින් දරුවාට ප්‍රධාන පෝෂකයන් මෙන්ම සුළු ප්‍රමාණවලින් ලැබිය යුතු එහෙත් අත්‍යවශ්‍ය වෙනත් විටමින්, ඛණිජ වර්ග වැනි අනෙක් පෝෂක ද්‍රව්‍යන්ගෙන්ද මිශ්‍රණයක් යහමින් ලැබේ. තවද දිනපතාම ඒකාකාරී ආහාර ලැබීම නිසා ටික කලකට පසු දරුවා කෑම අප්‍රිය කිරීමට පෙළඹීම එයින් වැළකේ.

    දරුවාගේ ආහාරයට ලුණු හා සීනි එකතු කළ යුතුද?

    දරුවන්ගේ ආහාරයට පළමු වසර තුළ ලුණු හා සීනි එකතු කිරීම නම් කිසිසේත්ම නොකළ යුතුය. වයස අවුරුදු එකේ සිට නිවසේ සාදන පවුලේ ආහාරවලට දරුවා යොමු කරන වයසේදී ඇතිවන අප බොහෝ විට දකින ගැටලුවක් වන්නේ පැණි රසයට හා ලුණු රසයට කැමති වැඩිහිටියන් තම දරුවන්ටත් එම පුරුද්ද ඇති කිරීමට දරන උත්සාහයයි. මෙසේ කිරීමෙන් වැළකීම දෙමාපියන්ගේ වගකීමකි.

    වයස මාස 06 සිට ලුණු, සීනි එකතු නොකළ යහපත් ආහාර මගින් හොඳ වර්ධනයක් මෙන්ම සෞඛ්‍යමත් ජීවන රටාවක්ද ලැබිය හැකිය. එවැනි දරුවෙකුට වයසින් වැඩුණු පසු වුවද සීනි අඩු කිරීමට හෝ ලුණු අඩු කිරීමට විශේෂ පණිවිඩ ලබාදීම අවශ්‍ය නොවන්නේ දරුවා මුල සිටම එවැනි ආහාර රටාවකට හුරුව සිටින හෙයිනි. 

    මුල් මාස හයෙන් පසු දරුවෙකුගේ පෝෂණය

    ඇට වර්ග, අල වර්ග හා පළා වර්ග එකතකළ යුත්තේ ඇයි?

    දරුවා හුරු කළ යුතු තවත් ආහාර වර්ගයක් වන්නේ රනිල නැතිනම් මාංශ භෝගයන්ය. පියලි ඇට ලෙසින් හඳුන්වන මෙම ආහාරය යනු පරිප්පු පමණක් නොවේ. බෝංචි, මුං, කඩල, කව්පි යනාදිය එයට ඇතුළත්ය. එසේම රටකජු, කජු, කොට්ටම්බා ඇට, කොස් ඇට ආදීයෙහිද අත්‍යවශ්‍ය මේද අම්ල ඇතුළු පෝෂක අඩංගු නිසා ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ ආහාරයටද ඒවා එක් කළ හැකිය.

    මේ අතරම තදකොළ පැහැ පලා වර්ග, තද කහ සහ තැඹිලි පාට එළවළු හා පලතුරුද බිත්තර කහමදය, පීකුදු, දරුවාගේ ආහාරවලට එක් කිරීමෙන් ඒවා තුළ අඩංගු විටමින් ලැබෙන අතර එමගින් දරුවා ලෙඩ රෝගවලින් ආරක්ෂා කිරීමට, නීරෝගී ඇස් පෙනීමට, සම නිරෝගීව පැවතීමට උපකාර කරයි. එමනිසා මෙවැනි ආහාරයක් දරුවාගේ දිනපතා ආහාර වේලට එකතු කිරීම වඩා උචිතය.

    මුල් මාස හයෙන් පසු දරුවෙකුගේ පෝෂණය

    කෙටි ආහාර වේල් ලෙස ලබා දිය හැකි ආහාර වර්ග මොනවාද?

    එමෙන්ම කෙටි ආහාර වශයෙන් දරුවාට ලබාදිය යුතු ආහාර කවරේද යන්න බොහෝ දෙමවුපියන්ට ඇති ගැටලුවකි. කෙටි ආහාරයක් යනුවෙන් හඳුන්වන්නේ කුඩා ප්‍රමාණයකින් වැඩි පෝෂණයක් සපයන ආහාරයකි. අල, බතල, මඤ්ඤොක්කා, වට්ටක්කා වැනි තැම්බූ දේ පොල් හෝ බටර් සමග සකස් කර කෑල්ලක් ලබාදීම, බිත්තරයක් තම්බා හෝ ඔම්ලට් ලෙස සකස් කර කෑල්ලක් ලබාදීම, පලතුරු වර්ගයක් ආදීය අතරින් සුදුසු කෙටි ආහාරය.

    මේ ආකාරයට මුල් මාස හයෙන් පසු දරුවෙකුගේ පෝෂණ වැදගත් වන්නේ එය පෝෂණය හා සෞඛ්‍ය නංවාළීම පමණක් නොව කායික වර්ධනය මෙන්ම බුද්ධිමය වර්ධනයද එමගින් දියුණු වන නිසාය. මුල් අවුරුදු තුනේදී දරුවාට නිසි පෝෂණය ලබා නොදුන්නොත් ඊට පසු කෙතෙරම් උත්සාහ කළද මෙම තත්ත්වය ප්‍රශස්ත කරගත නොහැක. 

    Renuka Silva

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් වයඹ විශ්ව විද්‍යාලයේ මානව පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රේණුක සිල්වා මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.

     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    නිසංසලා පතිරණ
    නිසංසලා පතිරණ
    දශකයකට ආසන්න කාලයක් පුරා මෙරට ජාතික පුවත්පත් සඳහා විධිමත් හා වැදගත් සෞඛ්‍ය සම්බන්ධ ලිපි සපයමින් පාඨකයාගේ විශ්වාසය ඉහළින්ම දිනාගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමධාරියකි.
    Colombo
    broken clouds
    31 ° C
    31 °
    31 °
    68 %
    5.2kmh
    62 %
    Fri
    31 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු