පවුලට නිසි සැලසුමක්…ජීවිතයට නිති සහනයක්…

Familylife.lk අපි නිරන්තරයෙන් උනන්දුවන්නේ ඔබේ පවුලට දැනුමක්, වටිනාකමක් එකතුකරන්නයි. සරලව, සතුටෙන් ජීවත් වන පවුලක් කියන්නෙ සැමට ආදර්ශයක්. ගමට, රටට වගේම නෑදැයන්ට හිතවතුන්ටත් බරක් නොවී තමන්ගේ යුතුකම් සිය පවුලට ඉටුකළ හැකි සාර්ථක මිනිස් කුලකයක්. එම නිසාම අද අපි කථා කරන්නෙ එවැනි පවුලක සාර්ථකත්වයේ එක් රහසක් ගැන. ඒ පවුල් සැලසුම් ක්‍රමවේදයන් මගින් සතුට රජයන පවුලකට මග කියන්නෙ කොහොමද කියන කාරණයයි.

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව ඔබ දැනුවත්ද?

පවුලක සතුට සමගිය රඳා පවතින්නේ පවුලක් නිසියාකාරයෙන් සැලසුම් කළහොත්ය. පවුලක් සැලසුම් කිරීම මගින් තමන්ට අවශ්‍ය කාලයට නිසි පරතරයක් ඇතිව අවශ්‍ය දරුවන් සංඛ්‍යාව ලබා ගත  හැකිය.

පවුලක් සැලසුම් කිරීමට භාවිත කළ හැකි ක්‍රම

  • තාවකාලික පවුල් සැලසුම් ක්‍රම
  • ස්ථීර පවුල් සැලසුම් ක්‍රම

පවුල් සැලසුම් සඳහා යොදා ගන්නා තාවකාලික ක්‍රම දෙයාකාරයකි. එනම්,

  • හෝමෝනමය ක්‍රම
  • හෝමෝන නොවන ක්‍රම
පවුල් සැලසුම් සඳහා යොදාගන්නා හෝමෝනමය ක්‍රම අතුරෙන් ඉතා ජනප්‍රිය ක්‍රමයක් වන පවුල් සැලසුම් ගිලින පෙති පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි මේ සුදානම

පවුල් සැලසුම් පෙති වර්ගවල ක්‍රියකාරිත්වය ගැන ඔබ දන්නවාද?

ශ්‍රී ලංකාවේ භාවිත වන පවුල් සැලසුම් ගිලින පෙතිවල ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටජන් යන හෝමෝන අඩංගු වේ. මේවා කාන්තාවකගේ සිරුරේ ස්වාභාවිකවම ඇති හෝමෝනවලට සමානය. එහෙයින්  උපත් පාලන පෙති වර්ග නිසා  හානියක් විය හැකි බවට ඇතැමුන් තුළ පවතින මතය මිථත්‍යාවකි. මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන FSH සහ LH හෝමෝන මගින් ඩිම්බ කෝෂ තුළින් ඩිම්බ නිකුත් කිරීම උත්තේජනය කරයි.

පවුල් සැලසුම් ගිලින පෙති මගින්

  • මූලිකවම FSH සහ LH හෝමෝන නිශේධනය මගින් ඩිම්බ කෝෂ තුළින් ඩිම්බ නිකුත් වීම වැළැක්වීමයි.
  • ගැබ්ගෙළ ශ්‍රාවයන්වල උකුගතිය වැඩි කිරීම මගින් ශුක්‍රාණුවලට පිහිනා ගර්භාෂය තුළට ඇතුළු වීමට ඇති හැකියාව අඩු කරයි.
කෙසේ වුවත් අනෙක්  ඕනෑම පවුල් සැලසුම් ක්‍රමයක් මෙන්ම ගිලින පෙතිද අසාර්ථක වීමේ ඉතා කුඩා අවදානමක් පවතී

උපත් පාලන ගිලින පෙති පාවිච්චි කළ හැක්කේ කාටද?

  • තම පළමු දරු උපත පමා කිරීමට අදහස් කරන කාන්තාවන්ට
  • ළමුන් අතර පරතරය තබා ගැනීමට අදහස් කරන/තම පවුල සම්පූර්ණ කර ඇති කාන්තාවන්ට
  • නිතර ලිංගිකව එකතු නොවන අයට ගිලින පෙති භාවිතය සුදුසු නමුදු ඔවුන් දිනපතා නොවරදවා පෙත්තක් බැගින් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
  • වෛද්‍යමය සංකූලතා නොමැති නම් ඕනෑම වයසක පසුවන කාන්තාවන්ට
එහෙත් වයස 40 ඉක්ම වූ කාන්තාවකට පවුල් සැලසුම සඳහා ගිලින පෙති භාවිතය එතරම්ම සුදුසු ක්‍රමයක් නොවේ. වෙනත් පවුල් සැලසුම ක්‍රම භාවිත කළ නොහැකි නම් හෝ කාන්තාව වෙනත් ක්‍රමයක් භාවිත කිරීමට අකමැති නම් පවුල් සැලසුම් ගිලින පෙති භාවිත කිරීම යෝග්‍ය වන අතර ඔවුන් සඳහා එය දෙවන ගණයේ ක්‍රමයක් (Category 2) ලෙසින් සැලැකේ.

ගිලින පෙති භාවිතයට වෛද්‍ය උපදෙස් අවශ්‍යමද?

පහත තත්ත්වයන් ඇති කාන්තාවන් ගිලින පෙති ආරම්භ කිරීමට ප්‍රථමව සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. ඔවුන් සඳහා ගිලින පෙති සුදුසු ක්‍රමයක් නොවිය හැකිය.
  • අධික රුධිර පීඩනය ඇති කාන්තාවන්
  • ගැඹුරු ශිරා (DTV) තිබෙන හෝ අතීතයේ තිබුණු කාන්තාවන්. (DTV, පාද වැනි අවයවවල ගැඹුරින් පිහිටා ඇති ශිරාවල ඇති වන රුධිර කැටි නිසා එම අවයවවල තදබල වේදනාවක් ඇතිවේ.
  • හෘදයේ හෝ මොළයේ රුධිර නාල අවහිර වීම් ඇති කාන්තාවන් (ආඝාතය , රුද්ධරක්තක කන්තුක රෝගIschaemic heart disease)
  • සංකූලතා සහිත හෘද කපාට රෝග ඇති කාන්තාවන්
  • අධික රුධිර පීඩනය දියවැඩියාව වැනි වෛද්‍යමය තත්ත්වයන් තිබෙන අවුරුදු 40 වැඩි කාන්තාවන්
  • නීලංකාරය සමග ඇති ඉරුවාරදය ඇති කාන්තාවන්
  • සංකූලතා සහිත දියවැඩියාව හෝ අවුරුදු 20කට වඩා පවතින දියවැඩියාව ඇති කාන්තාවන්
  • අක්මාවේ රෝගාබාධ, පියයුරු පිළිකාව, දිගු කලක් එක තැන සිටීමට සිදුවිය හැකි තත්ත්වයන් ඇති කාන්තාවන්
  • අධික තරබාරුව ඇති කාන්තාවන්
  • ඇතැම් ඖෂධ භාවිත කරනකාන්තාවන්. (අපස්මාරය)
  • ඇතැම් ගර්භාෂ පිළිකා සඳහා වන ඖෂධ භාවිත කරන කාන්තාවන්
  • මීට අමතරව මාස 6කට අඩු ළදරුවන් සිටින කිරි දෙන මවකට හෝ ගර්භණී බව පිළිබඳව සැකයක් ඇති මවකට ගිලින පෙති ලබා නොදේ.

 

මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව එස් පී ගොඩකන්ද මහාතා දැක්වූ සහයෝගයට ෆැමිලිලයිෆ් අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට කාරුණික වන්න.


මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.