fbpx
More
    29 C
    Colombo
    Tuesday, May 14, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    මදසරුභාවය හා ස්වභාවික ගබ්සාවීම් ගැන ඔබ දැනගත යුතුම දේ…

    Family Tech Sponsorspot_imgspot_img

    මදසරුභාවය හා ස්වභාවික ගබ්සාවීම් වර්තමානය වනවිට බහුල වශයෙන්ම කාන්තාවන් මුහුණදෙන තත්ත්වයක් බව නොරහසක්. ඇතැම්විට මෙම ලිපිය කියවන ඔබටත් මෙහි අත්දැකීම් විදීමට සිදුව ඇති. දරු පැටියෙකු ගැන තිබෙන ආශාව නිසාම මෙම තත්ත්වයන්ට හේතු නොසොයාම සෑම මාසයකම කිරිසිහිනය සැබෑකරගන්නට ඔබත් වෙහෙසෙන්නට ඇති. නමුත් මදසරුභාවය හා ස්වභාවික ගබ්සාවීම් වලින් අපට පෙන්නුම් කෙරෙන්නේ එක්තරා අනතුරු ඇගවීමක්. Familylife.lk මවු සිහිනය සමඟ එක්ව සිටින ඔබට අද මේ පිළිබඳව කරුණු රැසක් ඉදිරිපත් කරන්නට අප අදහස් කළා.

    මදසරුභාවය හා ස්වභාවික ගබ්සා වීම්

    විවාහ වන සෑම යුවලක්ම පාහේ ප්‍රාර්ථනා කරන්නේ නිරෝගී දරු සම්පතක්. නමුත් විවිධ හේතු නිසා අපේ රටේ විවාහක යුවල් අතරින් 1/7ක්ම මදසරුභාවයෙන් පෙලෙනවා. ඇතැමුන්ට දරු පිළිසිද ගැනීමක් සිදු නොවන අතරම ඇතැමුන්ට දරුවන් පිළිසිඳ ගත්තත් ඔවුන් මෙළොව එළිය දකින්නට මත්තෙන් මවුකුසේදීම මිය යනවා. බොහෝමයක් දරුවන් බලාපොරොත්තු වන කාන්තාවන් මේ නිසා සිත්තැවීමෙන් පසුවන බව නොරහසක්. නිසාම පෙරකළ කරුමයක් නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදෙන්නට සිදු වුණාදෝ යන්න සිතමින් තවදුරටත් දුක්වන කාන්තාවන් අප අතර සිටිනවා. ලංකාවේ වසරකට කාන්තාවන් තුන්ලක්ෂ හැටඑක්දහසක් පමණ ගර්භිණීභාවයට පත්වෙනවා. 361,000 ක් වසරකට ගර්භිණී වෙද්දී ඉන් 48,000ක්ම ස්වාභාවික හෝ වෙනත් ආකාරයේ විකෘතිතා නිසා එම කලල දිගින් දිගටම පවතින්නේ නැතිව ගබ්සාවීම් වලට ලක්වෙනවා. මේ ගබ්සාවන්ට හේතුවන්නේ ජාන විකෘතිතා හෝ උපත් ආබාධයි. කුස තුළ වැඩෙන කලලයට සති 28ක් වූ පසුව සිදුවන මරණ අපි හඳුන්වන්නේ මළ දරු උපත් ලෙසයි. මේ මළ දරු උපත් වලින් 35% කටම හේතුව වී ඇත්තේ උපත් ආබාධ හෝ ජාන විකෘතිතා යන ඒවායි. වසරකට ලංකාවේ මළ දරු උපත් 1900ක් සිදුවෙනවා.

    මදසරුභාවය හා ස්වභාවික ගබ්සාවීම්

    එවැනි තත්ත්වයකට මුහුණදුන් මවක් නම්

    මෙලෙස ගබ්සාවීම් හා මදසරුභාවය ඇතිවීම පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මකව සොයා බැලීම ඉතාම වැදගත්. මන්දයත් මෙම තත්ත්ව දෙකේදීම වෛද්‍යවිද්‍යාත්මකව අපට අනතුරු ඇඟවීමක් සිදුකරනවා උපත් ආබාධ සහිත දරුවෙකු ඉපදීමේ හැකියාවක් ඇති බවට. නමුත් එය වටහාගෙන වෛද්‍ය පරීක්ෂණවලට යොමුවන්නේ 10% ක් තරම් අවම පිරිසක්.

    මදසරුභාවයෙන් පෙළෙන හෝ ස්වභාවික ගබ්සා වීම් වලට මුහුණ දෙන කාන්තාවන්ගෙන් 90%ක්ම වෛද්‍යපරීක්ෂණ වලට මුහුණ නොදෙයි.එසේනම් ස්වභාවික ගබ්සාවීමක් වැනි තත්ත්වයකට මුහුණ දුන් මවක් නම් මීලඟ මාසයේ යළි දරුපැටියෙකු හැදීමට අදහස් කරන්නට මත්තෙන් වෛද්‍යවරයෙකු හමුවීම ඉතාම වැදගත් වෙනවා.

    වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම වැදගත් වන්නේ ඇයි?

    සාමාන්‍යෙයන් මිනිසෙකුගේ ඇඟේ වර්ණ දේහ තියෙනවා 46ක්. එයින් ශුක්‍රාණුවක් හරහා වර්ණදේහ 23ක් හා ඩිම්බයක් හරහා වර්ණ දේහ 23ක් ලෙස වර්ණ දේහ 46ක් දරුවන්ට උරුම වෙනවා. මේ වර්ණදේහවල වෙනස්කමක් තියෙනවා නම් උපත් ආබාධ ලෙස මතුවන්නට පුළුවන්. උපත් ආබාධයක් ලෙස මේවා  මතුවන්න පෙර අපට පොඩි පොඩි අනතුරු ඇඟවීම් ලබාදෙනවා. පළමුවැනි දේ තමයි පවුලේ හෝ පෙර පරම්පරාවක උපත් ආබාධ සහිත දරුවෙකු බිහිවී තිබීම. එහෙම දරුවෙක් සිටීනම් තමන්ගේ කිසිම ප්‍රශ්නයක් නැතත් දරුවෙකු හදන්නට පෙර වෛද්‍යවරයෙකු හමුවී සාකච්ජා කළ යුතුයි.

    දෙවැනි කාරණය තමයි දරුවන් හදන්නට යද්දි දරුවන් හට නොගන්නා මඳසරුභාවය දැක ගන්නට ලැබීම. ස්වභාවධර්මයේ ක්‍රමවේදය තමයි, මොනයම් ආකාරයේ හෝ ගැටලුවක් පවතිනවා නම් ආබාධ සහිත දරුවෙකු ඇතිවීම වැළැක්වීමට දරුවන් හට නොගෙන සිටීම. එසේ නම් මදසරු අවස්ථාවේදීත් වෛද්‍යවරයෙකු සමග සාකච්ජාකර වෛද්‍ය පරීක්ෂණවලට ලක්වීම සිදුකළ යුතුයි. අපේ රටේ තුන්ලක්ෂ හැට දහසක් වාර්ෂිකව ගර්භිණී වෙද්දි තවත් පනස්දහසක් මඳසරුභාවයෙන් පෙළෙනවා.

    තුන්වෙනි කාරණය තමයි තුන්ලක්ෂ හැට දහසක් ගර්භිණී වුණත් දරුවන් බිහිකරන්නේ ඉන් තුන්ලක්ෂ විසි හයදහසක් පමණයි. අනුව තවත් තිස්හතර දහසක් ඉන්නවා දරුවන් ගබ්සා වෙන අය. එයත් ජානමය ප්‍රශ්නයක් ඔවුන්ට තිබෙන බවට කරන තවත් එක් අනතුරු ඇඟවීමක්. නමුත් මෙවැනි තත්ත්ව වලට මුහුණදෙන කාන්තාවන් ජානමය පරීක්ෂාවකට ලක්විය යුතු වුණත් එසේ සිදුවන්නේ නැහැ. යම් හෙයකින් උපත් ආබාධයක් සහිත දරුවෙක් ඉන්න දෙමවුපියන්ට පුළුවන් ජාන පරීක්ෂාවක් හරහා මීළඟට උපදින දරුවා උපත් ආබාධයකින් තොර කරගන්න. අනුව මඳසරුභාවයට මුහුණ දුන් කාන්තාවක්, පරම්පරාවේ උපත් ආබාධ සහිත දරුවන් සිටින කාන්තාවන්, ගබ්සා සිදු වී තිබෙන කාන්තාවන් දරුවන් හදන්නට කලින් වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුයි.

    උපත් ආබාධයක් යනු

    උපත් ආබාධයක් ලෙස සලකන්නේ ජානමය හෝ පාරිසරික සාධක නිසා ගර්භය තුළදීම ඇතිවන ශරීර කොටස්වල ඇතිවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාකාරීත්වයේ විකෘතිතාවක්. අපි සරලව  ලංකාවේ තිබෙන උපත් ආබාධ ගැන බැලුවොත් 24% ක්ම තිබෙන්නේ හෘද රෝගයි. මීලඟට 20.3% ක්ම තියෙන්නේ ගාත්‍රා ආබාධ නැත්නම් කකුල් දෙකේ පිහිටීමේ තිබෙන ගැටලු. පැලි තොල් නැත්නම් තල්ලේ ආබාධ 8.5%ක් දැකගන්නට පුළුවන්.

    මීළඟට ජානමය ආබාධ (ඩවුන්ස් සහ ලක්ෂණය හා ආශ්‍රිත) 6.7%ක්, ස්නායු නාල ආබාධ 5.9%ක්, වකුගඩු ආබාධ 2.7%ක්, සුළු ආබාධ 10.1%ක් හා අනෙකුත් ආබාධ 21.9%ක් වාර්තා වෙනවා. මෙවැනි ආබාධ සහිත දරුවන් වාර්ෂිකව අපේ රටේ 5800ක් බිහිවෙනවා. එයිනුත් 30%ක් දරුණු උපත් ආබාධ සහිතවයි බිහිවෙන්නේ. ඔවුන් බොහෝවිට ජීවත් කරන්න නොහැකියි. මෙවන් දරුණු තත්ත්වයකට අනාගතයේ මුහුණදෙන්නට පෙර මේ ලක්ෂණ ගැන දැනුම්වත් වීම ඉතා වටිනවා.

    උපත් ආබාධ සහිත දරුවෙකු බිහිවන්නට හේතු

    උපතින්ම ඇතිවන ආබාධවලට හේතු ගණනාවක් බලපානවා.

    ඇමෙරිකාව වගේ දියුණු රටවල සෑම මිනිත්තු 4 ½කටම වරක් මෙවැනි උපත් ආබාධ සහිත දරුවෙකු බිහිවෙනවා. අපේ රටේ වර්තමානය ගත්තොත් පවතින්නේ සංකීර්ණ ජීවන රටාවක්. මේ නිසාම දුම්පානය, මත්පැන් පානය, මත්ද්‍රව්‍ය පානයට නැඹුරුතාවයක් යම් යම් ජන සමාජයන් තුළ දැකගන්නට පුළුවන්.

    මේ තත්ත්වය කුස තුළ වැඩෙන කලලයන්ට හා දරුවන්ට අයහපත් ලෙස බලපානවා. ඒවා තුළින් උපත් ආබාධයන් දරුවන්ට ඇති වෙනවා. අද අධි ස්ථුල මව්වරුන් බහුලයි. අධි ස්ථුලතාවයෙන් යුතු මවකට බිහිවන දරුවෙකුටත් මෙවන් සංකූලතා ඇතිවන්නට පුළුවන්.

    වගේම ගර්භිණී සමයේ අපි ලබාගන්න ඇතැම් ඖෂධ වර්ගවල අතුරු ආබාධ මේ තත්ත්වය ඇතිකරන්න හේතු වෙනවා. මවට ගර්භිණී සමයේ හෝ ඊට පෙර පැවති දියවැඩියාව වගේ රෝගත්, මීට පෙර මෙවැනි ආබාධ සහිත දරුවෙකු සිටියේ නම් ප්‍රවේණිය හරහා අනෙක් ළමයාටත් මෙවැනි ආබාධ ඇතිවන්නට පුළුවන්. වගේම මවට අවුරුදු 34න් පසු ඇතිවන ගර්භයන්ටත් මෙවැනි තත්ත්ව ඇති විය හැකියි. හෘදරෝග වැනි උපත් ආබාධ දරුවෙකුට ඇති වෙන්නට සාධක කීපයක් බලපාන්නට පුළුවන්.

    වලක්වා ගැනීමට කළ හැකි දේ

    මෙවැනි උපත් ආබාධ වලක්වාගැනීමට ප්‍රාථමික වැළැක්වීම යටතේ දරුවෙකු මවගේ කුසතුළට පැමිණීමට පෙර ෆෝලික් ඇසිඩ් ලබාගැනීම, ස්ථුලතාව අඩු කර ගැනීම, මනා සෞඛ්‍යයක් පවත්වාගැනීම වැනි දේවල් කාන්තාවකට කරන්නට පුළුවන්. මීළඟට ද්වීතියික වළක්වාගැනීම යටතේ අපි මෙවැනි තත්ත්වයක් ඇතිවීම හඳුනාගැනීම, තෘතියිකව හඳුනාගත් තත්ත්වයට ප්‍රතිකාර කිරීම හා පුනරුත්ථාපනය යන ඒවා කළ හැකියි.

    දුම්පානය, මත්පැන් පානය හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම, විකිරණවලට මුහුණදීමෙන් වැළකීම ඉතා වැදගත්. හොඳ ආහාර පුරුදු , ව්‍යායාම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු නව යෞවනියන් ලෙසම පවත්වා ගත යුතුයි. මවක් වීමට පෙර කාන්තාවක් වෛද්‍ය පරීක්ෂණවලට යොමු වීම, තමන් යම් රෝගයකට දීර්ඝකාලීනව ඖෂධ ගන්නේ නම් ගැබ්ගැනීමට පෙර පිළිබඳ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කිරීම, පවුලේ මෙවන් උපත් ආබාධයක් සහිත පුද්ගලයෙකු සිටීනම් පවුලේ ඉතිහාසය පිළිබඳ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කර උපදෙස් ගැනීම ඉතා අවශ්‍යයි.

    මවු සිහිනය යටතේ ලියවුණු සියළු ලිපි මෙතනින්

    මවු සිහිනය

    මෙම ලිපිය සම්පාදනය කිරීමට,  කොළඹ වෛද්‍ය පීඨයේ මානව ප්‍රවේණි ඒකකයේ ප්‍රධානී, මහාචාර්ය වජිර දිසානායක මහතා හා ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ සභාපති, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා, ලෝක උපත් ආබාධ දිනය වෙනුවෙන් දැක්වූ අදහස් වෙනුවෙන් ඔවුන් දෙපලට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    තවත් ලිපි කියවන්න familylife.lk මුල් පිටුවට පිවිසීමට පහත ලෝගෝව ක්ලික්/ටැප් කරන්න

    www.familylife.lk

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    නිසංසලා පතිරණ
    නිසංසලා පතිරණ
    දශකයකට ආසන්න කාලයක් පුරා මෙරට ජාතික පුවත්පත් සඳහා විධිමත් හා වැදගත් සෞඛ්‍ය සම්බන්ධ ලිපි සපයමින් පාඨකයාගේ විශ්වාසය ඉහළින්ම දිනාගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමධාරියකි.
    Colombo
    broken clouds
    29 ° C
    29 °
    29 °
    72 %
    2.2kmh
    78 %
    Tue
    31 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    29 °
    Sat
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු