fbpx
More
    31 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    Pad Man (පෑඩ් මෑන්) – Filmfare සරදම් ලද සැබෑ වීරයා

    Family Tech Sponsorspot_imgspot_img

    familylife.lk ෆැමිලි සිනමා යටතේ අද අප ඔබට කියන්න යන්නෙ 2018 filmfare සම්මාන උළෙලේදී ආසාධාරනයට ලක්වූ Pad Man චිත්‍රපටය පිළිබඳවයි.

    සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් ආදී සුපිරි වීරයන් බිහිකරපු හොලිවුඩය ඉදිරියේ ඉන්දියාවෙන් ලොවට පිදෙන සැබෑම සුපිරි වීරයා වෙන්නෙ පෑඩ් මෑන්. 2018 වසරේ විශිෂ්ටතම බොලිවුඩ් චිත්‍රපටය වශයෙන් සම්මානයෙන් පිදුම් ලබන්නට සියලුම කාරණා සම්පූර්ණ කර තිබියදීත් පසුගිය Filmfare සම්මාන උළෙලේදී කිසිදු ජයග්‍රහණයක් ලබන්නට Pad Man හට අවස්ථාවක් ලැබුනේ නැහැ.

    හොඳම නළුවා ඛාණ්ඩයට පමණක් රංගන ශිල්පී Akshey Kumar හට නිර්දේශිත නාමයන් අතරට එක් වෙන්නට හැකි වුවත් ජයග්‍රහණයක් ලබන්නට හැකි වූයේත් නැහැ. නමුත් සමස්තයක් වශයෙන් 2018 වසරේදී තිරගත වූ සියලුම චිත්‍රපට අතරේ වැදගත්ම සිනමා නිර්මාණයක් විදිහට Pad Man ගැන කතා කරන්නටම ඕන.

    මුලින්ම මේක R. Balki නිර්මාණයක්. එතනදි මතුවෙන නිර්මාණාත්මක ගුණාත්මක භාවය පිළිබඳව සැකයක් නැහැ. Paa, English Vinglish සහ Dear Zindagi වැනි ගුණාත්මක බව අතින් බොලිවුඩයෙන් බිහි වූ හොඳම සිනමා නිර්මාණයන් අතර ඔහුගේ නාමයට තිබෙන්නෙ ඉහළම වටිනාකමක්.

    එවන් වූ විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙකුගේ මෙහෙයවීම යටතේ Pad Man හි ප්‍රධාන රංගන ශිල්පියා Akshey Kumar සතුවත් වර්තමානයේදී පවතින්නේ එවැනිම වූ අනන්‍යතාවයක්. 90 දශකයේදී ආක්ෂේ කුමාර් කිව්වම මනසේ ඇඳෙන රූපය නෙමෙයි අද අපි ඔහුගේ ප්‍රතිභාවෙන් දකින්නේ. ඇත්තෙන්ම බොලිවුඩයේ සෑම පරාසකයම සැරිසරා දැන් ඔහු එක්තරා කඩ ඉමක නැවතී සිටින අයුරු තමා මේ දකින්නේ.

    කතන්දරය එක අතකින් ඇදහිය නොහැකි චරිතාපදානයක්. මීන් පෙරදී සිනමාත්මකව නොඇසූ විරූ පුවතක්. ලොවට නව නිර්මාණයන් උත්පාදනය කරවූවන් බොහෝ අවස්ථාවන්හිදී ඒවා මුදුන්පත් කරගත්තේ තමා සතු බොහෝ දෑ කැපකරමින්. පසු කලෙකදී සුපිරි වීර නාමයකට ඈඳමින් Pad Man නමින් විරුදාවලිය ලබන Lakshmi Kant නම් වන ඔහු, භාරත පුරවැසියෙකුට ලද හැකි ඉහළම ගෞරව බුහුමානයෙන් පිදුම් ලැබුවේත් තමා සතු සියල්ල අහිමි කරගනිමින්.

    Pad Man

    තම ආත්ම ගෞරවයත් ඊට අයත්. එකම අරමුණක් වෙනුවෙන් ඔහු මේ සා කැප කිරීමක් කළේ, අනේක දුක් වින්දේ, නින්දිත ගැරහුම් අපහාසයන් විඳ දරාගත්තෙ කොහොමද කියල හිතෙන තරමටම මේ කතාන්දරය අතිශය සංවේදී තලයකට ප්‍රේක්ෂකයාව රැගෙන යනවා. ආක්ෂේගේ අව්‍යාජ විශිෂ්ට රංගනය ඇතුලුව නරඹන්නට බොහෝ දේ සතුයි.

    හාස්‍යය, සංවේදීත්වය, ප්‍රමෝදයෙන් පිනා යෑම, ප්‍රේමණීයත්වය ආදී වශයෙන් සෑම දේම ඊට ඇතුළත්. ඒ වගේම ඒ සෑම ගුණාංගයක්ම වඩ වඩාත් තීව්‍ර ව ප්‍රේක්ෂකයාගේ හදවතටම කා වදින්නට මනා පිටිවහලක් ලැබෙනවා Amit Trivedi ගේ සංගීතයෙන්. ඕනෑම චිත්‍රපටයක ස්වභාවික රිද්මය බුද්ධිමත්ව නිවැරදිව අවබෝධ කරගන්නට හැකි බොලිවුඩයේ අසහාය සංගීතඥයෙක් විදිහට Amit Trivedi ගේ දායකත්වය මීට උපරිමයෙන්ම ලැබී තිබුනා.

    මේ කතාව අදට වලංගුද කියන තැනට ආවොත්, මේ කතා කරන්නේ සිනමා නිර්මාණයකින් අපි මීට කලින් අහපු දැකපු නැති දෙයක්. අදටත් ළමයින්ට, විශේෂයෙන්ම පිරිමි ළමයින්ට අභිරහසක් වූ දෙයක් ගැනයි වස්තු බීජය වෙන්නේ. “සනීපාරක්ෂක තුවා” සම්බන්ධ වෙළඳ දැන්වීමක් පවුල් පිටින් රූපවාහිනී නරඹන අවස්ථාවක විකාශය වන විටෙකදී සමහර විට දරුවන් ඉදිරියේ වැඩිහිටියන් අසරණ වෙනවා.

    විවිධාකාරයේ අනුමාන තිබුනත් හරි තේරුම තෝරගන්නට වෙන්නේ ළමා විය ඉක්මවා ගිය කලෙකදියි. අද ඒ අභිරහස් නිශ්පාදනය ගැන අපි චිත්‍රපට නරඹනවා. සනීපාරක්ෂක තුවා එහෙමත් නැත්නම් සරළව “පෑඩ්” කියන දේ භාවිතයට එනකොට ඒ හා ගොඩනැගෙන අනවශ්‍යාකාරයේ භීතිකාවක්, ලජ්ජාශීලීත්වයක්, පටු මානසිකත්වයක් ආදී වශයෙන් පුලුල් පරාසයක විහිදෙන සමාජ සංසිද්දීන් හා ගැටීමක් ඉදිරිපත් කරවමින් මේ අතරට මැදි වෙන පාර්ශවයන් ගේ භූමිකාව නිර්මාණකරුවා විසින් පුදුමාකාර ප්‍රරිශ්‍රමයකින් හඳුනාගෙන තිබෙනවා.

    ප්‍රායෝගිකව බැලුවොත් පිරිමි පාර්ශවයේ කීයෙන් කී දෙනාද තමන්ගෙ අක්කගෙ, නංගිගෙ, පෙම්වතියගෙ, බිරිඳගෙ අවශ්‍යතාවයකට කඩේට ගිහින් සනීපාරක්ෂක තුවා මිලදී ගන්නේ? මොකද ඒ පිරිමි වපසරියට ඒ කාරණේ අයත් නොවන නිසා. කොටින්ම ඒක “ගෑණු” ප්‍රශ්නයක්. හැබැයි මේ කතන්දරය සිද්ද වෙන වකවානුවේදී අපේ වීරයා ලක්ෂ්මීකාන්ත් ට නම් ඒ ඔහුගේ පණ හා සම තම ප්‍රිය බිරිඳගේ සුවපහසුව පිළිබඳව බැරෑරුම් කාරණයක්. ඔසප් වකවානුවේදී නිරපරාදේ ඈ විඳින දුක පිරිමි හිතකින් අවබෝධ කරගැනීමම ඒ සමාජ වාතාවරණය තුල අදහන්නට වටින කාරණයක්.

    පිරිමියෙක් විදිහට මේ ප්‍රශ්නයට ඔහු මැදිහත් වෙන්නෙ පිරිමියා කියන සීමාසහිත බලප්‍රදේශයේ සියලුම සීමාවන් ඉක්මවා යමින්. ඒ කාරණය ඔස්සේ ඉදිරිපත් වෙන්නේ සමස්ත ඉන්දීය කාන්තා ජනගහනයෙන් ඉහළම ප්‍රතිශතයක් මුහුණ දෙන දුක්ඛිත තත්ත්වයක් පිළිබඳවයි.

    මිල අධික නිසා සනීපාරක්ෂක තුවායක් කියන්නෙ පවුල් සංස්ථාවකට අනවශ්‍ය බරක්. ඒ වෙනුවෙන් අනුගමනය කරන විකල්ප ක්‍රියාමාර්ගයන් නිසා එම කාන්තාවන් මුහුණ දෙන්නේ සෞඛ්‍යමය වශයෙන් බරපතළ තර්ජනයකටයි. රටේ ගැහැණුන් විඳින දුක දකින ලක්ෂ්මීකාන්ත්ට බැහැ තම බිරිඳවත් ඒ ගොඩට ඇදලා දාන්න. තම පිරිමි පෞරුෂය අභියෝගයකට ලක් කරවමින් ඔහු සෘජුවම මැදිහත් වෙනවා මේ ගෑණු ප්‍රශ්නයට. අන්තිමට සිද්ද වෙන්නේ සමාජයක් ඉදිරියේ අන්ත අසරණ ලෙස ගැරහීමකට ලක් වෙන්නට. නමුත් අවසානයේදී මෙන්න ඔහු සුපිරි වීරයෙක්.

    Pad Man

    කතන්දරය තුළ දකින්නට ලැබෙන ආකර්ශනීයම දෙයක් තමයි අපේ වීරයා ලක්ෂ්මීකාන්ත්ව තිරය මත දෙකට බෙදාගන්නා කුසලතා පූර්ණ රාධිකා ආප්ටේ සහ සුන්දර සෝනම් කපූර් චරිත යුගලය. Pad Man කියන දැවැන්ත භූමිකාව ගොඩනැගෙන්නට මේ කාන්තා පාර්ශවයන් ද්විත්වයම අදාළයි. ප්‍රේක්ෂකයාත් එක්තරා අන්දමකින් අසරණ වෙනවා චරිත දෙක මැද්දේ. ඔහු පෑඩ් නිෂ්පාදන කටයුත්ත අරඹන්නට තීරණය කරන්නේ තම බිරිඳගේ ශාරීරික සුවය වෙනුවෙන්.

    එතනදී රාධිකා ආප්ටේ විසින් නිරූපණය කරනු ලබන බිරිඳ ගේ භූමිකාව අභියෝගාත්මක එකක්. සැමියා ගේ ක්‍රියාකලාපය තම සුවය වෙනුවෙන් වුවත් ඔහු හා එකඟ වන්නට, ඔහුට සහයක් වන්නට ඇයට හැකියාවක් නැහැ. පරිවාරයෙන්, සමාජයෙන් ඔහු වෙත එල්ල වන නින්දා ගැරහුම් ඇයටත් භාරගන්නට සිදු වනවා. පසු කලෙකදී පෙරළිකාර සමාජ විප්ලවයක් සිදු වූ මේ ක්‍රියාන්විතයේදී පූර්ණ අවබෝධයකින් යුතුව දුක සේ වෙහෙස වී පියවරෙන් පියවටර ඔහු තම සාර්ථකත්වයට ලඟා වෙනවා.

    නමුත් Pari නම් වන අහම්බයෙන් මුණ ගැසෙන ඉෂ්ඨ දේවතාවිය නොමැතිව ඔහුට පරිපූර්ණ වන්නට අවස්ථාවක් ලැබෙන්නේත් නැහැ. තම බිරිඳගෙන් පමණක් ලැබිය යුතු සහය ඔහුට ලැබෙන්නේ නන්නාඳුනන්නියකගෙන්. මේ වෙනුවෙන් සෝනම් කපූර් ගෙන් දකින්නට ලැබෙන සුන්දර රංගන ප්‍රාසාංගිකත්වය තුළින් කතන්දරයේ ආකර්ශනීයත්වය වඩාත් ඔප් නැංවී තිබෙනවා.

    අවසාන වශයෙන් අනිවාර්යයෙන්ම සම්මානයට පාත්‍ර විය යුත්තක් නමුත් සම්මාන ලබන්නට නොහැකි වූ හේතුව නම් ගැටලුකාරී එකක්. හොඳම චිත්‍රපටය සඳහා වූ නිර්දේශිත නාමයන් අතරට එක් වූ Stree වැනි චිත්‍රපටයක් තුළ Pad Man වැනි දැවැන්ත චරිතාපදානයක් අභිබවා යන්නට තරම් තිබුනේ කුමක්ද? යන්න නම් සැබැවින්ම ගැටලුවක්.


    ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    31 ° C
    31 °
    31 °
    68 %
    5.2kmh
    62 %
    Fri
    31 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු