තාක්ෂනය එතරම් දියුණු නොවූ අතීතයේදී අපි හැමෝටම මගේ විනෝදාංශය ලෙස හැඳින්විය හැකි ක්‍රියාකාරකම් රාශියක් තිබුණා ඔබට මතක ඇති. මුද්දර, කුරුළු පිහිටු, ගීත රචනා, කෑම වට්ටෝරු, කාසි ආදී එකී මෙකී නොකී දෑ එකතු කිරීමත් විවිධ ශාක පත්‍ර වියලීම, ගෙත්තම් කිරීම, පොත් කියවීම ආදී තවත් අටෝරිසියක් වූ ක්‍රියාකාරකම් ඔබට මතකයට නගා ගන්නට පුළුවන් ඇති. නමුත් අද අපි කතා කරන්නට යන්නෙ ඔබේ විනෝදාංශ ගැන නම් නොවෙයි. අද familylife.lk අපි දරු සෙනෙහස තුළින් කතා කරන්නේ ඔබේ දරුවාට මෙවැනි විනෝදාංශක් තිබීම ඔහුගේ ජීවිතයට කොතරම් සුභදායී කාරනාවක්ද යන්නයි.
අද වන විට සියලු විනෝදාංශ ජංගම දුරකථනය, රූපවාහිනිය නැතිනම් වීඩියෝ ක්‍රිඩා උපකරණ ආදි මෙවලම් කීපයකට සීමා වී තිබුනත් ඇත්ත වශයෙන්ම ප්‍රායෝගිකව කළ හැකි විනෝදාංශයක දරුවා නිරත වීමෙන් ඔහුගේ පෞර්ෂයට මෙන්ම නිර්මාණශීලිත්වයට එය ඉතා තදින් බලපාන බව පර්යේෂන රැසකින් තහවුරු වී තිබෙනවා. එම නිසා දැනට ඔබේ දැරුවාට එවැනි විනෝදාංශයක් නැත්නම් එවැන්නක් සොයා ගැනීම සඳහා අදම උදවු උපකාර කිරීම ඔබගේ වගකීමක්.
එවැනි විනෝදාංයක් මගින් ඔබේ දරුවාට අත්වන හිතකර බලපෑම් කීපයක් මෙසේ දක්වන්න පුළුවන්.
1. පාලුව කාන්සිය මකමින් විවේකය වඩා අර්ථවත්ව ගෙවා දැමීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම
වැඩෙන දරුවන්ට විශේෂයෙන් මෙවැනි විනෝදාංශයක් තිබීම ඉතාමත් වැදගත් වන්නේ ඔවුන්ගේ පාසැල් දිවියත් සමග ඇතිවන ඒකාකාරී ජීවන රටාවට වෙනසක් ඇති කරමින් දරුවන් උද්යෝගයෙන් හා නිරෝගීව තබා ගැනීමටයි. ක්‍රිඩාව හා සම්බන්ධ විනෝදාංශයක් තෝරා ගන්නේ නම් එය ශාරීරික හා මානසික සෞඛ්‍ය කෙරෙහි ඉතා ධනාත්මකව බලපානු ලබනවා. මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව අවුරුදු 5ත් 14ත් අතර පාසැල් යන ළමුන් අතරින් සාමාන්‍යයෙන් සියයට හතකට ආසන්න ප්‍රමාණයක් සාංකාව නැමති රෝගී තත්ත්වයෙන් පෙලෙන බවට සොයා ගෙන තිබෙනවා. ක්රීඩාශ්රිත විනෝදාංශ මගින් දරුවාගේ කුසලතා හා හැකියාවන් වර්ධනයට රුකුලක් වන අතරම ඔවුන්ගේ මානසික තුලිතභාවය පවත්වා ගැනීමටත් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලබනවා.
2. නිර්මාණාත්මක අදහස් ජනිත වීමේ හැකියාව වර්ධනය කිරීම
මේ යටතේ බොහෝවිට කලාත්මක ක්‍රියාකාරකම් විනෝදාංශ ලෙස තෝරාගත හැකිය. කවි හෝ නවකතා, කෙටිකතා රචනය, චිත්‍ර ඇඳීම, මූර්ති කලාවන්, සංගීතය, නැටුම් ආදී සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් තම විනෝදාංශ වශයෙන් තෝරා ගැනීමෙන් දරුවාගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනයට හේතු වෙයි. විවිධ පරිකල්පන සංකල්ප ගොඩනගමින් ඒවා රූපයට නගමින් නව්‍ය සංකල්පයන් ඉදිරිපත් කිරීමට දරුවාට පෙළඹවීමක් ඇති වෙයි. මෙමගින් තමන්ගේ නිදහස ප්‍රකාශ කිරීමට මෙන්ම තමන්ටම සුවිශේෂී වූ සිතුවිලි ධාරාවන් ජනිත කරන්නට මං පෙත් එළි පෙහෙලි කරනු ලබයි. අද ලෝකයේ බොහෝ සුප්‍රසිද්ධ කලා කරුවන් ඔවුන්ගේ ළමා කාලය තුල විනෝදාංශ වශයෙන් තෝරාගත් මාවත් වල ජය කෙහෙලි නංවමින් සිය අසම සම නිර්මාණ ශත්කියෙන් ප්‍රතිභා දක්වන අයුරු අප කවුරුත් දැක ඇත.
3. බුද්ධි වර්ධනය කිරීම
බොහෝ විනෝදාංශයන් දරුවාගේ බුද්ධිමය හැකියාවන් වර්ධනය සඳහා ඉවහල් වේ. මෙහිදී පොත් කියවීම විනෝදාංශයක් කර ගත් දරුවෙකුගේ බුද්ධි වර්ධනය ඉතා ඉහළ තලයක් වෙත ගෙන එයි. භාෂා හැකියාව වර්ධනය වීමත් දරුවාගේ ශබ්ධ කෝෂය පොහොසත් වීමත් හැරුණු කොට දරුවාට ලෝකය පිළිබඳ ලැබෙන දැනුමත් ඒ ඇසුරින් දරුවා තනාගන්නා සිය ආවේනික ලෝකයත් ඔහුගේ අනාගතය තීරණය කිරීමට බෙහෙවින් ඉවහල් වේ. එමෙන්ම දරුවාගේ ආකල්පමය වර්ධනය මෙන්ම පොතක් සැමවිටම දරුවෙකුගේ ඉවසීම හා මානසික ඒකාග්‍රතාවය ඇති කිරීමටත් ප්‍රබල දායකත්වයක් දක්වයි. පොත් කියවීමට අමතර ඕනෑම විනෝදාංශයක් ගතහොත් අප කළින් පැවසූ පරිදි දරුවාගේ ඒකාකාරී ජීවන රටාව වෙනස් කරමින් ඔහු නැවුම් හැඟීම සමග ජීවත් වීමට අවස්ථාව උදාකර දෙයි. ඉක්මනින් හා කාර්යක්ෂමව තීරණ ගැනීමේ හැකියාව බොහෝ ක්‍රිඩාවන් විෂය කොට ඇති විනෝදාංශ මගින් දරුවාට ලබා දෙන තවත් සුවිශේෂී හැකියාවකි.
4. කණ්ඩායම් හැඟීම හා පිරිසක් ලෙස ගැටළු විසඳන අකාරය පිළිබඳ දැරුවන්ට ලැබෙන අත්දැකීම්
කණ්ඩායම් ක්‍රිඩා විනෝදාංශ වශයෙන් තෝරාගන්නා දරුවන්ට නිතැතින්ම පිරිසක් සමග එක්ව එක් අරමුණක් වෙනුවෙන් කැපවෙන ආකාරයත් එමගින් අරමුණක් ජය ගන්නා ආකාරයත් පිළිබඳ සුවීශේෂී වූ පුහුණුවක් අනිවාර්යයෙන්ම හිමිවෙයි. ඊට අමතරව තමන්ගේ අනෙකාගේ තීරණ හා හැඟීම් උදෙසා ගරු කරන ආකාරය, ඔවුන් හා සාමුහිකව තීරණ වලට එළැඹෙන ආකාරය ආදිය මෙම ක්‍රිඩා තුළින් දරුවා ග්‍රහණය කර ගනු ඇත. අද වන විට බොහෝ සාර්ථක ආයතන සිය සම්මූඛ පරීක්ෂණ වලදී කණ්ඩායම් ක්‍රීඩා කර ඇති අයදුම් කරුවන් වෙනුවෙන් වැඩි බර තැබීමක් සිදු කරන්නේ මෙසේ ලබා ඇති පුහූණුව ආතනයේ දියණුවට දායක කර ගත හැකි අමිල සම්පතක් වන බැවිනි. එවැනි අයදුම්කරුවන් තුළ අන් අයට වඩා පහත ගුණාංග ඉස්මතු වන බව බොහෝ මානව සම්පත් සමීක්ෂණ වලින් හෙළි වී ඇත.
- කණ්ඩායම් වශයෙන් ක්රියාකිරීමේදී අන් අයගේ හැඟීම් තේරුම් ගෙන කණ්ඩාම් හැඟීමෙන් කටයුතු කරන ආකාරය
- නායකත්ව කුසලතාවයන් හා නායකත්වයක් යටතේ වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳ හැකියාවන්
- ජය පරාජය එකලෙස දරාගැනීමට ඇතිවන හික්මීම
- ක්‍රීඩාවක ජීවන ගුණය වන එකිනෙකා කෙරෙහි ගරු කිරීමට හා තරඟයක් තුල පවා විනය ගරුකව ක්‍රියා කරන්නේ කෙසේද යන පුහුණුව
- ජීවිතය යනු සැමවිමට ජයග්‍රණය නොවන බව සිත්හි ධාරනය වීම.
5. කුසලතා වර්ධනය කර ගැනීමට නිවැරදි මාවතක් විවර වීම
ඕනෑම අයෙකු සිය විනෝදාංශය වශයෙන් තෝරා ගන්නේ තමන් කිරීමට රුචි ක්‍රියාවකි. තමන් ජීවිතයේ කිරීමට කැමති දෙයක් වෙනුවෙන් වූ කුසලතා වර්ධනය කර එය තමන්ගේ ජීවනෝපාය බවට පත් කර ගත හැකි නම් එය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ආශිර්වාදයකි. නැතැතින්ම එවැනි අවස්ථාවක් තමන්ට ආත්මාභිමානයට කාරනයක් වන අතරම තමන්ගේ ජයග්රහන ගැන නිහතමානීව සතුටු වන්නටත් අවස්තාවක් උදා කර දෙයි. නිර්මාණාත්මක රචනයට දක්ෂ දරුවෙක් අනාගතයේ ලොවම පිළිගත් ගත්කතුවරයෙක් වීම හෝ සංගීතයට කැමැති දරුවෙක් එවැනිම ලෝ ප්‍රක්‍රට සංගීතඥයෙක් වීමේ ආරම්භය සිය විනෝදාංශය නම් එය කෙනෙකුට ආඩම්බරයක් ගෙන ඒම ස්වභාවිකය.
දරුවන්ට විනෝදාංශයක් තේරීමේදී මේ කරනු ගැන සැලකිළිමත් වන්න
- දරුවාගේ කැමැත්ත හා ඔහුගෙන් දැකිය හැකි කුසලතා – දරුවාට හොඳින් සවන් දී ඔහුගේ යටි හිතේ ඇති කැමැත්ත පිළිබඳ විමිසිලිමත් වන්න
- දරුවා විසින්ම පටන් ගන්නා විනෝදාංශ වලදී ඒ සඳහා ඔහුට උදවු කිරීමට ඇති හැකියාව – උදා – අදාල විනෝදාංශයට උදවු කිරීමට ප්‍රමානවත් මූල්‍යමය සවියත් ඇත්ද යන්න
- මූලික අවධියේදී දරුවාගේ වීරයා වන්නේ දෙමවුපියන් බැවින් දෙමවුපියන් සිදුකරන ලබන විනෝදාංශ පිළිබඳ දරුවා උනන්දු වන බව මතක තබා ගන්න. තම විනෝදාංශ දරුවාට නොගැලපේ යැයි සිතනවා නම් ඔහුගේ කැමැත්ත පරිදි සිදුකළ හැකි විනෝදාංශ කීපයක ඔබත් යම් තරමකට නිරත වීමට ඇති හැකියාව
- අදාල විනෝදාංශයට අදාලව යම් හැදෑරීමක් කළ යුතු අවස්ථාවන් හිදී ඒ සඳහා අවස්ථා සලසා දීම. උදා – සංගීතය, චිත්‍ර කළාව ආදියට අදාල පංති වලට සහභාගී කරවීම
මෙවැනි සරල විනෝදාංශ මගින් දරුවගේ අනාගතය නිසැකයෙන්ම විඳින ජීවිතයක් මිස විඳවන ජීවිතයක් නොවීමට ඇති හැකියාව ඉතා ඉහලයි. ඉතිං ඔබේ දරුවා අනාගතයේ සැහැල්ලුවෙන්, සතුටෙන් කල් ගෙනව පුරුවැසියෙක් කරන්නට ඇවැසි නම් අදම දරුවාට විනෝදාංශයක් තෝරාදීමට ඔබේ කාලය වෙන් කරන්න.
ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.
කවරයේ ඡායරූපය – dancepoise.com