fbpx
28 C
Colombo
Monday, May 12, 2025
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk

උපත් පාලනය ගැන අලුත විවාහ වුනු අය දැනගත යුතුම දේවල්

Family Tech Sponsorspot_imgspot_img

උපත් පාලනය ගැන අද මේ විදිහට දිග හැරෙන්නෙ ලිංගිකත්වය හා ඒ ආශ්‍රිත, ඔබ දැනගත යුතුම දේවල් සම්බන්ධයෙන් විධිමත් දැනුමක් ඔබට ලබා දීමට familylife.lk සුව පියස තුළින් ආරම්භ කළ ලිපි පෙළේ දෙවැන්න හැටියටයි. මෙහි පළමු ලිපිය, ( ලිපියට පිවිසෙන්න මෙතන ක්ලික් / ටැප් කරන්න) Sex ගැන හොයන අය කොන්ඩම් ගැන මේ දේවල් දැනගෙන ඉන්න යන උදෘතයෙන පළවුනා.

“මචන් මම මේ කතා කළේ පොඩි විස්තරයක් දැනගන්න. බිසීද?”

නිදා ගන්න ඔන්න මෙන්න ඉන්න කොට කෝල් එකක් ආවේ ඊයේ විවාහ උන ලඟම යාලුවෙක් ගෙන්.

නෑ කියන්න. මොකද්ද කේස් එක?

“මචන් දන්න‍වනේ දැන්ම අපේ ළමයි හදන්න අදහසක් නෑ. මට වත් එයාටවත් බැඳපු ගමන් ළමයි හදාගෙන වාත කරගන්න බෑ. අපි බැලුවේ අවුරුද්දක් වත් මෙහෙම ඉන්න.”

ඔව් මට තේරෙනවා. පවුලක් හරියට සැලසුම් නොකළොත් ජීවිතේම විඳවන්න වෙන්න පුලුවන්.

“මට අවුරුද්දක් වෙනකන් birth control කරන්න විදියක් suggest කරන්න පුලුවන්ද? ඔයාලා ඉතින් ඕවා හොඳට දන්නවනේ. කොන්ඩම් ගැන නම් කියන්න එපා ඒකට අපි හොයන්නේ ඊට වැඩිය ලේසි දෙයක්.”

මේ වගේ දුරකථන ඇමතුම් කීපයක්ම මට පසුගිය දවස් වල ආවා. ඒ අයට මම වගේ වෛද්‍යවරයෙක් ලඟම මිතුරෙක් උන නිසා මේ වගේ ගැටලුවක් දුර දිග යන්නට කලින් නිවැරදි තොරතුරු දැන ගන්න හැකියාවක් ලැබුනා. නමුත් සමහරු බැඳලා මාස 9 යනකොට ළමයි ඉපදිලත් ඉවරයි. ඉතින් ජීවිත කාලයක් මේ නොහිතා ගත්ත තීරණය ගැන වද වෙනවා. ඉතින් ඔබට සුදුසුම උපත් පාලන ක්‍රමය ලිපි පෙලේ දෙවැනි ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඔබ ලඟදි විවාහ උන කෙනෙක් නම් පවුල් සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳවයි.

මේ ගැන විස්තර ගන්න පුලුවන් කාගෙන්ද?

» පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් (midwife) කෙනෙක් ර‍ටේ සෑම MOH කොට්ඨාශයකම ගමක් ගානේ වෙන් කරලා යොදවලා තියෙන්නේ මේ දැනුම අලුතින් විවාහ උන අයට වගේම වෙනත් ඕනෑම කෙනෙකුට ලබා දෙන්න. මීට අමතරව රජයේ රෝහල් වල අදාළ ඒකක වලිනුත් මෙම දැනුම ලබා ගන්නට හැකියාව තියෙනවා. මීට අමතරව පවුල් සෞඛ්‍ය කාර්යාංශය (Family Health Bureau) නම් රජයේ ආයතනයත් ප්‍රජනක සෞඛ්‍යයට අදාල දැනුම සහ පහසුකම් සළසා දෙන්න වෙන් උන ආයතනයක්.

විවාහ උන ගමන් භාවිතා කළ හැකි උපත් පාලන ක්‍රම මොනවාද?

» උපත් පාලන ක්‍රම ප්‍රධාන වශයෙන් තාවකාලික ක්‍රම හා ස්ථීර ක්‍රම ලෙස වෙන් කෙරෙනවා. මෙවැනි යුවලකට ඉදිරි දිනෙක දරුවෙක් බලාපොරොත්තු වන නිසා අනිවාර්යයෙන්ම තාවකාලික ක්‍රමයක් භාවිතා කළ යුතුයි.

තාවකාලික උපත් පාලන ක්‍රම යටතේ,

1. ශුක්‍රාණු ඇතුල්වීම අවහිර කරන ක්‍රම : (පුරුෂ හා ස්ත්‍රී කොන්ඩම්)

2. හෝමෝනමය ක්‍රම

a. ගිලින උපත් පාලන පෙති (මිතුරි)
b. එන්නත් (Depo-Provera)
c. සම යටට ඇතුල් කරන කරල් (Jadelle)

3. ගර්භාෂය අභ්‍යන්තරයට ඇතුල් කරන උපාංග (Intra Uterine Devices)

a. Copper T ලූපය (හෝමෝන අඩංගු නැති අවහිරතා ක්‍රමයකි)
b. හෝමෝන අඩංගු ලූපය (Mirena)

ඔබේ අවශ්‍යතාවය අනුව ඔබට සුදුසුම උපත් පාලන ක්‍රමය ඉහත සඳහන් එකකින් ඕනෑම එකක් වෙන්න පුලුවන්. එක් එක් ක්‍රම වල වාසි අවාසි විවිධයි. ඉතින් එකින් එක මම පැහැදිලි කරන්නම්.

1. ශුක්‍රාණු ඇතුල්වීම අවහිර කරන ක්‍රම : (පුරුෂ හා ස්ත්‍රී කොන්ඩම්)

» මෙහිදී වෙන්නේ ලැටෙක්ස් වලින් සාදපු කොපුවක් මඟින් ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුල් වීම වැලැක්වීමයි. මේ ගැන මම පළමු වැනි ලිපියෙන් සාකච්ඡා කළා.

නමුත් භාවිතයේදී ඇති අපහසුතාවය නිසා සහ අමතක වීමට ඇති ඉඩකඩ නිසා හුඟක් අය මේ ක්‍රමයට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ.

2. හෝමෝනමය ක්‍රම

» මෙහිදී වෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අදාළ හෝමෝන පිටතින් ලබා දීමයි. මෙමඟින් ගර්භාෂ‍ය පිළිසිඳ ගැනීමක් ඇති නොවන ආකාරයට සකස් කිරීම සහ ඩිම්බ නිපදවීම තාවකාලිකව නතර කිරීම සිදු වෙනවා. ලබා ගත හැකි ආකාර කීපයක් තිබෙනවා.

a. ගිලින පෙති : දිනකට එක බැඟින් ගත යුතු දවස් 28ක ආර්තව චක්‍රයක් ඇති වන පරිදි හෝමෝන අඩංගු කර නිපදවා ඇති පෙති වර්ගයකි. වෙළඳපොලේ ඇති ජනප්‍රියම පෙති වර්ගය මිතුරි වේ.

වාසි : 

» දින 28කට වරක් ආර්තව චක්‍රය ක්‍රමවත්ව සිදුවීම
» ආර්තවයේදී ඇතිවන වේදනාව සහ රුධිර ගලනය අඩුවීම
» ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම අඩුවීම
» මිලෙන් අඩුය

අවාසි :

» ලිංගිකව ‍සම්ප්‍රේෂණය විය හැකි රෝග වලින් ආරක්ෂාවක් නැත
» පෙති දිනපතා ගැනීමට සිදුවීම නිසා අමතක වීමට ඇති හැකියාව
» වමනය, ඔක්කාරය, කැරකිල්ල වැනි අතුරු ආබාධ (සුලු ප්‍රමාණයකට)
» දේහ බර වැඩිවීමට ඇති හැකියාව

බෙහෙත් නතර කර මාසයකින් නැවත පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු විය හැකිය.

b. එන්නත් : සාමාන්‍යයෙන් මාස තුනකට වරක් අතේ ඉහළ බාහුවට එන්නත් කරන බෙහෙතකි. වෙළඳපොලේ ඇති ජනප්‍රියම වර්ගය Depo-Provera වේ.

වාසි : 
» එන්නත් ලබා ගත යුත්තේ මාස තුනකට වරක් පමණි.

අවාසි :
» ලිංගිකව ‍සම්ප්‍රේෂණය විය හැකි රෝග වලින් ආරක්ෂාවක් නැත
» ආර්තවය සම්පූර්ණයෙන් නතරවීමට හැකිය (බෙහෙත භාවිතා කරන කාලය තුළ)
» දේහ බර වැඩිවීමට ඇති හැකියාව
» වෛද්‍යවරයෙකු විසින් ලබා දිය යුතුයි

බෙහෙත් නතර කර නැවත පිළිසිඳ ගැනීමක් ඇතිවීමට මාස 3ක් ගතවිය හැක.

c. සම යටට ඇතුල් කරන කරල් : මේවා බොහෝදුරට වසර තුනක් පමණ දීර්ඝ කාලයක් භාවිතා කළ හැකියි. වෛද්‍යව‍රයෙකු විසින් අතේ ඉහළ බාහුවේ සම යටට කැපුමක් හරහා අදාළ ඖෂධය අඩංගු කරල් දෙකක් ඇතුල් කිරීම සිදු කරයි. වෙළඳපොලේ ඇති ජනප්‍රියම වර්ගය Jadelle වේ.

වාසි : 
» වසර තුනක් වැනි කාලයකට උපත් පාලනය සිදුවේ

අවාසි :
» ලිංගිකව ‍සම්ප්‍රේෂණය විය හැකි රෝග වලින් ආරක්ෂාවක් නැත
» ආර්තවය සම්පූර්ණයෙන් නතරවීමට හැකිය (බෙහෙත භාවිතා කරන කාලය තුළ)
» දේහ බර වැඩිවීමට ඇති හැකියාව
» ඉවත් කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණි
» මිල තරමක් වැඩිය

බෙහෙත් ඉවත් කර නැවත පිළිසිඳ ගැනීමක් ඇතිවීමට මාස 6-12ක් ගතවිය හැක.

3. ගර්භාෂය අභ්‍යන්තරයට ඇතුල් කරන උපාංග (Intrauterine Devices)

මෙය සාමාන්‍ය ජනවහරේ ලූපයක් ලෙස හැඳින්වේ. මෙය වෛද්‍යවරයෙකු විසින් ගර්භාෂයේ අභ්‍යන්තරයේ රඳවන උපාංගයකි. වසර 5-10 අතර කාලයක් භාවිතා කළ හැකිය. වර්ග දෙකකි.

a.  Copper T ලූපය : මෙහි ඇති කොපර් ලෝහය මඟින් ශුක්‍රාණු විනාශ වේ. මෙහි හෝමෝන අඩංගු නැත.
b.  හෝමෝන අඩංගු ලූපය (Mirena) : මෙහි ඇති හෝමෝන මඟින් ගර්භාෂ‍ය පිළිසිඳ ගැනීමක් ඇති නොවන ආකාරයට සකස් කිරීම සිදු වෙනවා.

වාසි : 
» වසර 5-10ක් වැනි කාලයකට උපත් පාලනය සිදුවේ

අවාසි :
» ලිංගිකව ‍සම්ප්‍රේෂණය විය හැකි රෝග වලින් ආරක්ෂාවක් නැත
» අනවශ්‍ය ආකාරයට රුධිර ගලනයන් සිදුවිය හැකියි
» ලූපය හදිස්සියේ ඉවත්වීම සිදුවිය හැකියි
» මාසිකව ලූපය නිවැරදිව ස්ථානගතව ඇත්දැයි පරික්ෂා කර බැලිය යුතුයි
» ඉවත් කළ හැක්කේ වෛද්‍යවරයෙකුට පමණි

හෝමෝන අඩංගු ලූපය :
» ආර්තවය සම්පූර්ණයෙන් නතරවීමට හැකිය (බෙහෙත භාවිතා කරන කාලය තුළ)
» දේහ බර වැඩිවීමට ඇති හැකියාව
» මිල අධිකය

හෝමෝන සහිත ලූපය ඉවත් කර නැවත පිළිසිඳ ගැනීමක් ඇතිවීමට මාස 6-12ක් ගතවිය හැක.

‍මේ ඕනෑම උපත් පාලන ක්‍රමයක් ඔබේ MOH කොට්ඨාශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හරහා අදාළ සායනයෙන්, සියලුම රජයේ රෝහල් වලින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගත හැකි අතර පුද්ගලික අංශයෙන් මුදල් ගෙවා ලබා ගත හැකියි.


ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

වෛද්‍ය චන්දිම ජයසිංහ
වෛද්‍ය චන්දිම ජයසිංහ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගෞරව උපාධිධාරියෙකු වන අතර දැනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අනුබද්ධිතව සේවය කරයි. "නොකියූ කතාව" ලිපි පෙළ හරහා තම වෛද්‍ය සේවය අතරදී මුහුණු දුන් සත්‍ය සිදුවීම් ආශ්‍රිතව වෛද්‍ය විද්‍යාත්මක දැනුම සරලව සමාජ ගත කළ වෛද්‍යවරයෙකි.
Colombo
scattered clouds
28 ° C
28 °
28 °
80 %
4.2kmh
37 %
Mon
30 °
Tue
29 °
Wed
30 °
Thu
30 °
Fri
30 °
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
error: Content is protected !!
www.familylife.lk

හොඳම දේ ඔබ ලඟටම...

දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු