fbpx
More
    31 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවෙකුට පොත් කියවන්න හුරු කිරීම මෙච්චරම වැදගත් ඇයි කියල දන්නවද?

    Family Tech Sponsorspot_imgspot_img

    ළමා සහ යොවුන් සාහිත්‍ය කෘති පිළිබද තොරතුරු ඔබට ලබාදෙන familylife.lk අපි දරුවෙකුට පොත් කියවීමට හුරුකිරීම ගැන ලොකු අවධානයක් යොමු කළේ පසුගිය දා අප පල කළ ඩිජිටල් තිර මගින් ඔබේ දරුවාට වන හානිය ගැන  ලිපියට ලැබුනු ප්‍රතිචාරත් එක්කයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන්, අකුරුවත් නොහඳුනන ළදරුවෙකුට පොත් පත් මිලට ගැනීමෙන් හෝ කියවීමෙන් ඇති පලක් තියෙනවද කියලා.

    එහෙම හිතන ඔබට අපි කියනවා, දරුවෙකුට පොත් කියවන්න හුරු කිරීමෙන් ඔබ නොහිතන තරම් වාසි ඔබේ ළදරුවාට ලැබෙන බව. එවැනි වාසි පිළිබඳ ලියැවුණු මේ ලිපිය කියවීමෙන් පස්සේ නම් පොඩ්ඩාට පොත් පත් අරන් දෙන්න ඔබ දෙවරක් හිත හිත ඉන්නේ නැතිවෙයි කියලත් අපි විශ්වාස කරනවා.

    www.familylife.lk

    පොඩ්ඩට පුළුවන්

    පොතක් පින්තුරයක් බලන්න හෝ කතන්දරයක් අහන්න තරම් දරුවා චූටි වැඩියි කියලා කවදාවත් හිතන්න එපා. විශාල සහ වර්ණවත් පින්තූර දිහා බැලීම වගේම අම්මාගේ තාත්තගේ කටහඬ දිගින් දිගටම ඇසීම මාස 2-3 ළදරුවෙකුට පවා ඉතාම වැදගත් බුද්ධි වර්ධක ක්‍රියාකාරකමක් වෙනවා.

    පොත් තියෙන්නේ කියවන්න, පින්තුර බලන්න කියන මූලිකම අදහසත් වචන රටාව, රිද්මය, වචන කියවන ස්වරූපය, හඬේ උස්පහත් බව වගේ දේවල්  විතරක් නෙවෙයි පොතක පිටුවක් පෙරළීම, වමේ සිට දකුණට කියවීම වගේ දේවල් පවා කාලයත් එක්ක දරුවා නිවැරදිව ඉගෙනගන්නවා.

    මේ සඳහා වචන තියෙන පොත් අවශ්‍ය වෙනවා කියලා අපි කියන්නේ නෑ. පින්තූර පමණක් ඇති පොත් අරන් පින්තුර පෙන්වමින් කතන්දර හදලා කියන්න වුණත් පුළුවන්කම තියෙනවා. කාලයක් තිස්සේ මේ දේවල් කරනකොට දරුවා පොත්වලට හුරුවෙන්නත් යම් යම් ධනාත්මක ප්‍රතිචාර දක්වන්නත් පටන් ගන්නවා.

    www.familylife.lk

    හිතෙන දේවල් කියන්නේ මෙහෙමයි

    තමන්ගේ හැඟීම් සන්නිවේදනය කරන්න දරුවට වචන අවශ්‍ය වෙනවා වගේම  දරුවාට දිනපතා ඇහෙන වචන ප්‍රමාණය සහ දරුවාගේ සන්නිවේදන හැකියාව අතර සෘජු සම්බන්ධයක් පවතිනවා. නිසි විදියට කතා කරන්න බැරි වුණත් කතා කරන්න අවශ්‍ය සෑම වචනයක් වයස අවුරුද්දක් වෙනකොට දරුවා ඉගෙනගෙන තියෙන බව පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා. දරුවට ඇහෙන්නට පොත් පත් කියවීම මේ කාරණයේ දී විශාල පිටුවහලක් වෙනවා.

    වගේම දරුවෙකුට පොත් පත් කියා දෙන මවුවරුන්ගේ දරුවන්ට අනෙක් දරුවන්ට වඩා සාරවත් වාග් මාලාවක් හිමිවෙන බවත් හොයාගෙන තියෙනවා. තමන්ගේ හැඟී ප්‍රකාශ කරන්න අවශ්‍ය වචන අනුකරණය තුලින් වගේම පින්තුර හඳුනාගැනීම මගිනුත් ඉගෙන ගන්න දරුවා පෙළඹෙනවා.   

    අම්මගෙයි තාත්තගෙයි ආදරේ..

    ඕනෑම ළදරුවෙක් වඩාත්ම ප්‍රිය කරන්නේ තමන්ගේ අම්මගේ තාත්තගේ ආදරය, සෙනෙහස සහ අවධානය උපරිමයෙන් හිමිවෙනවට. වගේම අම්මට තාත්තට තුරුළු වෙලා ඉන්නවා තරම් සැනසීමක් වෙන කිසිම දෙයකින් දරුවෙකුට ලබාගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නෑ. ඉතින් දරුවා තමන්ගේ ළයට තුරුළු කරගෙන පොතක් පෙන්වමින් කතන්දරයක්, සින්දුවක් කියාදීම තමන්ගේ හිතේ ඇති දරු සෙනෙහස පෙන්වන්න හොඳම ක්‍රමයක් විදියට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා.

    දරුවෙකුට පොත්

    කියවීම විනෝදයක්

    කුඩා දරුවන් ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම මේ වෙනකොට ලෝකේ පුරාම ඉන්න මව්පියන්ට විශාල ගැටළුවක් බවට පත්වෙලා තියෙනවා. දරුවාගේ බුද්ධි වර්ධනයට ඉතාමත් අහිතකර විදියට බලපාන මේ පුරුද්ද දරුවන් තුළ මුලින්ම රෝපණය  කරන්නෙත් මව්පියන් වීම අවාසනාවන්ත තත්ත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්.

    හැබැයි පොත පතට ඇබ්බැහි වුණ අම්මලා තාත්තලා නිරායාසයෙන්  තමන්ගේ දරුවොන්ටත් මේ දායාදය ලබා දෙනවා. පසුකාලීනව මේ දේ දරුවාගේ ප්‍රියතම විනෝදාංශය වීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩියි. අතට අහුවෙන පත්තර කෑල්ල පවා කියවන්න පෙලඹෙන මේ දරුවන් කාලයත් එක්ක දැනුම් ආකරයක් බවට පත්වෙනවා.

    භාෂා විශාරද

    දරුවෙකුට තමන්ගේ මව් භාෂාවට අමතරව වෙනත් භාෂා උගන්වන්නත් පොත්පත් කියා දීම විශාල පිටුවහලක් වෙනවා. ලංකාවේ අපි නම් ගොඩක්ම උනන්දු වෙන්නේ සිංහල/දමිළ භාෂාවන්ට අමතරව ඉංග්‍රීසි භාෂාව උගන්වන්න තමයි. මේ ක්‍රමයේ දී ප්‍රයෝජනවත් වෙන වටිනා ඉංග්‍රීසි ළමා කතා පොත් මේ වෙනකොට උවමනා තරම් වෙළද සල්වල දකින්නට ලැබෙනවා.

    www.familylife.lk

    බබා අවධානෙන්

    දරුවාගේ පළමු තුන් වසරේ සංවර්ධනය පිළිබඳව මව්පියන් ඉතාමත් දැනුවත්ව සහ සැලකිල්ලෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ පුද්ගලයෙක්ගේ මොළයේ 80% පමණ ප්‍රමාණයක් ඉපදිලා මුල් අවුරුදු 3 ඇතුළත වර්ධනය වෙන නිසයි. වෙනත් විදියකින් කිවොත් ස්පොන්ජ් එකකට වතුර උරාගන්නවා වගේ මේ කාලයේදී දරුවා තමන් අත්විඳින දේවල් ඔලුවට දාගන්නවා.

    මේ කාලය තුලදී පොත් පත් ආශ්‍රය කරන දරුවාට තමාගේ අවධානය එක තැනක රදවා ගැනීමේ හැකියාව සහ මතක ශක්තිය කියන වටිනා හැකියාවන් උරුම වෙනවා. ඉතා කුඩා අවධියේ දීම කතන්දර පොතක් කියල දෙන විනාඩි 10-15 තුළදී එයට නිසි  අවධානය යොමු කිරීමේ හැකියාවත්, සිදුවීම් සහ චරිත මතක තබා ගැනීමේ හැකියාවත් ලබාගන්නවා විතරක් නෙවෙයි,  වයසත් එක්ක දරුවා  මේ හැකියාව දියුණු කරගන්නත් සමත් වෙනවා. 

    මේ දේ අධ්‍යාපනය ලබන කාලය වෙනකොට කොයි තරම් අත්‍යවශ්‍ය වෙනවද කියන කාරණය වැඩිහිටි ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති කියලා අපි හිතනවා.

    ෆැන්ටසිය සහ රියැලිටිය 

    සාර්ථක ජිවිතයක් ගතකරන්න නම් යථාර්ථයත් මායාවත් අතර වෙනස හඳුනාගැනීමට හුරු වීම අත්‍යවශ්‍ය වෙනවා. මේ හැකියාව නොමැති වීම නිසා වල්මත් වෙන තරුණ වැඩිහිටි ජිවිත ඕනෑ තරම් සමාජයේ දකින්නට ලැබෙනවා. හැබැයි පොත පත ඇසුරු කරන්න හුරු වෙන දරුවට මේ හැකියාව නිරායාසයෙන්ම ඇතිවෙනවා. තවත් විදියකින් කිවොත් මේ හැකියාව දරුවා තුල ඇති කරවන්න බුද්ධිමත් මව්පියන් සමත්වෙනවා.

    www.familylife.lk

    IQ මාස්ටර්

    දරුවෙකුට පොත් කියවන්න හුරු කිරීමෙන් පසුව කාලයත් එක්ක දරුවා දැනුම පිපාසිතයෙක් බවට පත්වෙනවා. පාසල් අධ්‍යාපනය ලබන වයසට ආවම මේ කාරණය දරුවාට ඉතාම සුබවාදී බලපෑමක් තමයි ඇති කරන්නේ.

    එකිනෙකට වෙනස් මාතෘකා පිලිබඳව ඇතිවන කුතුහලය සහ විස්තර සෙවීම, ප්‍රශ්න ඇසීම වගේ කාරණා දරුවෙකුට කවදාවත් අයහපතක් නම් කරන්නේ නෑ. වගේම වර්ණ, අකුරු, ඉලක්කම්, හැඩතල වගේ දරුවෙක් දැනුවත් විය යුතු අංශ ගැන විනෝදාත්මක විදියට කියලා දෙන්නට පුළුවන් වීමත් විශාල වාසියක් වෙනවා.

    සාධාරණ බබා

    දරුවෙක් තුල කුඩා අවධියේ සිටම ඇති කල යුතු ඉවසීම, කාරුණික බව, සානුකම්පිත බව, බෙදාහදා ගැනීම, උපකාර කිරීම, සත්තුන්ට සහ පරිසරයට ආදරය කිරීම, සාධාරණත්වය වගේ යහපත් ගුණාංග වගාවට හොදම ක්‍රමයක් විදියට පොත් පත් පෙන්වන්න පුළුවන්කම තියෙනවා.

    දරුවෙකුට පොත්

    වටිනාම දේවල් ලැබෙන්නේ පොත පතිනි

    පුද්ගලයෙකුට තියෙන වටිනාම හැකියාවක් විදියට පරිකල්පන ශක්තිය සහ නිර්මාණශීලි බව පෙන්වන්න පුළුවන්. කෙනෙක්ට මේ හැකියාව විවිධ ක්‍රමවලින් උරුම වෙන්න පුළුවන්. මේ නිර්මාණශීලිත්වය ඇතිවෙන්න ප්‍රධාන ක්‍රමයක් විදියට කුඩා අවධියේ පොත් පත් පරිශීලනය කිරීම පෙන්වන්න පුළුවන්. 

    විශේෂයෙන්ම පින්තුර පොත් ඇසුරෙන් කතන්දර නිර්මාණය කිරීම, ඊලඟ සිදුවීම උපකල්පනය කිරීම, කතාන්දරය ගැන වෙනස් ආකාරයකට සිතීම වගේ දේවල්වලින් මේ හැකියාව දියුණු වෙනවා කියලා කියන්න පුළුවන්.


    ඔබ වැනිම පොතට පතට ආදරය කරන, දැනුමට, රසවින්දනයට ප්‍රියකරන තවත් අයෙකුගේ යහපත වෙනුවෙන් පහත මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    31 ° C
    31 °
    31 °
    68 %
    5.2kmh
    62 %
    Fri
    31 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු