කුඩා දරුවෙකුට පොත් පත් කියවීම හුරු කිරීමේ ඇති වටිනාකම පිළිබඳව පෙර ලිපියකින් (ලිපියට මෙතන ක්ලික්/ටැප් කරන්න) කතා කළ අපි ළමා සහ යොවුන් සාහිත්‍ය පිළිබඳව නිරන්තරෙන්ම ඔබව දැනුවත් කරනවා. familylife.lk මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා දරුවන්ට කතන්දර පොත් කියලා දීමේදී සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධව යි.
- දරුවෙකුට පොත පත හුරු කිරීමේදී හැකි තරම් ඉක්මනින් ඒ දේ ආරම්භ කිරීම ඉතාමත් සුදුසු බවට පර්යේෂණ මගින් කරුණු හෙළි වී ඇති අතර ඒ අනුව දරුවා මවුකුසේ ඉන්න කාලසීමාව තුළදී මව විසින් ගීත ගායනය සහ කතන්දර පොත් කියවීම මගින් ළදරුවාට ඒවා ශ්‍රවනය කිරීමේ හැකියාව ඇති බවට පැවසෙනවා.
- වයස අවුරුද්දට වඩා අඩු ළදරුවන් විශාල වර්ණවත් පින්තූර සහිත බෝර්ඩ් බුක්ස් සහ රෙදිවලින් නිමාව කරන ලද ගීත අඩංගු පොත්වලටත්, වයස අවුරුද්දට වඩා වැඩි දරුවන් වාහන, සතුන් වැනි දේවල්වල පින්තූර අඩංගු වර්ණවත් පොත් පත් බැලීමටත්, අවරුදු 2-4 වයස් සීමාවේ දරුවන් අකුරු, ඉලක්කම් සහ පින්තූර සහිත කෙටි කතන්දර පොත්වලටත් වඩා ප්‍රියතාවයක් දක්වනවා.
- පොතක් කියවීමට පෙර සූදානමක් විදියට දරුවා ඒ සදහා ප්‍රියතාවයක් දක්වන අවස්ථාවක් සහ නිස්කලංක පරිසරයක් තෝරාගෙන දරුවාට අවශ්‍ය පොත තෝරාගැනීමට ඉඩහරින්න. දරුවන්ගේ රසඥතාවය එකිනෙකාට වෙනස් බව තේරුම්ගෙන ඒ ඒ තෝරා ගැනීම්වලට අනවශ්‍ය ආකාරයට බලපෑම් කිරීමෙන් වැළකීම ඉතාම වැදගත් වෙනවා.
- දරුවන්ට කතන්දර පොත් මිලට ගැනීමේදී දරුවා ප්‍රිය කරන ආකාරයේ පොත්වලට අමතරව දරුවාගේ ජීවන සංසිද්ධි සිහිපත් වන ආකාරයට පොත්පත් මිලට ගැනීමත් සිදු කිරීම මගින් දරුවාගේ අවධානය ලබාගැනීමේ හැකියාව වැඩි වෙනවා. එයට උදාහරණයක් ලෙසින් දරුවා පාසල් යන මුල්ම දිනය, ලෙඩකට බෙහෙත් ගැනීමට දොස්තර ළගට යෑම, පවුලට අලුතින් තවත් පොඩ්ඩෙක් එකතු වීම, උපන්දින, නිවසින් පිටතට ගිය දිනෙක වැනි අවස්ථා දක්වන්නට පුළුවන්.
- දරුවා තමන් සමීපයට අරගෙන පහසු ඉරියව්වකින් වාඩිවී පොත අල්ලාගැනීමට සහ පිටු පෙරළීමේ අවස්ථාව දරුවාට ලබාදෙන්න. එක් පිටුවක් නිදහසේ අධ්‍යනය කිරීමෙන් පසුව ඊළග පිටුවට පෙරළීමේ අවස්ථාව දරුවාට ලැබෙනවා.
- මුලින්ම තෝරාගත් පොතේ කවරය දරුවාට පෙන්වමින් කතුවරයා, කතාවේ ස්වභාවය සහ චරිත පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. කුඩාම වයසේදී කතුවරයා හඳුන්වාදීම අවශ්‍ය නොවුනත් අවුරුදු 3 – 4 කාලයේදී දරුවාට පොත හඳුන්වන්නටත් (උදා – සිබිල් නැන්දගෙ පොතක්) එය උදවුවක් වේවි.
- දරුවන්ට කතන්දර පොත් කියා දීමේ දී එහි අඩංගු කතන්දරය මුළුමනින්ම කියා දීම අත්‍යවශ්‍ය වන්නේ නෑ. දරුවාද හවුල් කරගනිමින් අවශ්‍යනම් පින්තුරය බලාගෙන කතන්දරයක් ගොඩනැංවීමේ හැකියාව ඔබට තියෙනවා. චරිතවලට අදාළ වෙන ආකාරයට හඬ උස් පහත් කිරීම, කටහඬ වෙනස් කිරීම, ශබ්ද නගා කියවීම සහ රඟපාමින් වගේම සින්දු කියමින් කතාව රඟදැක්වීම මගින් කතාන්දරය සජීවී වෙන අතරම දරුවාට අලසකමක් ඇති වීම අවම වෙනවා.
- දරුවාගේ අංග චලන වටහා ගනිමින් ක්‍රියා කිරීම මෙහි දී වැදගත් කරුණක් වෙනවා. පින්තූරය පෙන්වමින් කතාව කියාදෙන විට දරුවා ඊට අදාළ වචනය ඉක්මනින් ඉගෙනගන්නවා වගේම පින්තූරය දිහා බලාගෙන එය අධ්‍යනය කරන්නත්, ඒ ගැන කතා කරන්නත් දරුවාටත් අවස්ථාවක් ලබා දිය යුතු වෙනවා.
- අකුරු හඳුනන වයසක දරුවෙක් නම් අකුරු උඩින් ඇඟිලි දුවවමින් වචන කියාගෙන යාම, දරුවට තනිවම වචන කියවීමට උපකාරයක් වෙනවා. ඉවසිලිවන්ත වීමත්, කිසිම හේතුවක් මත දරුවාට සැර වැර නොකිරීමත් අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම කතාව කියා දෙන අතරතුර දරුවාගෙන් ප්‍රශ්න ඇසීම අනිවාර්යෙන් සිදු කළයුතු දෙයක් වෙනවා.
- කතාන්දරයේ සිදුවීම් සහ චරිත අතර අන්තර් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමටත්, තමන් කියවන පොත පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත් මේ ප්‍රශ්න ඇසීම ඉතා වැදගත් වෙනවා. අවුරුදු 3ට වඩා වැඩි දරුවන්ට පොත් කියා දීමේ දී පොත කියාදීමට පෙර (පොත් කවරය පෙන්වා හිතෙන දේ ගැන උපකල්පනය කිරීම), පොත කියවන අතරතුර (චරිතය ගැන, ඊළගට සිදුවන දේ ගැන නිගමනයක ඒම/ චරිත අත්විඳින හැඟීම් පිළිබඳව දරුවාට දැනෙන දේ ගැන) සහ කතාව අවසානයේදී (අවසානය ගැන දරුවාට හිතෙන දේවල්, කතාන්දරය පිලිබඳ මතකය සහ සාරාංශය) දරුවාගෙන් ප්‍රශ්න ඇසිය යුතු වෙනවා. ඒ වගේම, දරුවා අසන ප්‍රශ්නවලටත් ඔබ විසින් පිළිතුරු ලබා දිය යුතු වෙනවා.
- වචනවල තේරුම, සමාන වචන ගැන වගේම සමාන ශබ්ද රටාවක් ඇති වචන ගැන වගේම යථාර්තවාදී කතා, සුරංගනා කතා සහ සත්‍ය සිදුවීම් හා චරිත ඇති නමුත් සිදුවීමට සම්භාවිතාවයක් පමණක් ඇති කතා පිළිබඳවත් යම් අවබෝධයක් දරුවාට ලබා දිය යුතු වෙනවා. ඒ වගේම පොතෙහි එන යම් යම් සංකල්ප (උදා:- මිනිස්සු එකිනෙකාගෙන් ඉගෙනගන්න දේවල්) පිළිබඳවත් ඉවසීමෙන් යුතුව දරුවාට පැහැදිලි කළ යුතු වෙනවා.
- කතාන්දරය කියා දීමෙන් පස්සේ දරුවා ප්‍රියතාවයක් දක්වනවානම් තවදුරටත් වෙනත් පොත් මගින් හෝ අන්තර්ජාලය මගින් කරුණු හොයලා කියා දෙන්න පුළුවන්. (උදා:- කතුවරයා ගැන, කතාවෙන් කියවෙන සත්තු ගැන). දරුවා ඉදිරිපත් කළ උපකල්පන පිළිබඳ කතා කරමින් දරුවා ධෛර්යමත් කිරීමත් දරුවට විශාල සතුටක් ගෙන දෙන්නට හේතුවක් වේවී.
- දරුවා සමග පොත් කියවීම විනෝද ක්‍රීඩාවක් බවට පත්කරගන්න. උදාහරණයක් විදියට දරුවා ප්‍රිය කරන ආකාරයේ පොතක් කොහේ හෝ තැනක හංගා දරුවාට එය සොයාගෙන එන්න කියන්න පුළුවන්. දුර ගමනක් බිමනක් යනකොට කතා පොතක් ගෙනයාම, රසකැවිලි තෑගි දෙන ආකාරයට පොත් තෑගි දීම, දරුවා සමග එක්ව පොත් තෝරා මිලට ගැනීම වගේ දේවල් කරන්න පුළුවන්.
- දරුවෙකු කොයි තරම් පොත්පත්වලට ආසා වුවත් නිවසේ වැඩිහිටියන් ඒ දේ කරනවා නොදකිනවා නම් දරුවාගේ රුචිකත්වයත් අඩු වී යන නිසා මව්පියන් පොතපත ඇසුරු කරන්නට වැඩි අවධානයක් යොමු කල යුතු වෙනවා.
-
අවසන් වශයෙන් ඇමෙරිකානු පර්යේෂණ ආයතනයක් විසින් දරුවන්ට කතන්දර පොත් කියා දීම සම්බන්ධයෙන් සිදුකල පර්යේෂණයක් මගින් හෙළිකරගත් තොරතුරු කිහිපයක් පහතින් දක්වනවා.
- කියවන්නා දරුවා සමග අන්‍යෝන්‍ය සම්බන්ධයක් තබා ගනිමින් කතාව කියා දිය යුතු වෙනවා. දරුවාට වචන කියවන්න නොහැකි වුවත් කතන්දරයක් සාකච්චා කරමින් කියවීම මගින් දරුවාගේ හැඟීම් ප්‍රකාශනයට සහ සිතීමේ හැකියාව දියුණු වීමට එය විශාල රුකුලක් වෙනවා. කතාව දික් ගැස්සවීම, ඒ පිලිබඳව කතිකාවතක් ගොඩ නැගීම, වචවල තේරුම සහ සිද්ධි සම්බන්ධතාවය ගොඩනැගීම මෙහිදී අත්‍යවශ්‍ය වෙනවා.
- එකම කතා පොත කිහිප වතාවක් කියා දීම මගින් මතක ශක්තිය ඉහළ යන බවත් එහි සඳහන්.
- කතන්දයක් කියා දීම මගින් නිසි ප්‍රතිපල ලැබීමට කතාව කියා දෙන්නා (මව්පියන්/ ආච්චි/සීයා…) හෝ දරුවාගේ වයස බලනොපාන අතර නියමාකාරව කතාව කියා දීම පමණක් ප්‍රමාණවත් වන බවයි ඔවුන් පවසන්නේ.