දෙදෙනෙක් විවාහ වීමෙන් පස්සේ ඒ දෙන්නා අයත්වෙන්නේ එකම කණ්ඩායමකට. විවාහයෙන් පස්සේ එන ගැටළු, වගකීම්, දුක,සැප හැමදේකටම එක පාර්ශවයක් විදියට මුහුණ දෙන විදිහ අද අපි familylife.lk ෆැමිලි ටුඩේ තුළින් කතා කරමු.
අපි කළින් ලිපියෙන් කතා කළා දෙදෙනා එකම කණ්ඩායමක් විදියට නොසිතා වගකීම් නිසි පරිදි බෙදා නොගෙන වැඩ කරනකොට පවුලක් තුළ ඇතිවෙන ගැටළු ගැන. බොහෝ විට වෙන්න පුළුවන් නරකම දේ තමයි පවුල කැඩී බිදී යෑම. විවාහයකදී විශ්වාසය, අවබෝධය සහ ලිංගික අවශ්‍යතා තරමටම මේ කියන වගකීම් බෙදීයාමත් වැදගත් වීම මෙයට හේතු වෙනවා. අපේ ලිපි මාලාවේ තුන්වැනි ලිපියෙන් අපි කතා කරන්නේ පවුලේ වගකීම් සහ රාජකාරි අඹු සැමියන් අතර බෙදා ගැනීමේදී අවධානය යොමු කරන්න ඕනි කරුණු කාරණා ගැන.
මුළින්ම පැරණි ක්‍රමය, ඒ කියන්නේ කාන්තාව නිවසේ ඉහුම් පිහුම්, දරුවන්ගේ රාජකාරී සහ පිරිසිදු කිරීම් යනාදිය කළ යුතුයි කියන කරුණත් පිරිමියාට ඒ රාජකාරි අදාළ නැත කියන කරුණත් බැහැර කරලා වගකීම් බෙදා හදා ගන්න හොද මානසික සූදානමක් ඇති කරගන්න වෙනවා. එහෙමත් නැත්තන් “ගෑනු වැඩ හෝ පිරිමි වැඩ” වගේ දේවල් අමතක කරලා තැනේ හැටියට ඇණේ ගහන්න දෙන්නා දෙමහල්ලොන්ට පුරුදුවෙන්න වෙනවා.
මවට වඩා සෙනෙහසින් සැළකිල්ලෙන් දරුවන් රැක බලා ගන්න සහ රස අහර පිසින පියවරුත්, එකී කරුණුවලට වඩා දුව පැන ඇවිදිමින් අනෙකුත් කටයුතු කළමනාකරණය කරන මව්වරුත් අද කාලේ දකින්න ලැබෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේක හදුන්වන්නේ එකිනෙකා වටහාගැනීම කියලා.
මුදල් කළමනාකරණය, සාප්පු සවාරි, පිරිසිදු කිරීම්, දරුවන්ගේ වැඩ කටයුතු, ආහාර පිසීම, නිවාස නඩත්තුව, විනෝදාස්වාදය වගේ අටෝරාශියක් වැඩ රාජකාරි ඉටුකිරීමේදි තමන්ට ඇතිවන ගැටළු විවෘතව සහ අවංකව කතා කිරීමෙනුත් සැලසුම් කරගැනීමෙනුත් බලාපොරොත්තු බිද වැටීම සහ අනවශ්‍ය ගැටළු පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්නා අතර සංයමයකින් යුතු සහ අනෙකාගේ සිතැගියාවන් වටහාගත් ගෞරවනීය සන්නිවේදයක් තිබීමත් එමගින් ඇතිවෙන නම්‍යශීලී භාවයත් දෙදෙනාටම එකගවිය හැකි අන්දමේ කාලසටහනක් සහ වැඩසටහනක් නිර්මාණය කරගන්න උදව්වක් වෙනවා. එහිදී දෙදෙනාගේ හැකියාවන්, ශක්තීන් සහ දුර්වලකම් හදුනාගැනීම වඩා ඵලදායි සැලැස්මක් සදා ගැනීමට ඉවහල්වෙනවා.
මේ සැලසුම නිර්මාණය කරගැනීමේදී විශේෂයෙන්ම සළකා බලන්න ඕනි තමන්ට පහසු සහ ගැටුම් අවම වෙන ක්‍රම සහ විධි පිළිබදව . පවුලට පරිබාහිර නෑදෑයන් ,හිත මිතුරන් හෝ වෙනත් බාහිර පාර්ශවයන් සහ ඔවුන්ගේ වත් පිළිවෙත් මදකට අමතක කරලා මේ සැලසුම් හදා ගත්තොත් විශාල මානසික ආතතියකින් මිදෙන්න ඉඩප්‍රතස්තාව ලැබෙනවා.
එහිදී මූලිකවම අවධානය යොමු කළ යුතු දෙය වන්නේ අවශ්‍යතාවයන්ගේ සහ රාජකාරිවල ප්‍රමුඛතාවය කියන කාරණය. විවාහයෙන් හෝ මව්පියන් බවට පත්වීමෙන් කාලයක් ගතවූ පසු මේ ප්‍රමුඛතාවයන් හදුනාගැනීම පහසු වෙනවා. පවුලේ රාජකාරිවල ප්‍රමුඛතාවයන්ගේ අනුපිළිවෙල දෙදෙනාගේම සිතැගියාවන් පිළිබදව සළකා බලා ගොඩනගන එකත් අත්‍යවශ්‍ය කරුණක්.
එකිනෙකාගේ රැකියාවේ ස්වභාවය, වැඩ කටයුතු කරන පිළිවෙල සහ වේගය කියන සියල්ලක්ම පිළිබදව සළකන්න සිදු වෙනවා. තමන්ට ඉදිරි දිනවලදී ඉටු කිරීමට ඇති විශේෂ රාජකාරි, හමුවීම්, උත්සව, දරුවන් සම්බන්ධ විශේෂ අවශ්‍යතා ,නිවසේ කිරීමට ඇති විශේෂ කටයුතු සහ එදිනෙදා ජීවිතයේ සාමාන්‍යෙන් ඉටු කිරීමට ඇති වැඩ කටයුතු මේ ප්‍රමුඛතා ලැයිස්තුවට තමන්ට අවශ්‍ය විදියට ඇතුළත් කරගැනීමට ඉඩ තියෙනවා.
මේ සැලසුමේ සාර්ථකත්වය වැඩි වෙන්න නම් දෙදෙනාම එකම ශරීර ඔර්ලෝසුවක් (Biological Clock) අනුව ක්‍රියා කිරීම වැදගත් වෙනවා. තවත් විදියකින් කීවොත් එක් අයෙක් රාත්‍රිය නින්දටත් දිවා කාලය සාමාන්‍ය පරිදි ක්‍රියාකාරී වීමටත් අනෙත් කෙනා දිවා කාලය නින්දටත් රාත්‍රිය වැඩ රාජකාරීවලටත් වෙන් කිරීම පුරුද්දක් නම් දෙදෙනාට ගැටළුකාරී තත්වයකට මුහුණ දෙන්න වෙනවා. එකිනෙකාගේ රැකියාවල ස්වභාවය අනුව මෙවැනි තත්ත්වයන් ඇති වුවත් කාල කළමනාකරණය කර ගැනීම සැලසුමේ සාර්ථකත්වයට විශාල වශයෙන් බලපානවා.
සැලස්ම ක්‍රියාත්මක කිරිම ආරම්භ කළ පසු එකිනෙකාගෙන් මගහැරීම්, වැරදීම් සිදුවීම නිරායාසයෙන්ම සිදුවිය හැකියි. නැතහොත් යම් යම් රාජකාරි ඉටු කිරීම පිළිබදව අරුචිකම් හෝ මැසවිලි නැගීම් ඇතිවිය හැකියි. සතියට එක පැයක් හෝ වැය කරමින් පවුලේ රැස්වීමක් පැවැත්වීමෙන් පසු මේ ගැටළු පිළිබදව සාකාච්ඡා කිරීම, විසදාගැනීම, හෝ සැලසුම් පුනරුත්ථාපනය කිරීමටත් එකිනෙකා පැසසීමටත් නමය්‍යශීලී වීම වඩාත් ඵලදායි වෙනවා.
දිනපතා ඉටු කළ යුතු කාර්‍යන්, සතිපතා ඉටුකළ යුතු කාර්‍යන් සහ මාස්පතා ඉටු කළ යුතු කාර්‍යන් පිළිබදව අවබෝධයක් ලබා ගැනීම තුළින් අනවශ්‍ය පීඩනයක් එල්ලවීම වැළකීම, නිවසේ වැඩ කටයුතුවල මනා සංවිධානාත්මක බවක් ඇති වීම වගේම කාලය ඉතිරිකරගැනිමටත් ඉඩ සළසනවා. මෙහිදී තම තමන්ගේ ආර්ථික ශක්තිය අනුව බාහිර පාර්ශව වලින් සේවා ලබාගැනීමද නිවසේ කටයුතු පහසු කරවනවා වගේම එම සේවා සපයන්නන් නිරන්තරයෙන් සැසදීම මගින් වඩා වාසිදායක සහ ගුණාත්මක සේවා සපයන්නන් තෝරා ගැනීමටත් මුදල් ඉතිරිකරගැනීමටත් ඉඩ ලැබෙනවා.
දරුවන් රැක බලා ගැනීම යන කරුණේදී විශේෂයෙන්ම එක් පාර්ශවයකට පමණක් වැඩි බරක් දීම එතරම් සාධාරණ නොවේ. පවුල් ජීවිතයක වඩාත්ම අවධානයක් සහ ප්‍රයත්නයක් දැරිය යුතු වන මෙම කාර්යය වෙන් වෙන්ව ඉටු කළ යුතු කරුණක් ලෙස නොසැලකීම වර්තමාන ජීවන රටාවට වඩාත් ගැළපේ.
පුරුෂ මූලික සමාජයක් යන කරුණ බැහැර කර කටයුතු කොට දෙදෙනාට පහසු ආකාරයට වගකීම් බෙදා ගැනීම තමන්ට ගැළපෙන අයුරින් සිදු කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් පියා නිවසේ රැදී සිටිමින් අර්ධකාලීන රැකියාවක් කිරීමත් මව පූර්ණකාලීන රැකියාවක් කරමින් වැඩි වැටුපක් ඉපයීමත් අමුත්තක් නොසළකා තමන්ට සහ පවුලට හොදම දේ තෝරාගැනීම පහසුවක් වෙන්න ඉඩ තියෙනවා.
ඒ වගේම දරුවන් නිවසේ වැඩ කටයුතුවලට සහභාගි කරවගැනීම සෑම අතින්ම ප්‍රයෝජණවත් දෙයක් වන්නේ එය දරුවන්ගේ බුද්ධි වර්ධය, වගකීම් දැරීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව වැනි දෙයට මෙන්ම පසුකාලීනව වඩා සාර්ථක ජීවිතයක් ගත කිරීමටත්, මව්පියන්ට විශාල අස්වැසිල්ලක් වීමටත් හේතුවක් වන නිසාවෙනි.
සේවා ගාස්තු පියවීම, ජීවිත රක්ෂණ, බුදු ගෙවීම, බැංකු ගිනුම්, අය වැය වගේම නිවසේ එදිනෙදා පරිහරණය කරන ආහාර ද්‍රව්‍ය හිස් වීම පිළිබදව පවා දෙදෙනාම අවධානයකින් සිටීම රාජකාරි මග නොහැරීමට හේතුවක් විය හැකියි. වෙනත් විදියකින් කීවොත් නිවසේ සිදුවන සෑම කටයුත්තක් පිළිබදවම දෙදෙනාම යම් අවබෝධයකින් පසු වීමත් වැදගත් වෙනවා. එක් ආකාරයකින් මෙය ජීවිතයේ මුහුණදීමට සිදුවිය හැකි අනපේක්ෂිත සහ විශාල වෙනස්කම් සදහා පෙර සූදානමක් වීම නිසාත් දීර්ඝකාලිනව බලපාන අනතුරු, ජීවිත හානි වැනි සිදුවීම්වලදී ඇතිවන අපහසුතාවයන්ට පිළියමක් ද වෙනවා නිසැකයි. එක් අයෙකුගේ අහිමි වීමෙන් වුවත් අනෙකාගේ ජීවිතය අසීරුවකින් තොරව ගලා යෑමට එය පිටුවහලක් සහ සිතට සහනයක් ගෙන දෙනවා ඇත.
විවේකයක් ලැබීම ඕනෑම පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය ම කරුණක් ලෙස සළකා අනෙකාගේ නිදහසට ගරු කිරීමෙන් පවුලක වගකීම් ඉටු කිරීම හිසරදයක් නොවෙන්නට ඉඩ තියෙනවා. දෙදෙනාම එක්ව හෝ වෙන් වෙන්ව තමන්ගේ හිත මිතුරන් හා යම් කාලයක් ගත කිරීම ,දරුවන් හා විනෝදයෙන් කාලය ගත කිරීමට පිටතට යෑම වැනි දෙයට කාලය වෙන් කිරීම වඩා කාර්යක්ෂම ජීවන රටාවකට උදව්වක් වෙනවා.
මේ වගේ සැලැස්මක් ක්‍රියාවට නැංවීමේදී දැනගෙන ඉන්න අවශ්‍ය වෙන වැදගත් පියවර ටිකක් එක්ක අපි තවත් ලිපියකින් ඉදිරියේදී හමු වෙමු.