ඔබෙත් මගෙත් සෞඛ්‍ය ගැන ටිකක් විස්තරාත්මකව කතා කරන්න අපි ගිය සතියේ පටන් ගත්ත. අද අපි familylife.lk සුව පියස තුළින් බලාපොරොත්තු වෙන්නෙ ඒ සාකච්ඡාවේ තවත් කොටසක් ඔබ හමුවට ගෙන එන්නයි. වඩා විස්තරාත්මකව අපි කායික, මානසික හා සමාජීය සෞඛ්‍ය පිළිබඳ අද කතා කරමු.
ඇත්තටම සෞඛ්‍යය යහපැවත්මක් කියල හඳුන්වන්නේ ලෙඩ නොවී ඉන්න එකම නොවෙයි කියලත් එය ශාරීරික, මානසික හා සමාජීය අංශ වලින් නිරෝගීව සිටීමත් ලෙඩ රෝග සෑදීමට තිබෙන අවදානම අවම කර ගැනීමට කටයුතු කිරීමත් කියල දැනටත් ඔබ දන්නව.
මුදල ප්‍රමුඛව සලකමින් කිසිදු විවේකයකින් තොරව හැල්මේ දුවන ජීවිතයේදී සෞඛ්‍යය යහපැවැත්ම පවත්වා ගන්නේ කෙසේද කියන ප්‍රශ්නය දැන් ඔබේ හිතේ තිබෙන බව අප දන්නවා. සමහර විට ඒ පිළිබඳව නියම වැටහීමක් ඔබට තිබුනත් ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේදී මේ කියන කාරනා ඉෂ්ඨ සිද්ධ කරන්නෙ කොහොමද කියන කාරනෙත් ඔබ හිතමින් ඇති. එම නිසා ඒ ප්‍රශ්න වලට සාධනීය පිළිතුරුත් එක්කම සිතාමතා ඔබ සිදු කරන සරල කුඩා වෙනසකින් ඔබටත් පවුලටත් ඇතිවන වාසි ගැනත් අපි මේ ලිපියෙන් කථා කිරීමට බලාපොරොත්තු වනවා.
අවබෝධ කරගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ පහසුව තකා සෞඛ්‍ය යහපැවැත්ම,
– කායික යහපැවැත්ම
– මානසික යහපැවැත්ම
– සමාජීය යහපැවැත්ම
කියන අංශ තුන යටතේ සාකච්ඡාවට ගනිමු.
කායික සෞඛ්‍යය යහපැවත්ම
එදිනෙදා කටයුතු අපහසුවකින් තොරව සිදුකර ගැනීමට හැකිවීම, නිතර ලෙඩ රෝග වලට ගොදුරු නොවන හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීම, හොඳ මට්ටමක ශරීර යෝග්‍යතාවයක් පවත්වා ගැනීම කියන කාරණා ඔබ නිසි ලෙස ඉටුකරයි නම් ඔබට කායික සෞඛ්‍ය යහපැවැත්මක් ඇති බව පැවසිය හැකිය.
උදාහරණයක් ලෙස තරබාරු කෙනෙත් කිසිදු ලෙඩ රෝගයකට ගොදුරු නොවී සිටියත් ඔහු හෝ ඇය පඩිපෙලක් නගින විට ඉතා ඉක්මනින් වෙහෙසට පත්වී හති වැටෙනවානම් හෝ ටික දුරක් ඇවිද යද්දී දනහිස් අමාරුව ඇතිවේ නම් හෝ ටික වේලාවක් බිම හිඳගෙන සිටීමට නොහැකි නම් ඔහුගේ හෝ ඇයගේ කායික සෞඛ්‍ය යහපත් කියා අපට පැවසිය නොහැක.
තමන්ට හරි පවුලේ සාමාජිකයෙකුට හරි උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි ලෙඩක් වැළඳුනු දවසක් මතක් කර බලන්න. නැතිනම් තමන් හඳුනන කෙනෙක් දියවැඩියාව, අධි රුධිර පීඩන තත්ත්වයක් ඇතිවෙලා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවක් මතක් කර බලන්න. එවැනි අවස්ථාවක් මතක් කරන විට පවා ඔබට ඇතිවන්නෙ අපහසුවක්, දුකක් නේද? තමන් රෝගී වූ විට කිසි දෙයක් තමන්ට තනිව කර ගත නොහැකිව, අපහසුවෙන් දවස ගෙවා දැමීම තමන් දඬුවමක් විඳිනව වාගේ වැඩක් නේද?
මේ ආකාරයට ශරීරය ලෙඩ නොවී තබාගැනීමට නම් අපිට මූලිකව කාරණා තුනක් ගැන සැලකිලිමත් වෙන්නට සිදුවෙනවා.
1) ශාරීරික ක්‍රියාකාරකම්
2) පෝෂණය
3) විවේකය
මේ කාරනා තුන පිළිබඳව වෙන වෙනම අවදානය යොමු කරන අතරවාරයේ අපි එදිනෙදා ජීවිතයේදී දැනට තමන් සතු පුරුදු වෙනස් කරගත යුතු ආකාරය ගැනත් කතා කරමු.
ශාරීරික ක්‍රියාකාරකම්
සරලව ගතහොත් ශාරීරික ක්‍රියාකරකමක් වශයෙන් හඳුන්වන්නේ ශරීරයේ ගබඩා වී ඇති ශක්තිය, වැය වන ආකාරයට මාංශ පේෂින් ක්‍රියාකරවීමයි.
ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම, නැටීම වගේ දේවල් මෙන්ම ගේදොර අස්පස් කිරීම, මිදුල අතුගෑම, පොළව කෙටීම වගේ අපි එදිනෙදා ජීවිතයේ කරන සියලු දේ ශාරීරික ක්‍රියාකාරකම් වලට අයත් වෙනවා.
සමාජයේ බොහෝ දෙනෙක් ශාරීරික ක්‍රියාකාරකම් ලෙස සිතා සිටින්නෙ ව්‍යායාම් වල නිරත වීමයි. නමුත් එය අපි ඉහත සඳහන් කළ ක්‍රියාකාරකම් සේම ශාරිරික ක්‍රියාකම් කළ හැකි තවත් එක් ක්‍රමයක් පමණයි. ව්‍යායාම වශයෙන් හඳුන්වනු ලබන්නේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා කලින් සැලසුම් කර නිර්මානය කරන ලද මාංශ පේශී චලනයන් සමූහක් යන්නයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පුද්ගලයෙකුගේ සෞඛ්‍ය යහපැවැත්ම හොඳ මට්ටමක පවත්වා ගැනීම සඳහා මධ්‍යස්ථ මට්ටමේ ශාරීරික ක්‍රියාකාරකම් කළ යුතු අවම අගයක් තිබෙනවා. එනම් වේගයෙන් ඇවිදීම, ක්‍රියාශීලී ක්‍රීඩාවක නිරත වීම, වේගයෙන් බයිසිකල් පැදීම, වගේ ක්‍රියාකාරකම්. නමුත් එකිනෙකාට මෙම ක්‍රියාකාරකම් කිරීමේදී දැනෙන ආකාරය වෙනස් වන බැවින් මේ ක්‍රියාකාරකම් නිවැරදිව හඳුනාගැනීමට ඇති හොඳම ක්‍රමය ලෙස තමන්ගේ හදවත ගැහෙන වේගය වැඩි වීම, හුස්ම ඉහල පහළ යන වේගය වැඩි වීම දක්වන්න පුළුවන්.
ලෝකය පුරා පරීක්‍ෂන කර සොයා ගෙන ඇති ආකාරයට
– අවුරුදු 05ත් 17ත් අතර ළමුන් දවසට පැයක් පමණ කාලයක් මෙවැනි මධ්‍යස්ථ මට්ටමේ ශාරීරික ක්‍රියාවන්හි නිරත විය යුතුයි.
– අවුරුදු 18 ත් 64 ත් අතර පුද්ගලයින් සතියකට මිනිත්තු 150 වත් එනම් අවම වශයෙන් දිනකට පැය භාගය බැගින් සතියට දින පහක් වත් මෙම ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත විය යුතුයි.
– අවුරුදු 65 හෝ ඊට වැඩි පිරිසත් සතියකට මිනිත්තු 150 ක් මධ්‍යස්ත ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත විය බවට නිර්දේශ කර ඇතත් වයසත් සමග තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා හැකියාව අනුව පමනක් ශාරිරික ක්‍රියාකාරකම් වල නිරත වීම සුදුසුයි.
මේ දේවල් අපි ඔබට පවසා සිටියත් ඔබට හිතෙන්නට පුලුවන් දහසකුත් එකක් වැඩ රාජකාරි දහසක් මැද මෙලෙසින් ශාරීරික ක්‍රියාකාරකම් වලට වෙලාව වෙන්කිරීම ජීවිතයට මොනතරම් ප්‍රයෝජනවත්ද යන වග. ඇත්තටම මේ වෙන්කරන වෙලාව වටිනවද කියල.
ඇත්තෙන්ම ඔවු. මේ පිළිබඳ කිසිදු සැකයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නැහැ. වර්තමානයේ ලෝකයේ සිදුවන මරණ වලින් සියයට හැත්තෑවකටම ( 70% ) හේතුව වන්නේ හෘදයාබාධ, දියවැඩියාව, පෙනහළු ආශ්‍රිත ආබාධ, ආඝාතය වැනි බෝ නොවන රෝග. හොඳ ශාරීරික ක්‍රියාකරකම් පවත්වා ගැනීම මගින් මෙවැනි රෝග වලින් අකාලයේ මරණයට පත්වීමට ඇති ඉඩකඩ වලක්වාගන්න පුළුවන්.
ශාරීරික ක්‍රියාකරකම් වල වාසි
– හෘදයාබාධ මගින් මරණයට පත්වීමේ අවධානය අවම කරයි
– රුධිර පීඩනය අඩු කරයි
– මාංශපේශි ශක්තිමත් කර අනාගතයේදී ඔස්ටියෝපොරෝසීස් වැනි අස්ථි රෝග අවදානම අවම කරයි
– බර අඩු කරයි
– රුධිරයේ අඩංගු සීනි ප්‍රමානය, අඩු කර දියවැඩියාව සෑදීමේ අවදානම අවම කරයි
– රුධිරයේ ඇති ක්ලොස්ටරෝල් මට්ටම අවම කරයි
– මානසික ආතතිය අවම කරයි
– පුරස්ථි ග්‍රන්ථි, පියයුරු පිළිකා ආදී තත්ත්වයන් ඇතිවීම අවම කරයි
ඔබ තවදුරටත් ඉහත වාසි සියල්ල අමතක කර කාර්යබහුල මුත් අක්‍රීය ජීවන රටාවකට යොමු වේනම් නොබෝ කලකින්ම ලෙඩ රෝග රාශියක් සෑදීමේ ආවදානමට ලක් වීමට ඇති අවස්තාව ඉතාමත් වැඩියි.
පවුලේ සියලු වගකීම් කරට ගෙන පවුලේ බර දරන පියෙකු අකාලයේ හෘදයාබාධයකට ගොදුරු වුවහොත් ඉන්පසු එම පවුලට ඇතිවන තත්ත්වය ඔබට සිතාගත හැකියි. පවුලේ සියලු සාමාජිකයන් ගැන සොයා බලන මවකට ආඝාතය හැදුනොත්?
මේ නිසා සැම විටම තමන්ගේ සෞඛ්‍ය යහපැවැත්ම සැලකිලිමත් වීම ජීවිතයේ අන් සියලු කාරනා වලට ප්‍රථමව සිදුකළ යුත්තේ අන් සියල්ල කිරීමට ඔබ ප්‍රථමයෙන් ජීවත්ව සිටිය යුතු නිසයි.
මීලඟ ලිපියෙන් අපි තව දුරටත් ශාරිරික යහපැවත්ම ප්‍රායෝගිකව කතා කරමු.
රෝග වැළඳුනු පසු ප්‍රතිකාර කිරීමට වඩා ලෙඩ රෝග සෑදීම වලක්වා ගැනීම ඉතා වැදගත්
මේ ලිපියේ පළමු කොටස – රෝග වැළඳුනු පසු ප්‍රතිකාර කිරීමට වඩා ලෙඩ රෝග සෑදීම වලක්වා ගැනීම ඉතා වැදගත්
මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනූජා පෙරේරා මෙනවිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.