fbpx
More
    28.2 C
    Colombo
    Friday, December 27, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ගර්භණී සමයේදී ආහාර තෝරාගැනීමේදී සැලකිළිමත් විය යුත්තේ මේ නිසයි.

    Family Tech Sponsorspot_imgspot_img

    ගර්භණී සමයේදී ආහාර, විශේෂයෙන්ම කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය ගැන අවධානය යොමු කරන මවුවරුන්ට, තමන් ආහාරයට ගන්නා ඇතැම් ආහාර සුදුසුද? නුසුදුසුද? යන ගැටලු මතුවීම සාමාන්‍ය දෙයකි. විශේෂයෙන් අන්නාසි, ගස්ලබු, අච්චාරු ආදිය ආහාරයට ගැනීම පිළිබඳව පවතින්නේ මතභේදාත්මක තත්ත්වයකි.

    අප රටේ මවුවරුන්ගේ කුසතුළ මිය යන දරුවන් පිළිබඳව අවධානය යොමු කරද්දී එයට ආහාර පානවලද යම් බලපෑමක් එල්ල වන බව පරාජන්මීය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වරක් පවසා තිබුණා.ගර්භිණී සමයේ ආහාර පාන පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමුකරන්නට Familylife.lk මවුසිහිනය හරහා අපි අදහස් කළා.

    ගර්භිණී සමයේ ආරක්ෂාකාරීව ආහාර ලබාගන්නේ කෙසේද කියන එක වර්තමානය වනවිට සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙන කාරණයක් ලෙස දක්වන්නට පුළුවන්. මන්දයත් වර්ථමාන මවුවරුන් අතීතයේ වගේ ගර්භණී සමයේ නිවෙස්වල රැඳෙන්නේ නැහැ. ඔවුන් රැකියාවේ නිරතවෙන නිසා පෙරට වඩා දැන් ගර්භිණී මවුවරුන් ගතකරන ජීවිත රටාව වෙනස් වී තිබෙනවා. නිසා නොයෙකුත් වර්ගයේ ආහාරවලට යොමුවෙන්නට මවුවරුන්ට සිදුවෙනවා.

    ගර්භණී සමයේදී ආහාර

    මේ සමයේදී මවක් ආහාරයට ගතයුතු වන්නේ මොනවාද කියන එක බහුල වශයෙන් සාකච්ඡා කෙරුණත් වැළැකිය යුත්තේ මොනවගේ ආහාරයන්ගෙන්ද කියන එක සාකච්ඡාවට නොගන්නා තරම්.

    විෂ සහිත සංයෝග පවතිනවා යැයි සැක කරන ආහාරවලට මේ සමයේ තහංචි පැනවෙන්නේ කුසේ වැඩෙන කළලයට වැඩුණු පුද්ගලයෙකු හා සාපේක්ෂව මේ ආහාර ඔරොත්තු නොදෙන නිසාවෙන්. එම නිසා ආහාරවල සුදුසු නුසුදුසු බව පිළිබඳව තෝරා බේරා ගැනීමට යම් දැනුමක් තිබිය යුතුය.

    විශේෂයෙන් ආහාර ගබඩා කිරීමේ ගැටලු මත ආහාර නුසුදුසු තත්ත්වයට පත්වේ. උදාහරණයක් ලෙස නියමිත උෂ්ණත්වයේ ආහාර ශීතකරණයේ නොතැබීම මත ආහාරවල සුරක්ෂිත බව අහිමි විය හැකිය. තවද ආහාර උණුසුම් කිරීම සම්බන්ධයෙන්ද එවැනිම වූ තත්ත්ව පවතියි. ආහාරවල සුරක්ෂිතතාවය ඕනෑම අයෙකුගේ ආහාර වේලක් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු වූවක් වුවද ගර්භිණී සමයේ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වේ.

    විශේෂයෙන් ගර්භිණී සමයේ ආහාර මාර්ගයේ බැක්ටීරියා ආසාදනයක් ඇතිවුවහොත් එය කළලයටද බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතියි. “සැල්මොනෙල්ලා” වැනි බැක්ටීරියාවන් ශරීරගත වීමෙන් ආහාර විෂවී වමනය, පාචනය ඇති කළ හැකිය. සමහර බැක්ටීරියා විෂවර්ග පිටකිරීමද සිදුකරයි. මේ හේතුව නිසා තමන්ට විශ්වාසයක් නැති ආහාර පාන ගැනීමෙන් වැළැක්විය යුතුය. මේ හේතුව නිසා විවිධ රටවල සිදුකරණු ලැබූ විද්‍යාත්මක පරීක්ෂණ මත විවිධ අදහස් ආහාර පාන පිළිබඳව මෙලෙස ගොඩනගාගෙන තිබේ.

    එම විද්‍යාත්මක පරීක්ෂණ මත අපට මේ සමයේ ආහාර පිළිබඳව මෙවැනි නිර්ණායක තුනක් අනුව සාකච්ජා කළ හැක. ඒවා නම්

    01. සම්පූර්ණයෙන් වැළැකිය යුතු ආහාර

    02. ප්‍රවේසමෙන් ගතයුතු ආහාර

    03. ගැටලුවකින් තොරව ආහාරයට ගතහැකි ආහාර  යන ඛාණ්ඩ තුනයි.

    එම ඛාණ්ඩ තුන පිළිබඳව අවධානය යොමුකරමින් මෙලෙස ආහාර පිළිබඳව යම්කිසි වර්ගකිරීමක් ඉදිරිපත් කළ හැක.

    මස් වර්ග

    • ගර්භිණී සමයේ සකස් කළ මස් නිෂ්පාදන ( සොසේජස්, මීට් බෝල්ස්, හැම්, බේකන් වැනි නිෂ්පාදන) ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකිය යුතුය.
    • එසේම මස් යොදා සැකසූ ආහාර නිෂ්පාදනද ( ක්ෂණිකව බැද සකසාගත හැකි වන අයුරෙන් නිෂ්පාදිත රෝල්ස්, ඩ්‍රම්ස්ටික් වැනි ආහාර) ආහාරයට ගැනීමෙන් වැළැකිය යුතුය.
    • සැන්ඩ්විච් සඳහා නිෂ්පාදනය කර ඇති මස් තැවරුම් වර්ග, ස්ලයිසස් වර්ග ආහාරයට ගැනීමෙන්ද වැළැකිය යුතුය.  මෙම ආහාර ශීතකරණවල ගබඩා කර තබන නිසා ඒවා නිෂ්පාදකයින් නිර්දේශ කර ඇති උෂ්ණත්වවලින් ගබඩා කිරීමට අපහසු වුවහොත් ආහාරවල සුරක්ෂිතභාවය නැතිවී යයි. නිර්දේශිත උෂ්ණත්වවලින් පිසගැනීමට නොහැකි වුවහොත් බැක්ටීරියා වර්ග විනාශ නොවී ආහාර හරහා ඒවා සිරුරට එකතුවීමේ අවධානමක්ද පවතී.

    ගර්භණී සමයේදී ආහාර

    පිසූ මස් අඩංගු ආහාර

    ආපන ශාලාවලින් පිසින ලද ආහාරවල අඩංගු මස් වර්ග ආහාරයට ගැනීමේදී ඒවා ප්‍රවේසමෙන් ආහාරයට ගැනීම නුවණට හුරුය. මන්දයත් ආපනශාලාවල ආහාර පිසීමේදී විශාල භාජන භාවිත කරන විට උඩින් පවතින මස් කැබැලි නිසි පරිදි තැම්බී නොතිබෙන්නට ඉඩ ඇත. එවිට එවැනි මස් කැබැල්ලක් ආහාර පාර්සලයේ අඩංගු වී තිබේ නම් ඔබට ගැටලු ඇති විය හැකිය.

    නිවසේ පිසූ මස්

    විශ්වාසවන්ත තැනකින් මිලට ගෙන නිවසේ නිසි ආකාරයට අයිස් ඉවත්කර නිසි පරිදි ඉහළ උෂ්ණත්වයක පිසගන්නා ලද මස් වර්ග ආහාරයට ගැනීම සෞඛ්‍යාරක්ෂිත වේ. මස් වර්ගවල සෞඛ්‍ය ආරක්ෂිත බවට ගැටලු ඇති වන්නේ බොහෝවිට ප්‍රවාහනයේදී , ගබඩා කිරීමේදී හා නිසි ආකාරයට පිසගැනීම සිදු නොවන විටදීය. මේ නිසාවෙන් ගැබිනි මවක් මස් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වීම වටී.

    මාළු

    මාළු හා මුහුදු ආහාර සම්බන්ධයෙන්ද පවතින්නේ මස් හා සමාන තත්ත්වයකි. නිසා නිවසේ නිසිපරිදි සෞඛ්‍යාරක්ෂිතව පිසගත් මාළු ආහාරයට ගැනීම නුවණට හුරුය.

    මාළු පිළිබඳව මේ වනවිට ලෝකයේ වැඩි අවධානයක් යොමුවන කරුණක් වී ඇත්තේ රසදිය අඩංගු වීම සම්බන්ධයෙනි. අපේ රට අවට මාළුවල රසදිය අඩංගුවේදැයි අපට පරීක්ෂණ දත්ත නොමැති නිසා යමක් ප්‍රකාශ කළ නොහැක. නමුත් විදේශයේ නිෂ්පාදිත මාළු නිෂ්පාදන හෝ විදේශයන්ගෙන් ගෙන්වන මාළු වර්ග ආහාරයට ගැනීමේදී ප්‍රවේසම් විය යුතුය.

    කිරි ආහාර

    • කිරි ආහාර අතරින් ගැබිනි මවකට විශ්වාසනීය ලෙස ආහාරයට ගතහැකි නිෂ්පාදනයක් ලෙස චීස් නම් කළ හැකිය. නමුත් චීස් තැවරුම් නිෂ්පාදන නියමිත උෂ්ණත්වයේ ගබඩා කර නොතිබුනේ නම් ගැටලු ඇති විය හැකිය. නිසා චීස් තැවරුම් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතුය.
    • අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමේදී නියමිත පරිදි අධි ශීතකරණයක ගබඩා කර තැබූ අයිස් ක්‍රීම් ආහාරයට ගැනීම සෞඛාරක්ෂිතවේ. නමුත් දියවුණු ස්වභාවයක් හෝ දියවී නැවත ශීත වූ ස්වභාවයක් අයිස්ක්‍රීම්වල පවතී නම් ඒවා ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.
    • කිරි පැකට් ලෙස හෝ බෝතල් කළ ඒවා සෞඛ්‍යාරක්ෂිත නමුත් කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මෙලෙස ආහාර පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ බඩේ අජීර්ණ තත්ත්වයක් ඇතිවුවහොත් ගර්භිණී සමයේදී ඇතැම් ඖෂධ ගැනීම පිළිබඳවද ගැටලු පවතින බැවිණි.
    • ගර්භණී සමයේ මවක් කිරි වර්ග බීමට ගැනීමෙන් දරුවාට සෙම්රෝග ඇති වේයැයි සිතීම මිත්‍යාවක් වන අතර, කිරි හෝ වෙනත් ආහාරයකට අසාත්මිකතා මතුවේ නම් එම ආහාර නොගෙන සිටීම නුවණට හුරුය.

    බිත්තර

    අමුවෙන් බිත්තර ආහාරයට එකතු වීම සම්පූර්ණයෙන් වළක්වා ගත යුතුය. කේක් මිශ්‍රණ සැකසීමේදී බැටරය අමුවෙන් රස බැලීම ආදිය මේ කාලයේ සිදුනොකළ යුත්තකි. එසේම අඩක් තැම්බූ බිත්තර ආහාරයට එක්කර නොගත යුතුය. හොඳින් තම්බාගත් හෝ හොඳින් පිසගත් බිත්තර ආහාරයට ගැනීම නුවණට හුරුය.

    එළවළු හා පලතුරු

      • හොඳින් ඉදුණු ඕනෑම පලතුරක් ආහාරයට ගැනීම සෞඛ්‍යාරක්ෂිතය.
      • අමුවෙන් ආහාරයට ගන්නා ඇඹුල් වර්ගයේ පලතුරුද ආහාරයට ගැනීම සෞඛ්‍යාරක්ෂිතය.
    • ඇතැම් පලතුරු වර්ගවල ඇසිඩ් ස්වභාවයක් පවතීයැයි බියෙන් ආහාරයට නොගන්නා අවස්ථා දැකගත හැක. නමුත් පලතුරු මෙන්ම අනෙක් ආහාරවලින්ද අපේ සිරුරට යම් කිසි ඇසිඩ් ප්‍රමාණයක් එකතුවීම ස්වභාවිකවම සිදුවේ. එම ඇසිඩ් වර්ග පාලනය කළ හැකි ආහාර ජීර්ණ පද්ධතියක් අපගේ සිරුරේ පවතී. මෙම ආහාරවල පවතින ඇසිඩ් වර්ග රසායනාගාරවල පවතින ඇසිඩ් වර්ග තරම් ප්‍රබල ඒවා නොවන අතර, සෞම්‍ය ඇසිඩ් වර්ග වේ. නමුත් යම් අයෙකුට යම් පලතුරක් ආහාරයට ගැනීමෙන් පසු පලු දැමීමක්, කැසීමක් වැනි ආසාත්මිකතා ලක්ෂණ පහළවේ නම් ඒවා ආහාරයට නොගෙන සිටිය යුතුය.
    • එළවළු ඕනෑම වර්ගයක් හොඳින් පිරිසිදු කර කපා පිසගනී නම් ඉතා සෞඛ්‍යාරක්ෂිත වේ. එළවළු සලාද ලෙස සකස්කර ආහාරයට ගැනීමේදී ප්‍රවේසම් විය යුතුය. මන්දයත් අස්වනු නෙළන කාලයේදී කෘමිනාෂක වර්ග එකතු වී තිබිය හැකි බැවිණි. අපේ සිරුරට එම විෂ දරාගැනීමට හැකි වුවත් කළලයට එම විෂ දරාගැනීමට නොහැකි වනු ඇත. මේ නිසා ඔබ එලවළු පලතුරු හා පලාවර්ග මිලදී ගැනීමේදී විශ්වාසනීය ස්ථානයකින් මිලදීගත යුතුය.

    ටින් කළ ආහාර

    මෙම ආහාර පරිස්සමින් ආහාරයට ගතයුතු අතර, ආහාරයට නොගෙන සිටීමට හැකි නම් වඩාත් සුදුසුය. ආහාරයට ගැනීමට අවශ්‍යම නම් ටින් ඇසුරුමේ පලුදු තිබේද යන්නත්, කල් ඉකුත්වීමේ දිනය පිළිබඳවත් වඩාත් අවධානය යොමු කළ යුතුය.

    සෝයා

    • සෝයා කිරි හෝ සෝයා මීට් වැනි නිෂ්පාදන නිර්මාංශික අයට හොඳ ප්‍රෝටීනමය ආහාරයකි. නමුත් නිෂ්පාදිතයා පිළිබඳව පැහැදිලි සටහනක් නොමැති නිශ්පාදන ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.

    සැමවිටම ගැබිනියක ආහාර ගැනීමේදී ඕනෑම ආහාරයක් පිළිබඳව සැලැකිලිමත් විය යුත්තේ එම ආහාරවලට යම් කිසි රසායන එකතුවී ඇතිද යන්න පිළිබඳවයි. ඔබට විශ්වාස තැනකින් ආහාර නිෂ්පාදන හෝ එළවළු, පලතුරු, මස් මාංශ ආදිය මිලදීගත හැකි නම් එය සෞඛ්‍යාරක්ෂිත වනු ඇත.

    සැල්මොනැල්ලා” , “ඊකොලයි” වැනි බැක්ටීරියා වර්ග ආහාර මාර්ගයට එක්වී නිසි පරිදි ඒවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වුවහොත් ඇතැම් විට ජීවිත තර්ජන පවා ඇතිවීමේ අවධානමක් පවතී. මේවායේ රෝග ලක්ෂණ ලෙස පාචනමය ලක්ෂණ පෙන්නුම් කෙරෙන අතර, දිගින් දිගටම පාචනය වීම වළක්වා ගැනීමට නොහැකි වුවහොත් ඇතැම් විට විජලනය තත්ත්වයට පත්ව ජීවිතයට වුවද තර්ජන ඇතිවිය හැක.

    නමුත් අනියත බියක් ඇති කර නොගත යුත්තේ මෙම තත්ත්වයන් සුවපත් කරගැනීමට ඖෂධ පවතින බැවිණි. අවශ්‍ය වන්නේ අවධානමක් නොගෙන ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරගැනීමය.

    එසේම ගර්භිණී සමයේ ඖෂධ ගැනීම නොකළ යුතුයැයි සිතා ආහාර අජීර්ණ වීමකදී අත්බෙහෙත් කරමින් සිටිනවාට වඩා සිදුකළ යුතු වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමයි. ගර්භිණී සමයේ දරු ගැබට හානි නොවන ඖෂධ වර්ග නිර්දේශ කිරීමට වෛද්‍යවරුන් මෙවැනි අවස්ථාවක පියවර ගනු ඇත.

    එසේ නොමැතිව පාචනය පවතින අවස්ථාවක නිවසේ සිට කෝපි, සුදු ලූණු තම්බා බීම වැනි දේ සිදුකරමින් කල්මැරීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රීයන් විජලනයට පත්ව අවධානම් තත්ත්ව ඇතිවිය හැක.

    සුදුසුම දෙය වන්නේ ඔබෙත්, කුසේ සිටින දරුවාගෙත් ආරක්ෂාව ගැන සිතා සෞඛ්‍යාරක්ෂිත ආහාර හැකිතාක් නිවසේ පිසූ ආහාර ලෙස ලබාගැනීමත්, ආහාර විෂ වීමකදී හෝ ආසාත්මික වීමේදී වෛද්‍ය ප්‍රතිකාර වහා ලබාගැනීමත්ය.

    Renuka Silva

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් වයඹ විශ්ව විද්‍යාලයේ මානව පෝෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය රේණුක සිල්වා මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    නිසංසලා පතිරණ
    නිසංසලා පතිරණ
    දශකයකට ආසන්න කාලයක් පුරා මෙරට ජාතික පුවත්පත් සඳහා විධිමත් හා වැදගත් සෞඛ්‍ය සම්බන්ධ ලිපි සපයමින් පාඨකයාගේ විශ්වාසය ඉහළින්ම දිනාගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමධාරියකි.
    Colombo
    broken clouds
    28.2 ° C
    28.2 °
    28.2 °
    74 %
    3.9kmh
    75 %
    Fri
    28 °
    Sat
    28 °
    Sun
    29 °
    Mon
    29 °
    Tue
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු