උයන පිහන කොයි කාටත්  වටින කියන ඔවදන් – 1

www.familylife.lk

උයන්න පිහන්න ගියාම අපේ ගෘහනියන්ට පුංචි පුංචි ප්‍රශ්න ඇතිවෙනවා. වගේම අද වෙනකොට කාන්තාවෝ විතරක් නෙවෙයි පිරිමි පාර්ශවයත් වෙනදට වඩා ඉවුම් පිහුම් කටයුතුවලට දායක වෙන බවක් පේනවා. කාට කාටත් ඕනේ වෙන නිසයි Familylife.lk අපි ෆැමිලි චෙෆ් තුළින් මෙන්න මේ උපදෙස් ටික ඔයාල වෙනුවෙන් ඉදිරිපත් කරන්න හිතුවේ.

  1. හොද්දක් කැටි ගැසීම වළක්වා ගැනීමට ළිපෙන් බා ගත් පසුද විනාඩියක් පමණ වත් හැදිගාන්න.

  2. ව්‍යංජන තෙම්පරාදු කිරීමේදී බී ළුණුවලට වඩා රතුළුණු වැඩි රසයක් ගෙන දේ.

  3. අර්තාපල් නොපැලී තම්බා ගැනීමට අර්තාපල් තම්බන වතුරට විනාකිරි බිංදු කිහිපයක් එකතු කරන්න.

  4. අල පෙති සුදු පැහැයට බැඳ ගැනීමට නම් අල පෙති කැපූ විගස අයිස් වතුරට දමා ඉන්පසු බදින්න.

  5. උම්බලකඩ පහසුවෙන් කුඩු කිරීමට දිනක පමණ කාලයක් අධි ශීතකරණයේ දමාගන්න.

  6. ළුණු සුද්ද කිරීමේදී ඇස්වලින් කදුළු ගැලීම වළක්වා ගැනීමට එය ශීතකරණයේ තබන්න.

  7. දෙහි හා අමුමිරිස් එකට ගබඩා කිරීමෙන් අමුමිරිස් ඉක්මනින් නරක් වන නිසා වෙනම ගබඩා කරන්න.

  8. සලාද කොළ මැළවීම වළක්වා ගැනීමට නම් එය ගෙන විගස කඩදාසි කොළවල ඔතා ශීතකරණයේ දමන්න.

  9. ශීතකරණයේ දමා තිබූ මස් ඉක්මනින් මෘදු කර ගැනීමට විනාකිරි හෝ පොල් වතුර මිශ්‍ර වතුරේ බහා තබන්න.

  10. සම්බෝලයට, බැඳුමට දෙහි ඇඹුල් රේණු පිටින්ම දැමීමෙන් එහි රසය වැඩි වේ.

  11. බණ්ඩක්කා පිසීමට ගන්නා විට මෝරා ඇත්නම්, සියඹලා ටිකක් දවටා තෙලේ බැදගන්න.

  12. කරවිල පිසීමේදී තිත්ත අඩු කර ගැනීමට පළමුව පොල් වතුරෙන් තම්බා ගන්න.

  13. තැලූණු තක්කාලි, ලූණු ස්වල්පයක් මිශ්‍ර  කළ සිසිල් ජලයේ රැයක් පුරා වසා තැබීමෙන් නැවත හොඳින් සවි වේ.

  14. බණ්ඩක්කා පිසින විට එහි සෙවල ස්වභාවය නැති කර ගැනීමට ගොරක කැබැල්ලක් එක් කරන්න

  15. කොස් වතුරේ දමා තැබීමෙන් ඉදීම වළක්වා ගත හැකිය.

  16. තුනපහ සාදා ගනිද්දී එයට සෝදා කුඩු කරගත් හාල් මිටක් කුඩු කර එක්කර ගැනීමෙන් හොඳ රසයක් හා සුවඳක් එක්කර ගත හැකියි.

  17. බිත්තර ඔම්ලට් හදන විට එයට පාන්පිටි ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් ඔම්ලට් එක හොඳට පිපේ.

  18. හාල්මැස්සන් වියළා කුඩු කරගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් පොල් සම්බෝල සාදා ගැනීමේදී එක් කිරීමෙන් එහි රසය හා ගුණය වැඩි කරගත හැකියි.

  19. පොල් සම්බෝල සෑදීමේදී කෑලි මිරිස් වෙනුවට යාන්තමට පුළුස්සා ගලේ අඹරාගත් මිරිස් කරල් එක් කිරීමෙන් එහි රසය වැඩි වේ.

  20. කරපිංචා කල් තබා ගැනීම අපහසුය. වැඩි කරපිංචා ප්‍රමාණයක් ඇති විට ඒවා හොඳින් සෝදා වියළෙන්න හැර තෙල් ස්වල්පයකින් බැඳ කුඩු කරගෙන බෝතලයක අසුරා තබන්න. අමු කරපිංචා යොදනවාට වඩා කෑම රසවත්ය.

  මෙම ලිපියේ දෙවන කොටස සඳහා පිවිසෙන්න   


මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දුන් කථිකාචාර්ය, ප්‍රවීණ සූපවේදී සුමින්ද ලියනගේ මහාතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.

ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.