පෙරපාසලේදී කලහාකාරීව හැසිරෙන දරුවන් ඇති දෙමවුපියන් දැනගත යුතු දේ ලෙස familylife.lk අප ෆැමිලි ටුඩේ තුළින් කතා බහට ලක් කිරීමට සූදානම් වන්නේ, පෙරපාසල් පරිසරයේ ගුරුවරුන්ගේ සහ අනෙක් දරුවන්ගේ ක්‍රමයට හැඩ නොගැසී දිගින් දිගටම කලකෝලාහල කරන්න පෙළඹෙන පොඩ්ඩෝ ඉන්න අම්මලාට යම් පිළිසරණක් විය හැකි කරුණු කීපයක් පිළිබඳවයි.
වයස අවුරුදු 3ක් 4ක් වෙනකොට ළදරු පාසලට ඇතුළත් වෙන පොඩ්ඩෝ මුල් දවස් කිහිපය තුළ කලබලකාරී බවක් පෙන්වන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. සමහර දරුවෝ නිහඬව ලජ්ජාශීලිව ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඒ පරිසරයට හුරුවෙනවා.
තවත් සමහරු මේ වෙනස එකපාරටම දරාගන්න බැරිව මුල් දවස් කීපයේ කලහාකාරී විදියට හැසිරිලා හිමින් සැරේ සන්සුන් වෙනවා. එත් කාලයත් එක්කම සන්සුන් නොවී දිගින් දිගටම කලබලකාරී ලෙස හැසිරෙන දරුවන් ඇති අම්මලා මේ ප්‍රශ්නයේදී ගොඩක් අසරන වෙනවා.
නමුත් මේ ලිපිය සම්පූර්ණ වශයෙන්ම දරුවාගේ පැත්තට වාසි වෙන විදියට තමයි ලියවිලා තියෙන්නේ. මොකද අපි විශ්වාස කරන විදියට හැසිරීමේ ගැටළු (behavioral problems) කියන දේවල් දරුවෝ උපතින් අරන් එන දේවල් නෙවෙයි.
ඔටිසම් එහෙමත් නැත්නම් අධි ක්‍රියාශීලිත්වය ( ඔටිසම් පිළිබඳ සැකසුනු වීඩියෝ මෙතනින් බලන්න ක්ළික්/ටැප් කරන්න ) වගේ තත්ත්වයකදී මේ කියන කාරණය වෙනස් වෙන්න ඉඩකඩ තිබ්බත් තමන්ගේ දරුවා එවැනි තත්ත්වයකින් පසුවෙනවානම් පෙර පාසල් වියට කලින් එය හඳුනාගැනීමත් මව්පියන්ගේ වගකීමක් වෙනවා.
ඒ කියන්නේ දරුවා තුල යම් ගැටලුකාරී හැසිරීමක් තියෙනවනම් එය හඳුනාගෙන පිළියම් යෙදීමේ මූලික වගකීම මව්පියන් සතුවෙනවා. දරුවෙක් නිවසේදී/ පෙරපසලේදී/ පාසලේදී කලබලකාරී විදියට හැසිරෙන්න කරුණු ගණනාවක් බලපානවා.
-
කුසගින්න, වෙහෙස සහ ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවය දැනුණත් ඒ දේ නිවැරදිවම නොතේරෙන අවස්ථාවල.
-
යම් කරුණක් ගැන හිතේ කරදරෙන් සහ බයෙන් පසුවෙන අවස්ථාවල ඒ දේ වචනවලට හරවන්නේ නැතුව කලහකාරීව හැසිරීම.
-
රූපවාහිනී වැඩසටහනක චරිතයක්, අසල්වැසියෙක්, ඥාතියෙක්, මිතුරෙක් හෝ සමහර විට තමන්ගේම මව්පියන් අනුකරණය කරමින් ප්‍රචණ්ඩකාරී විදියට හැසිරීම.
-
කෝපයෙන්, ඉච්ඡා භංගත්වයෙන්, කළකිරීමෙන් හෝ දුකින් පසුවන අවස්ථාවල.
-
කුතුහලය නිසා ඇතිවෙන ගවේෂණය කිරීමේ ආශාව හේතුවෙන්.
-
තමන්ට තහනම් දේවල් වගේම කිරීමට අවසර ඇති දේවල් සහ සීමාව කියන සංකල්පය ගැන ඇති අනවබෝධය, වැඩිහිටියන් විසින් සීමාවන් ගැන නිවැරදි අවබෝධයක් ලබා නොදෙන අවස්ථාවල සහ සීමාවන් වරින් වර වෙනස් කරන අවස්ථාවල දරුවා තුළ ඇතිවන අනවබෝධය නිසා.
-
අපහසු ඇඳුමක්, මේස් සපත්තු, අකමැති හෝ අපහසුදායක ආහාරයක් වැනි දෙයක් නිසා.
-
දරුවාට අදාළ සිදුවීම් නිතර වෙනස් වී නොගැළපීම් ඇතිවෙනකොට ඒ දේ වටහාගැනීමට අපහසු වීම සහ අවිශ්වාසයක් හා අනාරක්ෂිත බවක් දැනෙන නිසා.
-
කායික සහ මානසික නිදහසත්, විවේකයත් වැඩි වශයෙන් අවශ්‍ය දරුවා අනවශ්‍ය විදියට කුමන හෝ හේතුවක් නිසා දැඩි පීඩනයකට පත් වීම.
-
ශක්තිමත් සන්නිවේදන හැකියාවක් නොමැති වීම මේ ගැටලුවට ප්‍රධාන හේතුවක් වෙනවා. තමන්ට හැඟෙන දේ වචනවලට පෙරළාගන්න නොහැකි වුණාම සහ ගුරුවරයා හෝ මව්පියන් ඒ දේ නිවැරදිව වටහාගත්තේ නැති වුනාම දරුවා කලබලකාරී විදියට හැසිරෙනවා.
-
අතහැර දැමූ ගතියක්, අවධානය මදිකමක්, අනාදරයට පත්වූ බවක් දැනෙනවිට කලබල කිරීම මඟින් අන් අය සමඟ සම්බන්ධයක් ගොඩනඟා ගන්න උත්සහ කරන අවස්ථාවල වගේම දරුවාට වැඩිහිටියන්ගේ ආදරය පරික්ෂා කිරීමට අවශ්‍ය වූ විටත් කලහකාරී වෙනවා.
-
වැඩිහිටියන් සෘජු තීරණ නොගන්නා, පෞර්ෂ්‍යත්වයක් නොමැති අය වූ විට, දරුවා ඔවුන්ගේ නායකත්වය පරීක්ෂා කරමින් කලබල කරනවා.
-
ගුරුවරුන් සහ මව්පියන් තමන්ගෙන් බලාපොරොත්තුවන දේ පිලිබඳ දරුවාට වැටහීමක් නොමැති වූ විට.
මේ කරුණුවලින් දරුවාගේ කළහකාරී බවට හේතු වන කරුණ නිවැරදිව හඳුනාගැනීම පළමුව සිදු කළ යුතු අතර දරුවා සමඟ ඉතාමත් ඉවසීමෙන්, සෙනෙහසින් සහ කාරුණිකව කටයුතු කිරීම වැදගත් වෙනවා. දරුවාගේ මෙවැනි හැසිරීමකදී මව්පියන්ට අනුගමනය කළ හැකි උපක්‍රම පහත සඳහන් වෙනවා.
-
අවස්ථාව අධ්‍යනය කරන්න
ගුරුවරිය සමග සාකච්ඡා කර, පන්ති කාමරයේ දිනක් හෝ දෙකක් රැඳෙමින්, දරුවාට බාධා නොකර, දරුවාගේ සාමාන්‍ය හැසිරීම අධ්‍යනය කරන්න. තමන්ට එය සිදු කළ නොහැකිනම් සුදුසු අයෙක් ඒ සඳහා යොදවන්න.
ගුරුවරිය උගන්වන ආකාරය සහ දරුවා ඒවා ග්‍රහණය කරගන්නා ආකාරය, දරුවා කලහාකාරී වෙන අවස්ථා, අනෙක් දරුවන් සමග ඇති සම්බන්ධයෙ ස්වභාවය, දරුවාගේ ක්‍රියාවන්ට අනෙක් අය දක්වන ප්‍රතිචාර, දරුවා අනෙක් අයට දක්වන ප්‍රතිචාර, දරුවා පෙර පාසලේදී හිරිහැරයට පත්වෙනවාද යන්න පිළිබඳ හොඳින් අධ්‍යනය කර යම් වැටහීමක් ලබාගෙන ගුරුවරිය හා අවශ්‍ය නම් ළමා වෛද්‍යවරයෙක් සමඟ සාකච්ඡා කර දරුවා පෙළන ගැටළුවට විසඳුමක් සොයන්න.
-
ගුරුවරිය සමඟ ඇති සම්බන්ධතාවය පරික්ෂාකරන්න
මේ කරුණ පිළිබඳව විශේෂ අවධානයක් යෙදවීම අවශ්‍ය වෙනවා. ගුරුවරියගේ හැසිරීම දරුවාගේ හැසිරීමට බලපෑමට ඇති ඉඩකඩ ඉතාමත් ඉහළ වෙනවා.
විශේෂයෙන්ම ගුරුවරිය තමන්ට අකමැතියි කියන හැගීම දරුවා කලබලයට පත් වීමට බෙහෙවින් බලපාන අතර ගුරුවරියගේ ආදරය, කරුණාව සහ අගය කිරීම දරුවාගේ ප්‍රීතියට කරුණක් වෙනවා.
මෙවැනි ගැටලුවකදී යොදන ලද කිසිදු උපක්‍රමයක් සාර්ථක නැති නම් අවසන් විසඳුම වන්නේ දරුවාගේ පෙර පාසල හෝ පන්ති කාමරය වෙනස් කිරීම පමණයි.
-
දරුවාට පන්ති කාමරය සහනදායි තැනක් කරන්න
දරුවාගේ ගැටලුව සංසිඳෙන තුරු හෝ දරුවා අකමැති ක්‍රියාකාරකම්වලින් මඳක් ඈත්කරවා තැබීම පිළිබඳව ගුරුවරිය සමග සාකච්ඡා කරන්න. උදා:- අකුරු කියවන ලියවන වෙලාවට දරුවාට චිත්‍රයක් ඇඳීමට අවස්ථාව ලබා දීම.
එකම ස්ථානයක වාඩි වී සිටීම ඇතැම් දරුවන්ට විශාල අභියෝගයක් වන නිසා යම් තරමක නිදහසක් ලබා දීමෙන් දරුවා සන්සුන් කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
අතක් ඔසවා තමන්ගේ අපහසුතාවය ගුරුවරියට දැන්වීම මගින් ගුරුවරියට දරුවා පිලිබඳ වැඩි අවධානයක් ලබා දීමට හැකිවෙනවා වගේම අනෙක් දරුවන් ඉදිරියේ දරුවා ලජ්ජාවට පත් නොවී සිටීමටත් උපකාරයක් වෙනවා. දරුවා, මව්පියන් සහ ගුරුවරිය එකට එකතු වී මේ කාරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය යුතු වෙනවා.
-
දරුවාට නිදහසක් ලබාදීම
යම් යම් හේතු නිසා පීඩනයට පත් වී සිටින දරුවාව කැමති ස්ථානයකට රැගෙන යාම, විශේෂ අහාර වේලක්, සෙල්ලම් බඩුවක් ලබා දීම, දරුවට විශේෂ අවධානයක් ලබා දීම සහ මව්පියන් දරුවා වෙනුවෙන් සෑම අවස්ථාවකම සිටින බව ඇඟවීම වගේ දේවල් මගින් දරුවා තුළ මානසික සහනයක් ඇති කරන්න පුළුවන් වෙනවා.
-
දරුවාට සිරිත් විරිත් පුරුදු කරන්න
පිටස්තර ස්ථානයක හැසිරෙන ආකාරය, අනෙක් දරුවන් සමඟ බෙදාහදා ගන්න ආකාරය, හිංසා පීඩා කිරීම මඟින් අනෙක් දරුවන්ට සහ ඒ අයගේ මව්පියන්ට ඇතිවන වේදනාව, ඉවසීම වගේ කරුණු සම්බන්ධයෙන් දරුවාට හොඳ අවබෝධයක් ඇති කරවන්න. තමන් දරුවාට ආදර්ශයක් වන ආකාරයට හැසිරෙන්න.
-
පිටස්තර උපකාර ලබා ගන්න
අවශ්‍යතාවය අනුව ළමා රෝග වෛද්‍යවරයෙක් හමු වී ලැබෙන වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම කිසිසේත්ම ලජ්ජාවට කරුණක් විදියට නොසැළකිය යුතු වෙනවා. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කෙටිය යුතු අවස්ථාව වන තුරු නොඉඳ ක්‍රියාත්මක වීම මව්පියන් විසින් දරුවාට සිදු කරන බුද්ධිමත්මක්‍රියාව විදියට හඳුන්වන්නටත් පුළුවන්.