More
    30 C
    Colombo
    Monday, October 19, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පොඩ්ඩන්ට කවන්න අම්මලාට පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රම ටිකක්

    Family Tech Sponsorspot_imgspot_img

    ආහාර කියන්නේ ජීවත්වෙන්න අත්‍යවශ්‍යම දෙයක් වුනත් ගොඩක් වෙලාවට පොඩ්ඩෝ නම් හැසිරෙන්නේ කෑම ගැන වගේ වගක් නැතුව. දවසම හරි කන්නේ බොන්නේ නැතුව ඉන්න තියෙනවනම් පොඩි පැටියෙකුට ඊට වඩා දෙයක් නෑ. හැබැයි ඉතින් තමන්ගේ දරු පැටියට බඩ  පිරෙන්න කෑම ටිකක් කවාගන්න බැරි වුණාම අම්මලාගේ නම් හිත විතරක් නෙවෙයි බඩවත් හරිහැටි පිරෙන්නේ නෑ. familylife.lk අපි ෆැමිලි ටුඩේ තුළින් අද මේ ලිපියෙන් කතා කරන්නේ වයස අවුරුද්දට වඩා වැඩි, කෑමට හොර පොඩ්ඩන්ගේ බංඩිය පුරවන්න අම්මලට පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රම කීපයක් ගැනයි

    www.familylife.lk
    ©http://aklat.net/

    1. ආකල්ප වෙනස්කරගන්න

    පොඩි දරුවෙකුට පැය 2-3 ට වරක් ප්‍රධාන වේල් 3ක් සහ අමතර වේල් 2ක් විදියට කෑම ලබාදීම අවශ්‍ය වෙනවා. වැඩිහිටියෝ වගේ තුන් වේල බත් කන්න පොඩ්ඩෝ අකමැති නිසා ප්‍රධාන වේලකට බත්, ඉදිආප්ප, පැස්ටා, නුඩ්ල්ස්, හබලපෙති, පෝෂණ රොටී, කට්ලට් වගේ දෙයක් හදලා දෙන්න පුළුවන්. එළවලු, මස්, මාළු, බිත්තර, පලා එහෙම එකතු කරලා මේ දේවල් රසට හදාදෙන එක මව්පියන්ගේ වගකීම වෙනවා. ඒ කියන්නේ, දරුවා බත් ම  කන්න ඕනි කියලා නීතියක් නෑ. බබා කන්න අකමැති එළවලු පලා වර්ග එහෙම තියෙනවනම් හදන කෑමවල ඇතුලේ හංගලා හොරෙන් කවාගන්නත් පුළුවන්කම තියෙනවා.

    අමතර වේලකට පළතුරැ, යෝගට් වගේ දෙයක් දෙන්න පුළුවන්. ප්‍රධාන වේල හරියට ගත්තේ නැත්නම් අමතර වේල වඩා පෝෂදායි විදියට දෙන්න උත්සහ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගෙදරම හදාගත්ත පොප්කොර්න් ටිකක් එක්ක යෝගට් හෝ නැවුම් කිරි මිශ්‍ර පලතුරු යුෂ වීදුරුවක් වගේ දෙයක් වුනත් කමක් නෑ. මොන විදියකින් හරි බබාගේ ඇගට පෝෂණය ලැබෙනවානම් කන ප්‍රමාණය ගැන, බර වැඩිවීම වගේ දේවල් ගැන දැවැන්ත විදියට කලබල නොවී ඉන්න එක තමයි සුදුසුම දේ වෙන්නේ.

    ©healthygallatin.org

    2. බබාගෙන් උදවු

    එළවලු, පළතුරු, කෑම බීම තෝරන වෙලාවට, පොඩ්ඩගෙන් අදහස්  අරගන්න. උයන වෙලාවට බබාවත් හවුල් කරගෙන ඒ වැඩ කටයුතු කරන්න. මේ දේ බබාගේ බුද්ධි වර්ධනයටත් විශාල රුකුලක් වෙනවා. පවුලේ හැමෝම එකම වෙලාවට කෑම ගන්නවානම් තමයි වඩා හොඳ.

    දෙමව්පියන් බබාට ආදර්ශයක් වෙන විදියට පෝෂදායි එළවලු, පළතුරු, පලා වර්ග කෑමට ගන්නවානම් බබාටත් ඒ දේවල් හුරු කිරීම එතරම් අප​හසු නොවෙන්න පුළුවන්. අවුරුද්දට වඩා වැඩි බබාලාට ගෙදර අනිත් සාමාජිකයින්ට ගන්න කෑම ම දෙන්න පුළුවන් නිසා වෙනම කෑම හැදීමේ අවශ්‍යතාවයකුත් නෑ. හැබැයි මිරිස් තුනපහ අඩු වැඩි කරගෙන බබාට කන්න පුළුවන් විදියට හදාගැනීම අත්‍යවශ්‍යයි. අතින්, හැන්දෙන් හා ගෑරුප්පුවෙන් තනියම කන්නත් බබාට අවස්ථාවක් දෙන්න. ඒ අතරේ හොරෙන් කටක් දෙකක් කවාගන්න අම්මත් පොඩි උත්සහයක් ගන්නවනම් තවත් වටිනවා.

    3. නිර්මාණශීලි වෙන්න

    බබාගේ කෑම පිගාන ලස්සන නම්, වර්ණවත් නම්, හොඳ සුවදක් තියෙනවනම් කවාගන්න එක එච්චරම දෙයක් නෙවෙයි. හැමදාම එකම විදියේ කෑම, එකම පිගානක, එකම විදියට කන්න කිසිම දරුවෙක් කැමති වෙන්නේ නෑ. අම්මට පුළුවන් බබාට ඇහෙන්න ලස්සනට සින්දුවක් කියන්න. එහෙමත් නැත්තන් කතාන්දර පොතක් කියලා දෙන්න. එක එක කෑම වර්ගවල රස ගුණ ගැන කතා කරන්න. එළවළුවලට විහිලු නම් හදන්න.

    www.familylife.lk
    ©rockandrollpussycat.co.uk

    ඒ වගේ දේවල් වලට පොඩි දරුවෝ හරිම කැමැත්තෙන් එකතු වෙනවා. කන්නේ නැති එලවලු වර්ග පලා වර්ග එහෙම තියෙනවනම් සුප් එකක් විදයට හදලත් පොවන්න පුළුවන්. එහෙමත් නැත්තන් තම්බලා ලස්සන හැඩවලට කපලා සැලඩ් එකක් විදියට දෙන්න පුළුවන්. මේ වගේ විවිධාකාර නිර්මාණශීලි ක්‍රම වලින් පොඩ්ඩව රවටාගැනීමේ හැකියාව අම්මට තියෙනවනම් කවාගන්න එක විශාල පහසුවක් වේවි.

    4. ඉවසීම

    පොඩි දරුවෙක් එක්ක වැඩ කරද්දී ඉවසීම කියන දේ අන්තෙටම උවමනා වෙනවා. දරුවෙක් කියන්නේ, කුඩා වැඩිහිටියෙක් නෙවෙයි කියලා ප්‍රකට කියමනක් තියෙනවානේ. ඉතින් කවන පොවන වෙලාවට මේ ඉවසීම කියන දේ උපරිමයෙන් අත්‍යවශ්‍ය වෙනවා. අලුත් කෑම වර්ග හඳුන්වලා දෙනවනම් සුළු ප්‍රමාණයන්ගෙන් පටන් අරන් ක්‍රමක්‍රමයෙන් ලබාදීමත් බබා අප්‍රිය කරනවානම් තාවකාලිකව එය අත්හැර දැමීමත් තමයි වඩාත් සුදුසු.

    අධෛර්‍යය නොවී දවස් කීපයකින් වෙනස් ක්‍රමයකට ඒ දේ ලබාදෙන්න පුළුවන්කම තියෙනවා. නිදිමත වෙලාවට, දාඩිය දාලා අපහසුවෙන් ඉන්න වෙලාවට, නින්දෙන් අවදිවුන ගමන් කන්න දෙන එකත් එතරම් සුදුසු නෑ. ඒ වගේම පොඩ්ඩා කෑගසමින් කලබල කරන අවස්ථාවක දී නම් අම්මා තාත්තත් කලබල නොකර සාමාන්‍ය විදියට ම, මද සිනාවක් පෙන්වමින් නිවී හැනහිල්ලේ ආහාර ලබාදීම කල යුතුයි.ටික වෙලාවකින් බබත් සාමාන්‍ය තත්ත්වයට පත්වේවි.

    www.familylife.lk
    ©videoblocks.com

    කෙටියෙන් ම කීවොත් දරුවා ආහාර ගැනීම හෝ නොගැනීම දරුවාගේ ඒ මොහොතේ මානසික තත්ත්වය පෙන්වන මිම්මක් කියන දේ වටහාගෙන ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. “හොඳටම බඩගිනි වෙනකන් බලෙන් කවන්න උත්සහ කරන්නෙපා”  කියන උපදෙස කෑමට හොර පොඩ්ඩෝ ඉන්න මව්පියන්ට වෛද්‍යවරු නිතරම ලබාදෙන උපදෙසක් බවට පත්වෙලා තියෙනවා.

    අසනීප වෙලා ඉන්න අවස්ථාවකදී වගේම සුවවෙලා දවස් කීපයක් යන තුරුත් ආහාර අරුචිය කියන දේ වැඩිහිටි අපිට වගේම පොඩි දරුවෙකුටත් අදාළ දෙයක්. ඒ වගේ වෙලාවට “අනේ මේ ළමයා කන්නේ නෑනේ” කියමින් කෑමොර දීම දරුවටත්, මව්පියන්ටත් විශාල පීඩනයක් වෙනවා. බබාගේ රුචි අරුචිකම්වලටත් ඉඩක් ලබා දෙමින් කලබල නොවී අහාර ලබා දීම තමයි මේ වෙලාවට වඩාත් සුදුසු වෙන්නේ.

    5. සාමාන්‍ය දැනුම

    පොඩි දරුවෙකුට කෑම කවන වෙලාවට අනවශ්‍ය පීඩනය, අනවශ්‍ය වර්ණනාව, අල්ලස්, තෑගී හෝ දඩුවම් ලබාදීම නොකළ යුතුම දේවල් විදියට තමයි අපි නම් දකින්නේ. පැණි රස අහාර, අතුරුපස පවා පුරුද්දක් විදියට ලබාදීම සුදුසු වෙන්නේ නෑ.  පිරිසිදු වතුර සහ අවශ්‍ය නම් පලතුරු යුෂ, නැවුම් කිරි, සුප් වගේ දියර වර්ග ආහාර වේල් වලට බාධාවක් නොවෙන විදියට ලබාදීම අත්‍යවශ්‍යයි.

    www.familylife.lk
    ©healthy-magazines.com

    ජංගම දුරකථන වගේ ඩිජිටල් තිර පෙන්වීම පොඩ්ඩෝන්ගේ බුද්ධි වර්ධනයට වගේම ඇස් පෙනීමටත් විශාල වශයෙන් අහිතකර බව මේ වෙනකොට සොයාගෙන තියෙනවා. ඒ නිසා එවැනි දේවලින් බාධාවක් නැති නිස්කලංක තැනක වාඩිකරවාගෙන ආහාර ලබාදීම තමයි හොඳින්ම ගැලපෙන්නේ. කෑම අරුචියෙන් පෙලෙන දරුවට හිතුමතේ විටමින් වර්ග ලබා දීමෙන් වැළකීමත් අවශ්‍යනම් පෝෂණ වේදියෙකුගෙන් පමණක් සුදුසු උපදෙස් ලබාගැනීමත් තමයි වඩාත්ම සුදුසුම ක්‍රමය වන්නේ.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    78 %
    2.8kmh
    100 %
    Mon
    31 °
    Tue
    30 °
    Wed
    29 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු