fbpx
More
    26.9 C
    Colombo
    Monday, April 7, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    Sex ගැන හොයන අය කොන්ඩම් ගැන මේ දේවල් දැනගෙන ඉන්න

    Family Tech Sponsorspot_imgspot_img

    Sex නැතහොත් ලිංගිකත්වය පිළිබඳව විධිමත්ව සමාජගත වීම හා ඒ සඳහා වගකිවයුතු පාර්ශවයන් ගන්නා වෑයම ශ්‍රී ලංකාව තුළ ප්‍රශස්ත මට්ටමකින් සිදුවනවාද යන්න ඉතා ගැටළු සහගතය. ගූගල් සෙවුම් යන්ත්‍රයේ Sex යන යෙදුම වැඩියෙන්ම සොයන රට වශයෙන් අඛන්ඩව වාර්ථා අතරට එක්වන අප රටේ ලිංගික අධ්‍යාපනය නිසි පරිදි සිදු නොවීම තුළ ඇතිවන සමාජ ව්‍යසන සංඛ්‍යාව විශාලය. රටේ පවතින සංස්කෘතික හා සමාජ පරිසරයන්ගේ බලපෑමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මෙවැනි තත්ත්වයක් තුල නිසි පරිදි ලිංගික අධ්‍යාපනය සමාජ ගත කිරීම වෙනුවෙන් ස්වේඡ්චාවෙන් සිය දැනුම හා කාලය වෙන් කරන තරුණ වෛද්‍යවරයෙකුගේ මෙහෙවර අද පටන් සුව පියස තුලින් මෙසේ දිග හැරේ.


    “පාටියට ආපු තරුණියන්ගේ බෑග්වල උපත් පාලක කොපු”
    පොලිස් කූඩුවේ නැවතුණු ෆේස්බුක් සොමියේ තවත් තොරතුරු හෙළිවෙයි.

    පසුගියදා ලෙඩ්ඩු බලල ඉවරවෙලා ෆෝන් එකෙන් නිව්ස් බල බල හිටපු මම එක්තරා ජනප්‍රිය ප්‍රවෘත්ති වෙබ් අඩවියක දුටු සිරස්තලයක්. සිරස්තලයෙන් ප්‍රවෘත්තිය මොකද්ද කියලා හිතා ගන්න බැරි නිසාම කියවලා බැලුවා. ප්‍රවෘත්තිය කියවලා බැලුවාම එතන ඇත්තටම වැරැද්ද මත්ද්‍රව්‍ය සම්බන්ධ එකක්. නමුත් ඒ අතර උපත් පාලන කොපු වගයකුත් පරික්ෂා කිරීමේදී හමුවෙලා තිබුනා.

    ඇත්තටම උපත් පාලන කොපු ලඟ තබා ගැනීම වැරදිද? මෙවැනි සිරස්තලයක් නිර්මාණය කරන්න තරම් එය ලොකු දෙයක් උනේ කොහොමද?

    පෙබරවාරි මාසයේ වැලන්ටයින් එකත් එක්ක මේ ගැන ලොකු කතාවක් වෙන නිසා වෛද්‍යවරයෙක් විදියට මේ කතාබහට යමක් එකතු කරන්නේ නොකියා ඉන්න බැරි නිසයි. තරමක සංවෘත ස්වභාවයක් සහිත ලාංකික සංස්කෘතියේ ලිංගිකත්වයට තවමත් ලැබිය යුතු තරමේ අවධානයක් නොලැබෙන බව කණගාටුවට කරුණක්. උපත් පාලන ක්‍රම ගැන විවිධ ආකාරයේ ලිපි ලියැවිලා තිබුනත් ප්‍රායෝගික භාවිතයට අනුව එම ක්‍රම වෙන් කරලා ලියැවුන ලිපි මම දැකලා නෑ.

    ඉතින් අද කියන්න යන්නේ තරුණ, පවුලක් සම්පූර්ණ කර නැති අයට භාවිතා කළ හැකි ජනප්‍රියම තාවකාලික උපත් පාලන ක්‍රමය වන කොන්ඩම ගැනයි.

    Sex

    මුලින්ම කියන්න ඕන මම දන්නා පරිදි කොන්ඩමයක් ලඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වන්නේ නෑ. එය භාවිතා කරන්නට යන ආකාරය අනුව නම් අනාචාරයේ හැසිරීම යටතේ වැරදිකරුවෙකු වන්නට පුලුවන්.

    නමුත් මා මෙතන දකින වැදගත්ම දේ ඒ තරුණියන් කවුරුන් වූවත් ඔවුන් කොන්ඩම් ලඟ තබා ගැනීමට තරම් විමසිලිවන්ත වීමයි. ඒ කියන්නේ අද තරුණියන් අවදානමට පෙර සුදානමකින් සිටින බවයි. ඒක බොහොම හොඳ ප්‍රවනතාවයක්. ලිංගිකව සක්‍රීය ඕනෑම යුවතියක් කොන්ඩමයක් ලඟ තබා ගැනීම නුවනට හුරුයි. ඒ ඇයි?

    ලිංගික එකතුවීමක් කියන දේ බොහෝ විට කලින් සැලසුම් කරපු දෙයක් වන්නට තියෙන ඉඩ ගොඩක් අඩුයි. ඉතින් නොහිතන වේලාවක් නොහිතන දේවල් වෙන්නට පුලුවන්. නමුත් ඔබට හැකියාවක් තිබෙනවා නම් එහිදී දැලි පිහියෙන් දිව නොකපා‍ ගෙන කිරි කන්න?

    කොන්ඩමය පිහිටට එන්නේ ඒ අවස්ථාවේදීයි. වර්තමානයේදී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඕනෑම තැනකින් ලබා ගත හැකි තරමට කොන්ඩම අද ද්වීපව්‍යාප්තයි. ඒ විශාල හේතු රාශියක් මත.

    කොන්ඩම කොයි ආකාරයේ උපත් පාලන ක්‍රමයක්ද?

    කොන්ඩම අවහිරතා ආකාරයේ උපත් පාලන ක්‍රමයක්. එනම්‍ මෙහිදී සිදුවන්නේ ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුල්වීම අවහිර කිරීමයි. තවද මෙහි කිසිම හෝමෝනයක් අඩංගු නැති නිසා එමඟින් ඇතිවන අතුර ආබාධ කිසිවක් ඇතිවන්නේ නෑ.

    සාර්ථක වීමේ ප්‍රතිශතය කොපමණද?

    හදිස්සියේ ඉරී යෑමකදී හැර මෙය 98%ක්ම ගැබ් ගැනීම් වැලැක්වීමට සමත් ක්‍රමයක්.

    අතුරු ආබාධ මොනවාද?

    කොන්ඩම් නිෂ්පාදනය කර ඇත්තේ ලැටෙක්ස් නමැති අමුද්‍රව්‍යයකින් නිසා එයට ඇතිවිය හැකි ආසාත්මිකතාවයක් ඇති වූවොත් හැර වෙන කිසිම අතුරු ආබාධයක් නෑ.

    කොන්ඩමයෙන් කෙරෙන්නේ උපත් පාලනය විතරද?

    උපත් පාලනය කොන්ඩ‍මයේ මූලික කාර්ය උනත් ලිංගික ‍සම්ප්‍රේෂණය විය හැකි රෝග වලින් ආරක්ෂා විය හැකි ‍එකම ක්‍රමය මෙයයි. දැනට දියුණු වෙමින් පවතින රටවල පමණක් නොව පළමු වන ලෝකයේ රටවල් වල පවා HIV/AIDs, සිපිලීස්, ගොනෝරියා, ක්ලැමීඩියා, හෙපටයිටිස් වැනි ලිංගික ‍සම්ප්‍රේෂණය වන රෝග සාර්ථකව පාලනය කරන්නට කොන්ඩම බහුලව යොදා ගැනෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය රටකට අත්‍යාවශ්‍ය බෙහෙත් ලැයිස්තුවේ පවා මෙය අඩංගු කර ඇත්තේ ‍ඒනිසයි.

    වඩාත්ම උචිත කාටද?

    ඕනෑම කෙනෙකුට උචිතයි. නමුත් තාවකාලික උපත් පාලන ක්‍රමයක් නිසා වඩාත්ම තරුණ, පවුලක් සම්පූර්ණ කර නොමැති අයට වඩාත් සුදුසුයි. එ්වගේම සරුභාවය පමාවීමක් සිදු වන්නේද නෑ.

    ලබා ගන්නේ කොහෙන්ද?

    ඕනෑම සුපිරි වෙළඳසැලකින්, ෆාමසියකින්, ඔබේ ‍ගමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI), පවුල් සෞඛ්‍ය නිලධාරිනිය (midwife) හෝ ලඟම රජයේ රෝහලේ ලිංගික රෝග සායනයෙන් ඔබට පහසුවෙන් ලබා ගත හැකියි.

    මීට අමතරව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ලංකාවේ පළමු වතාවට කොන්ඩම් අලෙවි යන්ත්‍රයක් නැතිනම් Condom Vending Machine (Vendom Sri Lanka) එකක් පිහිටෙව්වා මීට වසරකට පමණ පෙර. අද වෙනකොට එවැනි යන්ත්‍ර දිවයින පුරා ස්ථාන 9කට ව්‍යාප්තව ඇති බව ඔබ දන්නවාද?

    යන්ත්‍ර තියෙන්නේ : 

    » ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය, බුලර්ස් මාවත, කොළඹ 07.
    » ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන, නො.29, ද සේරම් පෙදෙස, කොළඹ 10.
    » Shore by O Car Park, ගල්කිස්ස.
    » රාගම ෆාමසි, නො.37, තේ වත්ත පාර, රාගම.
    » චින්තන Training Center, පුත්තලම් පාර, නයිනමඩම.
    » කුරුඳුගහ හැතැප්ම Medical Center, කුරුඳුගහ හැතැප්ම, ඇල්පිටිය.
    » තරිඳු ෆාමසි, හික්කඩුව.
    » ස්වයං රැකියා මධ්‍යස්ථානය, අපනයන සැකසුම් කලාපය, කොග්ගල.
    » Cheeky Monkey, මිදිගම.

    ඉදිරි දිනෙකදී අනෙකුත් උපත් පාලන ක්‍රම ගැනත් ප්‍රායෝගික භාවිතයට අනුව දැනුවත් කරන්නම්. අදහස් වලට හැමදාම ‍වගේ මම විවෘතයි.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    වෛද්‍ය චන්දිම ජයසිංහ
    වෛද්‍ය චන්දිම ජයසිංහ
    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගෞරව උපාධිධාරියෙකු වන අතර දැනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අනුබද්ධිතව සේවය කරයි. "නොකියූ කතාව" ලිපි පෙළ හරහා තම වෛද්‍ය සේවය අතරදී මුහුණු දුන් සත්‍ය සිදුවීම් ආශ්‍රිතව වෛද්‍ය විද්‍යාත්මක දැනුම සරලව සමාජ ගත කළ වෛද්‍යවරයෙකි.
    Colombo
    overcast clouds
    26.9 ° C
    26.9 °
    26.9 °
    85 %
    2.4kmh
    93 %
    Mon
    30 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු