fbpx
More
    29 C
    Colombo
    Tuesday, May 14, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පවුඩර් හා ක්‍රීම් වර්ග ඔබේ ළදරුවාට තෝරා ගැනීමේදී මේ ගැන සිතුවාද?

    Family Tech Sponsorspot_imgspot_img

    පවුඩර් හා ක්‍රීම් වර්ග, ඇඳුම් පැලැදුම් , ආයිත්තම්, කොට්ට උර, ආදි එකි මෙකී නොකී බබාට අවශ්‍ය සියල්ල මවුවරුන් එක්රැස් කරන්නෙ පැටිය මේ ලෝකෙ එළිය දකින්නත් කලියෙන්. බොහොම සෙනෙහසින් ආශාවෙන්.

    තමන්ගේ ආදරණිය පැටිය ඉපදෙන්නත් කලින් අපි මේ දේවල් මිලදී ගනිද්දී අපි පොඩ්ඩක්වත් හිතුවද මේ නිශ්පාදන අපේ කිරිකැටියාට ගැලපේවිද කියලා.. ඔන්න නිසාම Familylife.lk අපි දරු සෙනෙහස (සියළු ලිපි සඳහා මෙතන ක්ලික්/ටැප් කරන්න) තුළින් අම්මලා දැනුවත් කරන්න අදහස් කලා.

    වෙළද පොළට ගිහින් ළදරු නිෂ්පාදන එකතුව පිරික්සා කර බැලුවොත් අපිට මෙරට වගේම විදේශයන්ගෙන් ආනයනය කරන ලද නිෂ්පාදන ගොන්නක් දැක ගන්න පුලුවන්. මේ නිෂ්පාදන අතරින් යම් නිෂ්පාදනයක් තෝරා ගැනීමට ඔබව පෙළඹීමට හේතුවූයේ වෙළඳ දැන්වීමක් වන්නට පුලුවන්.

    එසේත් නැත්නම් ඔබේ සමීපතම අයෙකු ඔවුන්ගේ දරුවන්ට තෝරාගත් නිෂ්පාදනයක් සම්බන්දයෙන් දැක්වූ අදහසක් නිසා වන්නටත් පුලුවන්. මේ කිනම් ආකාරයකින් හෝ ඔබ මිලදී ගත්තත් එය ඔබේ කිරි කැටියාගේ සමට නොගැලපෙන්නට ඉඩක් පවතිනවා. ඇයි කියලා අපි දැන් දැනගමු.

    පවුඩර් හා ක්‍රීම් වර්ග

    කුඩා ළමුන්ගේ සම පිළිබඳව අපි අවදානය යොමු කළොත් අවුරුදු 15ක් 16ක් වන තුරු පවතින්නේ වර්ධනය වන මෘදු සමක්.‍ මේ මෘදු සමට අපි ආලේප කරන ක්‍රීම් වර්ග, සබන් වර්ග, පවුඩර් වර්ගය නිසා හානි ඇතිවන්නට පුලුවන්. එසේම ඇතැම් දරුවන්ගේ සම උපතින්ම වියළි තත්ත්වයක් පවතිනවා.

    මෙවැනි අවස්ථාවක වැරදි නිෂ්පාදනයක් භාවිත කළහොත් ඔබේ දරුවාගේ සම තවදුරටත් වියැළි බවට පත් වන්නට පුලුවන්. නමුත් අපේ රටේ වෙන්නේ පවුඩර් මලක් අරන් හැම ළමයටම පවුඩර් දාන එකයි. දවස පුරාම ක්‍රීම් ගාන එකයි. එක ළමයෙකුගේ සමකට ගැලපෙන ක්‍රීම් වර්ගයක් තව ළමයෙකුගේ සමට නොගැළපෙන්න තියෙන හැකියාව වැඩියි.

    වගේම වියළි සමක් තියෙන එක ළමයෙකුට ගාන ක්‍රීම් එකේ ඝණකම තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙකුට පමණයි. වගේම අපේ රටේ පළාතෙන් පළාත අනුවත් මෙය වෙනස් වෙන්න පුළුවන්. සමහර පළාත් ගොඩාක් දහඩිය දාන පළාත්, සමහර පළාත් සීත පළාත්. නිසා මේ පළාත් අනුව බබාලගේ සම වෙනස් වෙනවා. මේ නිසා තමන්ගේ බබාගේ සමට ගැළපෙන දේ සොයාගන්නට අවශ්‍ය වෙනවා. මේ හැර බොහෝ වෙලාවට බබාලට ක්‍රීම් වර්ගවත් පවුඩර්වත් අවශ්‍ය වෙන්නේ නැහැ.

    අලුත උපන් කිරි කැටියාට පවුඩර් හා ක්‍රීම් වර්ග අලේප කළ යුතුමද?

    අලුත උපන් බිළිඳෙක් පිළිබඳව අවධානය යොමු කළොත් ඔවුන්ගේ සම පිරිසිදු කිරීම ඉතාම අවශ්‍යයි. සදහා අපි සමට ගැළපෙන පිරිසුදු කාරකයක් යොදා ගැනීම  සිදුකළ යුතුයි. මේ සඳහා සබන් රහිත දියරබාත් ඉමොලියන්මින් හඳුන්වන නිෂ්පාදන යොදා ගන්නේ නම් ඉතාමත් හොදයි.

    නමුත් මේවා මිලෙන් අධිකයි. මේ බාත් ඉමොලියන් භාවිතයෙන් ළදරු සමට හානි සිදුවන්නේ නැහැ. කුඩා ළමයෙකු පිරිසුදු කිරීමේදී අනවශ්‍ය ලෙස සබන් ගෑවොත් ළදරු සමේ පවතින තෙල් තට්ටුව ඉවත්වීම සිදුවී සම වියළීම ඇති වෙන්නට හැකියාවක් පවතිනවා. එවිට අලුතින් ක්‍රීම් වර්ග ගාන්නට සිදුවෙනවා. මේ නිසා පෙන එන්න සබන් ගාලා ළමයව හෝදන්න අවශ්‍ය නැහැ.

    උපන් ගමන් ළමයෙකු හොඳට පිරිසුදු කරලා කිසිම දෙයක් නොගා අපිට බබාගේ සමේ තත්ත්වය නිරීක්ෂණය කරන්න පුළුවන්. කිසිම වෙනසක් නැත්නම් බබාගේ සමට කිසිම ආලේපයක් භාවිත කරන්න අවශ්‍ය නැහැ. නමුත් වෙනසක් තියෙනවා නම් පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදේශයක් ගන්න අම්මලාට පුළුවන්. ඊටත් වඩා උපදෙස් අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් පැතිය හැකියි. හැර අලුත උපන්  බබෙක්ට අනිවාර්යෙන් ක්‍රීම් ගාන්න අවශ්‍යයි, අනිවාර්යෙන් පවුඩර් ගෑම අවශ්‍යයි කියලා තත්ත්වයක් නැහැ.

    පවුඩර් හා ක්‍රීම් වර්ග

    නමුත් උත්පත්තියෙන්ම වියළි සමක් සහිතව උපදින බබාලා ඉන්නවා. බබාලට අතිරේකව වියළි සමට ගැළපෙන ක්‍රීම් වර්ග ආලේප කරන්නට සිදුවෙනවා. මෙයට වෛද්‍ය උපදෙස් බොහෝවිට රෝහලේදීම ලැබෙනවා.

    එසේ උපදෙස් නොලැබුණ වියැළි සමක් ඇති බබෙක්ට ගැලපෙන ක්‍රීම් වර්ගයක් තෝරාගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගන්නේ නම් වඩාත් යෝග්‍යයි. මන්දයත් වියැළි සමට ලබා දෙන මොයිෂ්චරයිසිං ක්‍රීම් වර්ගයේ ඝනකම තීරණ කර ගැනීම අවශ්‍ය වීමයි. වියළි සමක් හා සංවේදී සමක් තිබෙන බබාලට සමට ගැළපෙන මෘදු මොයිෂ්චර්රයිසිං ක්‍රීම් වර්ගයක් ආලේප කරන්නට හැකියි. හැර ළමුන්ට ක්‍රීම් වර්ග ගාන්නම අවශ්‍යයි කියලා කිසිම වෛද්‍ය  නියමයක් නැහැ.

    වගේම අධික දහඩිය දාන සමහර බබාලා ඉන්නවා. ඔවුන්ගේ ශරීරයේ නැමුම් ස්ථානවල දහඩිය රැඳීම සිදුවෙන නිසා බිබිලි හා තුවාල ඇති විම වලක්වන්න පවුඩර් වර්ගයක් භාවිත කිරීම අවශ්‍ය වෙනවා. හැර සියලුම ළමයින්ට පවුඩර් ගාන්නට අවශ්‍ය නැහැ.

    පවුඩර් හා ක්‍රීම් වර්ග ගාන්නම හිතෙනවා නම් කළ යුතු දේ මොනවද?

    ෆේස් බුක් ගෘෘප් වල ඉන්න අම්මාලාගෙන් විමසලා, අම්මා කෙනෙක් ලබා දෙන උපදෙස් අනුව තමන්ගේ ළමයට ආලේපන වර්ග තෝරා ගැනීම නම් සිදු නොවිය යුතු දෙයක්. වෛද්‍ය උපදෙස් රහිතවත් මේ නිෂ්පාදන මිලදී ගන්න හැකියාව තිබෙන නිසා  ඔබට වෙළෙඳ පොළෙන් යම් නිෂ්පාදනයක් මිලදී ගැනීමට අවශ්‍යනම් පහත දේවල් අනුගමනය කරන්න පුළුවන්.

    • අපි වෙළෙඳ පොළෙන් ආලේපන හෝ විලවුන් වර්ගයක් මිලදී ගැනීමේදී පැහැදිලිවම පරික්ෂා කර බැලිය යුතු දේවල් කිහිපයක් තිබෙනවා. හොඳ නිෂ්පාදනයක් නම් මේ නිෂ්පාදනය නිෂ්පාදනය කරන ස්ථානයේ ලිපිනය සඳහන් විය යුතුයි. එය විදේශයකින් ආනයනය කරන නිෂ්පාදනයක් නම් එය මෙරටට ගෙන්වා බෙදාහරින සමාගමේ නම හා ලිපිනය වගේම සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයත් සඳහන් කළ යුතුයි.
    • මීළඟට මෙම නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය මොනවද කියන දේ සටහන් කළ යුතුයි. නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය සටහන් විය යුතුයි. මීළඟට මෙම නිෂ්පාදිතය ගබඩා කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් සටහන් කළ යුතුයි.
    • මෙම නිෂ්පාදනය ආලේපනයක් නම් මෙය ආලේප කළ යුත්තේ උදෑසනද, දහවල්ද නැතිනම් රාත්‍රී කාලයේද යන්න සඳහන් විය යුතුයි. එසේම මෙම ආලේපනය භාවිතයට ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතද යන්නත් සඳහන් කළ යුතුයි.
    • මීළඟට මෙම නිෂ්පාදිතය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවූ විට ඇමතිය යුත්තේ කවුරුන්ද කියන එක (whom to contact) සඳහන් විය යුතුයි. මෙය දුරකථන අංකයක්, වෙබ් අඩවියක් හෝ විද්‍යුත් ලිපිනයක් ලෙස හෝ සටහන් විය හැකියි.
    • වාගේම මෙම නිෂ්පාදනය ගබඩා කළ යුතු වන්නේ කුමන ස්ථානයක කුමන උෂ්ණත්වයක් යටතේද යන්න සඳහන් විය යුතුයි. අනෙක් එක තමයි විශේෂ උපදෙස් සටහන් වෙනවාද යන්න බැලිය යුතුයි. විශේෂයෙන් පිටතින් ආලේප කිරීම පමණයි යනුවෙන් සඳහන් කිරීම් බොහොවිට දැකගන්න පුලුවන්. විදේශ රටවල නම් රට කජු වැනි nuts වර්ගවලට ආසාත්මිකතා ඇතිවන අය සිටින නිසා පිළිබඳව විශේෂ සටහනක් යොදා තිබීම දැකගන්නට පුළුවන්.

    මේ දේවල් පරීක්ෂා කර බැලුවත් අවාසනාවකට අපේ රටේ නිෂ්පාදනය කරන නිෂ්පාදන පිළිබඳව අපි බැලුවොත් බොහෝ නිෂ්පාදනවල අඩංගු ද්‍රව්‍ය සඳහන් කර තිබුණත් සත්‍යවශයෙන්ම මෙම අමුද්‍රව්‍ය අඩංගු කර තිබෙනවාද කියන දේ ගැන ගැටලුවක් තිබෙනවා.

    පවුඩර් හා ක්‍රීම් වර්ග

    මන්දයත් අපේ රටේ මේ වගේ නිෂ්පාදනයක් වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නට පෙර අදාළ නීතිමය අංශ විසින් මේ කියන අමුද්‍රව්‍ය එකතුකරනවාද කියන දේ ගැන පරීක්ෂා කර බලනවාද යන ගැටලුව මතු වෙනවා. අඩංගු ද්‍රව්‍ය පිළිබඳ සොයා බලන්න පාරිභෝගිකයාට ක්‍රමයක් නැති වුණත් මේ නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දෙන්නට පෙර ඖෂධ විලවුන් අධිකාරියේ නිලධාරීන් මෙය පරීක්ෂා කළ යුතුයි. නමුත් මේ නිලධාරීන් මේ කටයුතු නිවැරදිව සිදුකරනවාද පිළිබඳ ගැටලු මතු වෙනවා.

    වගේම අපේ රටේ බොහෝ නිෂ්පාදනවල සඳහන් කරනවා විදේශ රටවල පවතින සංවිධානයක නමක් සඳහන් කර එහි අනුමැතිය ලත් නිෂ්පාදනයක් බවට. නමුත් මේ සංවිධාන සත්‍ය වශයෙන්ම එම රටවල පවතිනවාද? එම සංවිධානවලින් සත්‍ය වශයෙන්ම මේ කියන සහතිකය ලබා තිබෙනවාද යන්න ගැටලුවක්.

    ලංකාවේ නිෂ්පාදන ගැන බැලුවම තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ඇසුරුමේ සඳහන් කර තිබෙන අමුද්‍රව්‍ය නිෂ්පාදනයේ නොමැති වීම. අපි මෙහෙම කියන්නේ ලංකාවේ සුදු වෙන්න ආලේප කරන ක්‍රීම් වර්ගවල අඩංගු ක්ලොබෙටසෝල් Clobetasol කියන රසායනිකය අඩංගුයි කියලා කිසිම නිෂ්පාදනයක සඳහන් කර නැති නමුත් බහුතර නිෂ්පාදන වල මේ රසායනික අඩංගු වෙනවා.

    මේ රසායනිකය මගින් පිළිකා පවා ඇති වීමේ අවධානමක් පවතිනවා. වගේම මෑතකදී ළදරු පවුඩර් වර්ගයක ඇස්බැස්ටස් අඩංගු බවට පුවත් පලවූවා. නමුත් මේ නිෂ්පාදනවල අඩංගු ද්‍රව්‍ය ලැයිස්තුවේ ඇස්බැස්ටස් අඩංගු බව සටහන් වූයේ නැහැ. මේ නිසා ළමුන්ගේ සමට යමක් ආලේප කරන්නට පෙර වරක් නොව කීප වරක් සිතා බැලිය යුතුයි.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සංජීවනී ෆොන්සේකා මහත්මිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    නිසංසලා පතිරණ
    නිසංසලා පතිරණ
    දශකයකට ආසන්න කාලයක් පුරා මෙරට ජාතික පුවත්පත් සඳහා විධිමත් හා වැදගත් සෞඛ්‍ය සම්බන්ධ ලිපි සපයමින් පාඨකයාගේ විශ්වාසය ඉහළින්ම දිනාගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමධාරියකි.
    Colombo
    broken clouds
    29 ° C
    29 °
    29 °
    72 %
    2.2kmh
    78 %
    Tue
    31 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    29 °
    Sat
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු