fbpx
More
    27 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    හෘද රෝග පවා ඇතිකරවන ටීවි, ෆෝන් ඇබ්බැහියෙන් දරුවා බේරාගන්න

    Family Tech Sponsorspot_imgspot_img

    හෘද රෝග අවදානමට දරුවා හෙලන රූපවාහිනිය හා ජංගම දුරකථන අබ්බැහියෙන් දරුවා මුදවා ගැනීමේ මූලික වගකීම දෙමාපියන් වන ඔබට සියයට සියක්ම පැවරෙනවා. අද සමාජයේ මෙය ඉතාම බරපතල අර්බුදයක් වෙමින් පවතින බැවින් familylife.lk අප නිරන්තරයෙන් මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදුකරන අතර මේ එවැනි උත්සායක දෙවැන්නයි. මේ පිළිබඳ පෙර ලිපිය ඩිජිටල් තිර මගින් දරුවාට සිදු වන හානි සඳහා මෙතැන ක්ලික්/ටැප් කරන්න.

    මේ අබ්බැහියෙන් ඔබේ දරුවාට සිදුවන හානි විවිධාකාරයෙන් විස්තර කරන්නට පුළුවන්

    සෞඛ්‍යමය ගැටළු

    ඇතැම් මව්පියන් තමන්ගේ  වැඩපළ කරගැනීමේ පහසුව සඳහා දරුවා නිශ්ශබ්දව තැබීමට රූපවාහිණිය ක්‍රියාත්මක කරලා දෙනවා. එහෙමත් නැත්තන් දරුවා අතට ෆෝන් එක හෝ විඩීයෝ ක්‍රීඩා උපකරණ ලබා දෙනවා.

    නමුත් මේ අයහපත් පුරුද්ද නිසා හොඳක් නරකක් නොතේරෙන දරුවොන්ට පසුකාලීනව විවිධාකාර සෞඛ්‍යමය ගැටළු ඇතිවෙන්න ඉඩ තියෙනවා. ශරීර ක්‍රියාශීලිත්වය අවම වීම නිසා ඇතිවිය හැකි  දරුණුම බෝ නොවෙන රෝග වන දියවැඩියාව, හෘද රෝග සහ කොලොස්ටරෝල්,  අධි ස්ථූලතා තත්ත්වයන් මේ අත ප්‍රධානයි.

    හෘද රෝග

    ඩිජිටල් උපාංග භාවිතය අතරතුර නිරන්තරයෙන් කෙටි ආහාර වේල් ගැනීමට හුරුවීම සහ ආහාර ගන්නා අතරතුර රූපවාහිනිය නැරඹීම නිසා සීමාව ඉක්මවා අහාර ගැනීමට හුරු වීම  මෙවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වෙනවා.

    අනෙක් අතින් නිරතුරුවම ඩිජිටල් තිරවලට නිරාවරණය වීම නිසා දරුවාට කුඩා වයසේදීම අක්ෂි අබාධ තත්ත්වයන් වැළදීමේ ඉඩකඩ තියෙනවා. ඇස් වියළීම, ඇස්  බොඳවීම, ද්විත්ව දෘෂ්ටි තත්ත්වය ඇතිවීමට අමතරව හිසරදය, බෙල්ල හා බෙල්ල පිටුපස වේදනාව සහ නින්ද නොයෑමේ ගැටළු මේ අතරින් ප්‍රධාන වෙනවා.

    සාමාන්‍යයෙන් පුද්ගලයෙක් විනාඩියකට 15 වරක් පමණ ඇස් පිල්ලම් ගසන අතර ඩිජිටල් තිරවලට නිරාවරණය වීමේදී මෙය විනාඩියකට 5 වතාවක් දක්වා අඩුවෙන බව කියවෙනවා. විශේෂයෙන්ම රූපවාහිනිය සහ ඩෙස්ක්ටොප් පරිගනකය ඇස්  මට්ටමින් මඳක් ඉහළින් පිහිටන නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඇස්  විවෘත කරගෙන ඉන්න ප්‍රමාණය වැඩිවෙනවා.

    වගේම වරින් වර රූපවාහිනිය, ජංගම දුරකථනය, විදුලි ආලෝකය සහ සාමාන්‍ය ආලෝකය විදියට වෙන වෙනස් ආලෝක තත්වයන්ට නිතරම ඇස් නිරාවරණය වීමත් කුඩා දරුවෙකුට දරාගන්නට පහසු දෙයක් නෙවෙයි කියලයි විශේෂඥයින්ගේ මතය වෙන්නේ.

    පරිසරය සමඟ නොගැටීම

    අධ්‍යාපන තරග බිමට දරුවොන්ව තල්ලු කරලා දාන මව්පියන් හැමවිටම උත්සාහ කරන්නේ සියලුම දේ පොත පත ඇසුරින් පමණක් උගන්නන බව පැහැදිලිවම දකින්න තියෙනවා. දරුවෙකුට පස්, වැලි හෝ වතුර ටිකක් සමඟ සෙල්ලම් කරන්න, එහෙමත් නැත්තන් ගහ කොළ ඇසුරු කරන්න විතරක් නෙවෙයි ගොළුබෙල්ලෙක් කූඹියෙක් වගේ සතෙක් දිහා බලන්නවත් ඉඩකඩ අහිමි වෙලා තිබුනත් රූපවාහිනිය ජංගම දුරකථනය නම් ඔවුන්ට ආගන්තුක වන්නේ නෑ.

    නමුත්  දකින සහ අහන දේවලට වඩා  ද්‍රව්‍ය සහ වස්තූන් අතපත ගෑමෙන් ලබාගන්නා දැනුම වැඩි බවයි පර්යේෂකයන් පවසන්නේ. වගේම පරිසරය සමග කල් ගත නොකිරීම හරහා බිහිවෙන්නේ ගහ කොළ, ඇළ දොළ, සතුන් සර්පයින් ගැන හැඟීමක් හෝ ආදරයක් නැති දරුවන් පිරිසක් බවත් කණගාටුවෙන් වුනත් පිළිගන්න වෙනවා.

    දුර්වල සමාජ සම්බන්ධතා

    වෙනත් දරුවන්, පවුලේ සහෝදර සහෝදරියන්, අසල්වැසියන් හෝ තමන්ගේම මවුපියන්ගෙන් දුරස් වී ඉලෙක්ට්‍රොනික උපාංගවලට එබී සිටින දරුවන්ට අදාළ වයසට අවශ්‍ය සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාවද අහිමිවෙනවා.

    එවැනි උපාංගවලට මිස හැඟීම් දැනීම් ඇති පුද්ගලයින් ඇසුරු නොකිරීම  නිසා පසුකාලීනව පාසලේදී, පෙර පාසලේදී හෝ සම වයස් දරුවන් සමග ක්‍රියා කිරීමට සිදු වෙන වෙනත් ස්ථාන වලදී අනෙක් දරුවන් සම හරියාකාරව මුහු වීමට සහ අන් අයගේ හැගීම් වටහාගැනීමට හුරු නොවීමෙන් දරුවා වගේම අනෙක් දරුවනුත් අපහසුතාවයට පත්වෙන්න ඉඩ තියෙනවා.

    අධ්‍යාපන මට්ටම දුර්වල වීම සහ බුද්ධි වර්ධනය හීන වීම 

    රූපවාහිනිය, ජංගම දුරකථනය වගේ උපාංගවලට වැඩි වශයෙන් ඇබ්බැහි වී සිටි දරුවන්, අනෙක් දරුවන්ට වඩා අඩු අධ්‍යාපන හැකියාවන් දක්වන බව පර්යේෂණවලින් හෙළිවෙලා තියෙනවා. තිරයෙන් දකින සියලුම දේ දිහා කිසිම සිතීමකින් තොරව බලා සිටීමත්, මතක ශක්තිය, සිතීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වය මොටවීමත් මීට ප්‍රධාන වශයෙන් බලපාන බව කියවෙනවා.

    1999 සිට 2019 වන තුරු කරන ලද පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙන කරුණු අනුව අවුරුදු  දෙකට වඩා අඩු වයසේ දරුවන් ඩිජිටල් තිර හරහා දකින දේවල්වලින් කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැති අතර අවබෝධයකින් තොරව චලනය වන පින්තූර දිහා බලා සිටීම පමණක් සිදු කරනවා.

    ඇහුම්කන් දීමේ නොහැකියාව

    ඩිජිටල් තිරවලට වැඩි වශයෙන් නිරාවරණය වීම හරහා අවධානය යොමු කිරීමේ හැකියාව වගේම සැළකිය යුතු කාලයක් පුරාවට යම් දෙයකට ඇහුම්කන් දීමේ හැකියාවද අවම වෙනවා. අධ්‍යාපනය ලබන කාල සීමාව වෙනකොට මේ දේ දරුවාට අහිතකර විදියට බලපෑමට ඇති ඉඩකඩ ඉහළ වෙනවා.

    හැසිරීමේ ගැටළු 

    දරුවන් තුළ  හැසිරීමේ ගැටළු වැඩිවශයෙන් ඇති වීමට මෙවැනි මෙවලම් විශාල වශයෙන් හේතු වෙනවා. විශේෂයෙන් ජංගම දුරකථනයට, රූපවාහිනියට හෝ වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වන දරුවන්, ඒවා ලබා නොදීමට මව්පියන් තීරණය කරන අවස්ථා වලදී ප්‍රකෝපකාරී ලෙස හැසිරෙනවා.

    අනෙක් අතට දරුවන් නැරඹීමට හුරු වී සිටින යම් යම් වැඩසටහන්වල චරිත අනුකරණය කරමින් ප්‍රචණ්ඩකාරී විදියට හැසිරීමටත්, ගැටළුවක් ඇති වූ විට කෝපයට පත් වී එයට විසඳුම් ආවේගශීලී විදියට සෙවීමටත් ඔවුන් කුඩා කල සිටම පෙළඹෙනවා.

    අනෙක් අතට මව්පියන්ගේ නිසි අවධානය සෙනෙහස නොලබමින් නිතර රූපවාහිණිය ඇසුරේ කල්ගෙවන දරුවන් තුළත් මෙවැනි ගති ලක්ෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.

    යතාර්ථය සහ මායාව වෙන් කරගැනීමට අපහසු වීම

    කුඩා දරුවන් කියන්නේ අහන දකින දේවල් පිළිගන්න සහ විශ්වාස කරන පිරිසක් විදියට හඳුන්වන්න පුළුවන්. කුඩා කාලයේ සිටම ඔවුන්ට නිවැරදි දැනුමක් ලබාදිය යුත්තේ මේ නිසයි.

    රූපවාහිනී තිරයෙන් පවා දකින සියළුම දේ සත්‍ය දේවල් විදියට වටහාගන්නවා විනාමේ දේවල් හැම දෙයක්ම සත්‍ය සිදුවීම් නෙවෙයි, මේ රඟපෑමක් පමණයි, මේ වගේ දේවල් මේ ලෝකේ ඇත්තටම වෙන්නේ නෑකියල තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන් තුළ පවතින්නේ නෑ.

    මේ නිසා වැඩි වශයෙන් ඩිජිටල් තිරවලට නිරාවරණය වන දරුවන්ගේ මනස තුළ යතාර්ථය සහ මායාව පිළිබඳව බොහෝ විට වැරදි සිතිවිලි පැලපදියම් වෙන්න ඉඩ තියෙනවා.

    මේ වන විට මවක්/ පියෙක් බවට පත්වෙලා සිටින බුද්ධිමත් ඔබ කුඩා අවධියේ දී රූපවාහිනියෙන්, ජංගම දුරකතනයෙන් හෝ විඩීයෝ ක්‍රීඩාවලින් සැනසුන අයෙක් නොවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළයි. ඔබේ දරුවාගේ නැවත නොඑන, සුන්දර ළමා විය මෙතරම් හානි ගෙන දෙන ඩිජිටල් තිරවලට භාර කරනවා යන්න තීරණය කිරීමට ඔබ තරම් සුදුස්සෙක් නැති බවත්, නිවැරදි තීරණය ගැනීමට අපේ මේ ලිපි කිසියම් හෝ උපකාරයක් වන්නට ඇති බවත් අපි විශ්වාස කරනවා.

    මේ පිළිබඳ පෙර ලිපිය ඩිජිටල් තිර මගින් දරුවාට සිදු වන හානි සඳහා මෙතැන ක්ලික්/ටැප් කරන්න.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    27 ° C
    27 °
    27 °
    81 %
    2.2kmh
    100 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    26 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු