“අනේ මේ ළමයා නම්… කියන කිසි දෙයක් අහන්නේ නැහැ, කට කැඩෙනකම් කියනවා, කිසිම ගාණක් නැහැ” කියන අම්මලාගේ මැසිවිල්ල නොසලකා හැරිය නොහැකි අවස්ථාවනුත් නැතිවම නොවෙයි. මොකද බැලූ බැල්මට සුළුවට පෙනුනත් ඇතැම් විට මේ ලොකු ගැටලුවක ඇරඹුම විය හැකියි. අන්න ඒ නිසාමයි ඔබ වෙනුවෙන් familylife.lk දරු සෙනෙහස තුළින් මේ ලිපිය ගෙනඑන්නේ….
ළමයින් කරදර කරන්නේ ඇයි?
මුලින්ම දෙමාපියන් වන ඔබ වටහා ගත යුත්තේ දරුවන් ඇත්තටම කරදර කරනවාද යන්න පිළිබඳවයි. එය තීරණය වන්නේ දරුවන්ගේ හැසිරීම් රටාව අනුවයි. අන්න ඒ නිසාම ඔබේ දරුවාගේ හැසිරීම් රටාව මැනවින් අධ්‍යයනය කළ යුතුය. එසේම කායිකව හා මානසිකව නිරෝගී සුවයෙන් වැඩෙන සාමාන්‍ය දරුවෙකුගේ තිබිය යුතු ස්වභාවික හැසිරීම් රටාව හා සාපේක්‍ෂව බැලිය යුතු වේ.
- ඔබේ දරුවා වයසත් සමග පරිණතභාවයට පත්වීම හා සමගාමීව දරුවෙකු තුළ තිබිය යුතු සාමාන්‍ය හැසිරීම් රටාව තුළ සිටින්නේ නම් එය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ.
- සාමාන්‍ය හා ස්වභාවික හැසිරීම් රටාව ඉක්මවා ගිය අසාමාන්‍ය හා විෂමතා සහිත හැසිරීම් රටාවක් දරුවා තුළින් දක්නට ලැබේ නම් එය සැබෑවටම සාමාන්‍ය තත්ත්වයක් නොවේ.
සාමාන්‍ය දරුවෙක් පිළිබඳ මව්පියන් මැසිවිලි නඟන්නට හේතු
- මනා සෞඛ්‍ය සම්පන්න හා ශක්තිමත් මාපිය-දරු සබඳකමක් නොතිබීම
- මව්පියන් රැකියාව හා නිවසේ කටයුතු සමග කාර්යබහුල වීම හා අවිවේකී වීම
- මව්පියන් තම දරුවා ගැන විවිධාකාර රූප රාමු හා සීමාවන් තනවා දරුවා කොටු කරලීම
- දරුවාව අනවශ්‍ය ලෙස පාලනය කිරීම
අසාමාන්‍ය විෂමතා සහිත හැසිරීම් රටාවක් හඳුනා ගන්නේ කෙසේද?
සාමාන්‍ය නිරෝගී දරුවෙකුගේ ස්වභාවික හැසිරීම් රටාවට වඩා වෙනස් ලක්‍ෂණ දක්නට ලැබෙන විට එය අසාමාන්‍ය හා විෂමතා සහිත හැසිරීම් රටාවක් එනම් චර්යාබාධ (Conduct Disorder) ලෙස හඳුන්වයි.
චර්යාබාධ සහිත දරුවෙක් පෙන්නුම් කරන ලක්‍ෂණ
- බොරු කීම/අකීකරු බව
- ප්‍රචණ්ඩ බව/ පොදු දේපලට අලාභ කිරීම/ගිනි තැබීම
- සොරකම් කිරීම/අලාභහානි කිරීම
- පාසැලින් පැනයාම/අනතුරුදායක ක්‍රියාවල නිරත වීම/ මත්ද්‍රව්‍ය වලට යොමු වීම
- අධික්‍රියාශීලී බව/බැණ අඬගැසීම
- පහරදීම, තුවාල කිරීම
- වයසට නොගැලපෙන ලිංගික කටයුතු
සෑම ළමයෙකු තුළම සාමාන්‍යයෙන් මෙම ලක්‍ෂණ මඳ වශයෙන් හෝ දක්නට ලැබුනද දිගින් දිගටම ස්වකීය පාලනයකින් තොරව ඉතා දැඩි ලෙස පවතී නම් හා එම තත්ත්වය දරුවාගේ මෙන්ම මව්පියන් ඇතුළු පවුලේ යහ පැවැත්මට හානිදායක වේ නම් එය චර්යාබාධ ලෙස හඳුනාගත යුතු වේ.
දරුවා සහ ඔබ අතර මනා ශක්තිමත් සබඳතාවක් ගොඩනඟා ගන්න
මූලිකව මව්පියන් තම දරුවා, දරුවෙකු ලෙස දැකීම ඉතා වැදගත්ය. ළමයා කටයුතු කරනුයේ ඔහු දන්නා හා ඔහුට අවශ්‍ය ආකාරයට මිස මව්පියන් අපේක්‍ෂා කරන ආකාරයට නොවේ.
තමන් විසින් මෙලොවට බිහි කළ ද දරුවෙකු යනු වෙනමම පුද්ගලයෙකු බවත් දරුවාටම ආවේණික වූ ගති පැවතුම්, රුචි අරුචිකම්, හැකියාවන් හා නොහැකියාවන් ඇති බවත් මව්පියන් වටහාගත යුතුය.
මේ නිසා දරුවාගේ ස්වාධීනත්වයට හා පුද්ගලිකත්වයට ගරු කිරීම හා එය අගය කිරීම මව්පියන්ගෙන් ඉටු වන වටිනා සේවයකි. දරුවාට ස්වාධීනව හා නිර්මාණශීලීව තීරණ ගැනීමට, ක්‍රියා කිරීමට අවශ්‍ය පරිසරයක් සලසා දිය යුතුය. දරුවාට සම්පූර්ණ නිදහස ලබාදී අත්හැර දැමීමක් මින් අදහස් නොකෙරේ. දරුවාව මැනවින් හඳුනාගෙන බුද්ධිමත්ව හා උපක්‍රමශීලීව හසුරුවාලීමට මව්පියන් උත්සුක විය යුතු වේ.
දරුවෙකු මැනවින් හඳුනාගත් පමණින්ම එවැනි සබඳතාවක් ශක්තිමත් විය හැකිද?
නැත. දරුවාව මැනවින් හඳුනාගෙන ඔහුට දැනෙන ආකාරයට ආදරය ලබාදිය යුතු වේ.
“අම්මා මට ආදරේ නැහැ, අපේ අම්මාට නම් මං ගැන කිසි ගාණක් නැහැ” යනාදී ලෙස දරුවන් සිය මාපියන් පිළිබඳව මැසිවිලි නගන අවස්ථා ද අද ඉතා බහුලය. දරුවා සමග සම්මුඛව හිඳ “මම පුතාට ගොඩක් ආදරෙයිනේ” කියලා මව්පියන්ට කියන්නට හැකි නම් එය ළමා සිතට මහත් අස්වැසිල්ලකි.
ඇතැම් මව්වරුන් දරුවන් කියන හා ඉල්ලන සියලු දේ සපුරාලන බව පැවසුවද එපමණකින් පමණක්ම ආදරය කරනවා යැයි කීම අපේක්‍ෂා කළ නොහැකිය. ද්‍රව්‍යාත්මක භෞතික දේ ලබාදීම එක් දෙයකි. හදවතට දැනෙන්නට ආදරය ලබාදීම දරුවාගේ මානසික අවශ්‍යතාවක් සපුරාලීමකි. “අපේ අම්මා මට ආදරෙයි, තාත්තා මට ආදරෙයි” වැනි හැඟීම් දරුවාගේ සිතට නැගෙන්නේ නම් එය ඉතා වැදගත්ය. ඉන් පිළිබිඹු වන්නේ මාපියන්ගේ ආදරය දරුවාට දැනෙන බවකි.
මෙහිදී මව්පියන් දරුවාට සුදුසු දේ දීමටත් නුසුදුසු දේ පැහැදිලි කර ඉවත් කිරීමටත් බුද්ධිමත් විය යුතුය. එසේම දරුවාට පූර්ණ අවධානය ලබාදය යුතුය. එනම් ඔබ හා දරුවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය දියුණු කරගත යුතුය. මෙය මව්පිය දරු සබඳතාවය තව දුරටත් ශක්තිමත් කිරීමට හේතුවේ. දරුවා තුළ මානුෂීය වටිනාකම් රැසක් වර්ධනය වීමට මෙවැනි සබඳතාවක් හේතු වේ.
ඔවුන් තවමත් දරුවන් බව නිතර සිතන්න
ළමයින් සැමවිටම විමසිලිමත්ය. ක්‍රියාශීලීය. තනි වීමට රුචි නොවේ. ප්‍රශංසා හා ඇගයීම් ලැබීමට රුචි වේ. අසන හා දකින දේ අත්හදා බලන්නට පෙළඹේ. එහි හොඳ නරක හෝ වැරදි නිවැරදිබව නොදනී. මෙවැනි හැසිරීම් හා ක්‍රියාකාරකම්වලදී ලබන අත්දැකීම් මත ඔවුන් සතුට මෙන්ම දුකට පත්වීමත් ජය පැරදුම මෙන්ම ධෛර්යමත් වීම මෙන්ම අධෛර්යට පත්වීමත් පසුගාමී වීමත් අපේක්‍ෂා භංගත්වය වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. එහෙත් මව්පියන්ගේ අවධානයට නතු වූ දරුවාට මේ සියල්ල නිවැරදිව හඳුනාගැනීමට හැකි වේ.
- ඔබේ දරුවා විශ්වාස කරන්න
- දිරිමත් කළ යුතු තැනදී දිරිමත් කරන්න
- නිවැරදි කළ යුතු තැනදී නිවැරදි කරන්න
- තනිවන්නට ඉඩ නොදෙන්න
- දරුවා ආරක්‍ෂිත බව හැඟෙන්නට සලස්වන්න
- ඔබ පිළිබඳව විශ්වාසය ගොඩනැගෙන පරිදි හැසිරෙන්න
දරුවන් ක්‍රියාවෙන් හෝ හැසිරීමෙන් බොහෝ අදහස් හා ඉල්ලීම් ප්‍රකාශයට පත් කරයි. උදාහරණ ලෙස නිතරම මව්පියන් අබියස ගැවසීම, ඔවුන්ගේ ඇදුම්වල එල්ලී සිටීම, ඔවුන් කරන වැඩවලට බාධා කිරීම, එකම දෙය නැවත නැවත කීම හෝ කතා නොකර සිටීම, නිදා ගැනීම, හැඬීම වැනි හැසිරීම්වලින්ද ඔවුන් තම මානසික අවශ්‍යතාවයන් සන්නිවේදනය කරනු ලබයි. මෙවැනි තත්ත්වයන් මැනවින් හඳුනාගත හැක්කේ මව්පියන් ඔවුන් කෙරෙහි මනා අවධානයෙන් සිටින්නේ නම් පමණි. එසේ නොවීම තුළ දරුවන් තම මානසික අවශ්‍යතාවයන් හමුවේ අසරණභාවයට පත්විය හැකිය.
ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.