online සරන්නිය… මේ ඇගේ අවකාශයයි – “මග අරින එක උබේ පුරැද්දක් වෙනකොට අත් අරින එක මගේ වැරැද්දක් නෙමෙයි”
“නොපිරැණු කුසත්, හිස්වුණු පසුම්බියත්, බිදුණු හදවතත් ඔබට ජීවිතය කියාදෙනු ඇත.”
රොබින් විලියම්ස් කියල කෙනෙක්ගෙ අදහසක් FB wall එකෙ ඉහල පහල යද්දි දැක්කා. නොපිරැණු කුස කෙසේ වෙතත් හිස් උණු පසුම්බිය නිසානම් මිනිස්සුන්ගෙ ජීවිත හැබෑම අවුලකට යනවා කියලා මට හිතුනා. love කරනකොට දාහක් සුරංගනා කතා කීවත් ආර්ථික ප්‍රශ්න හමුවෙ මිනිස්සුන්ගෙ ජිවිත වල සතුට කොච්චර ඈතට යනවද? ඒකෙන් අදහස් වෙන්නෙ නෑ සල්ලි තියෙන අය මාරම සතුටින් පවුල් කනව කියන එක. ඒත් ගොඩක් වෙලාවට හදවත් බිදීම් වලට ආර්ථික ප්‍රශ්න බලපානවා.
උදේ ඉදන් job එකේ ප්‍රශ්න වලින් මිරිකිල හවසට ගෙදර ආවම පොඩි උන්ගෙ දැගලිලි යුද්දෙ ඉවර කරලා නින්දට යන පැයේදි ,
“අද ලයිට් බිල red notice එක ආවා .මොකද කරන්නෙ …ඔන්න මං ලග තියෙන්නෙ ලොකු බබාගෙ term fees දෙන්න තියපු සල්ලි ටික විතරයි. ආ මේ week end එකේ චුටි බබාගෙ vaccine දෙන්න යන්නත් තියනව.”
List එකේ තව කියන්න දේවල් තියෙදිත් ….”අයියෝ ඇති අනේ කියවිල්ල…හැමදාම නිදාගන්න හදනකොට ඔය list එක අහල ඇතිවෙලා… හරි හරි මොනවා හරි කරමු… ඉතින් ” කියලා එයා අනිත් පැත්තට හැරෙනවා..credit card එකෙන් ගෙවන්නම් කියලා එයා හිතාගෙන ඇති, ඒත් …credit limit එක ඉවරයි කියන්නත් කලින් එයා නින්දට වැටිල .කොහෙද ඉතින් බැච් පාටි එකට ඇදුමක් ගන්නව කියල හිතන එකත් අපරාදෙ…
නිදා ගන්න කලින් ඉස්සර වගේ මුමුන මුමුන ඉන්න තිබ්බනම් මටත් ආසයි…මහරෑ වෙනකන් කියව කියව ඉදල නලලට ලැබෙන දිගු හාද්දටත් පස්සෙ නිදා ගන්න පුරැදු වෙලා හිටපු මං නොනිදා කල්පනා කරනව කොතනද අපිට වැරදුනේ කියලා…
ලෝ සිරිතට ළමයි හදන්න ගිහින් වැරදුනාද? හම්බවෙන දෙයින් ජිවත් වෙන්නෙ නැතුව ගෙවල් දොරවල්, යාන වාහන පස්සෙ ගිය එකද ,නැත්තන් දෙකට තුනට නැමිලා මිනිස්සු පාවාදීගෙන රස්සාවලින් ඉහලට යන්න බැරි උන එකද? අපේ වරද කියල හිතා ගන්න බෑ…
කව්රැ හරි කියනවනම් “ඕකට තමයි ජීවිතේ කියන්නෙ…දුක් කරදර හමුවෙ නොසැලෙන්න” කියලා කියපු එකාගෙ කනට එකක් දෙන්න ඕනි.
“මොනවා උනත් අපි තියෙන දෙයක් කාලා අපි සතුටින් ඉන්නවනෙ ….” කියන එක අමූලික බොරැවක්. ගොඩක් අය සතුටින් නෙමෙයි ඉන්නෙ. හිත රවට්ට ගැනීමක් විතරයි. ජීවිතේට පාඩම් නම් ඕනිම නෑ. අපි හොදට පාඩම් ඉගෙන ගත්ත ජාතියකනේ. එත් අපි අතරින් නොදැනිම මග ඇරිලා යන සතුට. හෙමිහිට නැතිවෙලා යන ආදරේ ගැන හිතෙනකොට නම් මාරම ලෝබයි..
ඇත්ත තමයි ඉතින් එක පඩියකින් තියා පඩි දෙකකින් වත් ජීවිතෙ ගොඩ දා ගන්න බැරි වෙනකොට ආදරයක් ඉතුරැවෙයිද.
උදේ ඉදන් දෙන්නට දෙන්න online චෝදනා කර ගැනිල්ල . call වලින් whatsapp එකෙන් viber එකෙන් රෑ වෙනකන් ප්‍රශ්න ගැන කතාව. භයානකම දේ ඒක නෙමෙයි. ඔය දෙන්නා අතරට, හිත හදන්න කියාගෙන ස්වේච්ඡාවෙන්ම තුන්වෙන්නෙක් අවොත් බුදු සරණයි… දෙවි පිහිටයි. හැබැයි ගොඩක් අයට අද වෙන්නෙත් ඒකමයි. තුන්වෙන්නෙක්ට දුක කියන්න පටන් ගත්තොත් නතර වෙන්නෙ උසාවියෙන්. වැඩේ කියන්නෙ ගෙදර දුක අහන් ඉන්න බැරි ගොඩක් ගෑණු පිරිමි දෙගොල්ලොම අනුනගෙ දුක අහන් ඉන්න ආසයි. බස් එකේදිද, office එකේද ,කෝච්චියෙද නැත්තන් online ද කියලා වෙනසක් නෑ. දුක අහගෙන ඉන්න අය ඕන තරම්. අන්තිමට ඉතින් ගොඩක් අය ලෝක චාරිත්‍රය ට පවුල් කනවා. “ළමයි නිසා ඉවසනවා..නැත්තන් මම දාලා ගිහින් ” කිය කිය feeling happy with hubby කියලා සතියට දෙක තුනක් දෙන්නගෙ selfie share කරනවා අනිත් උන්ට පේන්න. අපි නොදන්න online ජීවිත.
බැරිම තැන දාලා ගිය අය “මග අරින එක උබේ පුරැද්දක් වෙනකොට අත් අරින එක මගේ වැරැද්දක් නෙමෙයි ” කියලා post share කරනවා…
ඇත්තටම වරදින තැන කොතනද? පසුම්බිය හිස්වෙනකොට හදවත බිදගන්නෙ නැතුව ඉන්න පුලුවන්නම්. හොදයි නේද? මගෙ යාලුවෙක් දවසක් කීවා ඔකට කියන්නෙ , midlife crisis කියලලු. ඒක ගැන වෙන දවසක chat එකක් දාමු.