fbpx
More
    31 C
    Colombo
    Tuesday, April 15, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පොඩි බඩගින්න නිවන්න පොඩ්ඩන්ට පොඩි පොඩි ස්නැක්ස්

    Family Tech Sponsorspot_imgspot_img

    පොඩි බඩගින්න නිවන්න පොඩ්ඩන්ට පොඩි පොඩි ස්නැක්ස් හදල දෙන හැටි තමයි අද familylife.lk අපි ෆැමිලි චෙෆ් වෙතින් ඔබට අරන් එන්නෙ.

    පුංචි පැටියාගේ බණ්ඩි ගෙඩිය පිරුණේ නැති වුණාම අම්මලාගේ උගුරෙන් පහළට හරි හැටි කෑම ටිකක් වැටෙන්නෙත් නෑ කියන කාරණේ පොඩි දරුවෝ ඉන්න අම්මලා නම් හොඳට දන්නවා. සාමාන්‍යයෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවෝ උපදෙස් ලබාදෙන්නේ දවසට ප්‍රධාන වේල් තුනක් සහ අමතර වේල් දෙකක් හැකි උපරිම පෝෂ්‍යදායි ආකාරයට ලබාදෙන්න කියලයි. හැබැයි මේ විදියට කෑම ටික කවාගන්න පුළුවන් වෙන්නේ එහෙමත් දරුවෙකුට තමයි.

    කෑම වර්ජනය කරන බබාලා ඉන්න අම්මලාට, “බබා කැමති වෙලාවක කයිනේ, බබාට බඩගිණි වුණාම කයිනේ, එයාට තනියම කන්න දෙන්නකෝවගේ උපදෙස් නිතරම ලැබුණත් පැටියට කවන වැඩේ අතහැරලා දැම්මොත් එයාල දවස් ගාණක් උනත් කන්නේ බොන්නේ නැතුව ඔටුවෝ වගේ ඉඳීවී කියලා අපේ අම්මලා හොඳට දන්නවා ඇති.

    මේ කියන උපදෙස්වල ඇත්තක් නැත්තේ නැති වුණත් ප්‍රධාන වේලක් හරියට නොකෑව පැන්චෙකුට බඩ පිරෙන්න වගේම පොඩි බඩගින්නට හප හප ඉන්නත් හදලා දෙන්න පුළුවන් ස්නැක්ස් කීපයක් අරන් එන්න ෆැමිලි ලයිෆ් අපි හිතුවා. බලන්න මේ කෑමවලට ඔයාගේ පොඩ්ඩත් ආසා වෙයිද කියලා. අවුරුද්දට වැඩි දරුවන්ට තමයි අපි මේ කියන ආහාර සුදුසු වෙන්නේ.

    පොඩි බඩගින්න

    පාන්

    • ෆ්‍රෙන්ච් ටෝස්ට්

    බිත්තරයක්, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 5ක්, ලුණු ස්වල්පයක්, කුරුඳු කුඩු ස්වල්පයක්, වැනිලා බිඳක් හොඳින් මිශ්‍ර කරගන්න. පාන් පෙති දෙකක් එම මිශ්‍රණයේ දමා පොඟවා ගන්න. පෑන් එකක්  රත්කරගෙන එහි බටර් තවරා පොඟවා ගත් පාන් පෙති දෙක පෑන් එකේ දමා දෙපැත්තම මදක් පුළුස්සා ගන්න. මී පැණි සමඟ ආහාරයට ලබා දෙන්න.

    • ෆ්‍රෙන්ච් ටෝස්ට් වෙනස් විදියකට

    ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 5ක්, බිත්තරයක්, ගම්ම්මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක්, ගාලික් බටර් හෝ අඹරාගත් සුදු ළූණු ස්වල්පයක් හොඳින් මිශ්‍ර කරලා පාන් පෙති දෙකක් මෙහි පොඟවා ගන්න. තම්බාගත් හෝ තෙම්පරාදු කරගත් එළවලු, බිත්තර, මාළු හෝ මස් පොඩි කරගන්න. රත්කර බටර් තවරාගත් පෑන් එකකට බටර් ස්වල්පයක් දමා එක් පාන් පෙත්තක් දමා සාදාගත් පිරවුම සහ ගාගත් හෝ කුඩාවට කපාගත් චීස් ඊට ඉහළින් දමා අනිත් පාන් පෙත්තෙන් වහන්න. පාන් පෙති දෙක දෙපැත්ත දමා හැන්දකින් මඳක් තද කරමින් පුළුස්සාගන්න.

    පොඩි බඩගින්න

    එළවලු

    • තැම්බූ එළවලු

    කැරට්, බෝංචි, ගෝවා, බ්‍රොකොලි, වට්ටක්කා, බීට් රූට් කැමති හැඩයකට කපාගන්න. භාජනයකට වතුර දමා ලුණු ස්වල්පයක් එකතු කර උතුරවා ගන්න. වට්ටක්කා කැබලි ටික උතුරන වතුරට දමා විනාඩි 3-4ක් තම්බා ගන්න. එයට කැරට් එකතු කර විනාඩි 2ක් පමණ තම්බාගන්න. බෝංචි කැබලි දමා තව විනාඩියක් පමණ තම්බා ලිප නිවා ගෝවා සහ බ්‍රොකොලි එකතු කර විනාඩියක් පමණ තියා එම එළවලු වෙනත් බඳුනකට ඉවත්කර වතුර පෙරාගන්න. උතුරවාගත් වතුර බඳුනටම බීට් රූට් කැබලි දමා විනාඩි කිහිපයක් තම්බාගෙන වතුර පෙරාගන්න. මෙම එළවළුවලට ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ බටර් එකතුකර වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ බබාට තනියම කන්න දෙන්න.

    • බැදපු එළවලු

    කැබලි කපා ගත් එළවලු බාගෙට තම්බාගන්න. කොර්න් පිටි සහ පාන් පිටි සම සමව අරන් වතුර සහ ලුණු ගම්මිරිස් ස්වල්පයක් එකතු කර බැටර් එකක් හදාගන්න. පාන් පිටි වෙනුවට කඩල පිටි ගන්නත් පුළුවන්. බැටර් එකේ තවරාගත් එළවලු කැබලි බිස්කට් කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැදගන්න.

    පොඩි බඩගින්න

    ඇට වර්ග

    • තැම්බූ ඇට වර්ග

    කඩල, රතු කව්පි, සුදු කව්පි, කොල්ලු කඩල, මුං ඇට, ග්‍රීන් පීස්, බඩ ඉරිඟු වගේ වර්ග කිහිපයකින් ඇට ස්වල්පය බැගින් අරන් තම්බලා බටර් ස්වල්පයක්, රටකජු සහ වියළි මිදී  සහ ආමන්ඩ් එකතු කරලා බබාට කන්න දෙන්න. විවිධ වර්ණ සහ රස නිසා බබාලා මේ විදියට කන්න ආසා වෙනවා. අවශ්‍ය නම් තම්බාගත් එළවලු සහ පැස්ටා ස්වල්පයකුත් එකතු කරන්න.

    • කඩල, කඩල පරිප්පු හෝ කැමති ඇට වර්ගයක් තම්බා ගැඹුරු තෙලේ බැද ලුණු, මිරිස්කුඩු ස්වල්පයක් දවටා කෑමට ගන්න පුළුවන්

    පොඩි බඩගින්න

    පළතුරු පොප්සිකල්

    මේ ගිනියම් දවස්වල අයිස් ක්‍රීම් පොප්සිකල් එකක් දුන්නොත් මොන පොඩ්ඩා එපා කියන්නේ? අඹ, දොඩම්, පැපොල්, ස්ට්‍රෝබෙරි, මිදී, කිවි, කොමඩු වගේ පාට කිහිපයක පළතුරු අරන් කැබලි කපාගන්න. ඩ්‍රින්කින් යෝගට් සමග මේ පලතුරු කැබලි මිශ්‍ර කරලා පොප්සිකල් මෝල්ඩ් වල දාලා අධි ශීතකරණයේ තියන්න.

    එහෙමත් නැත්තන් පළතුරු වෙන වෙනම බ්ලෙන්ඩ් කරගෙන තට්ටුව බැගින් පොප්සිකල් මෝල්ඩ් එකට පුරවන්න. හැබැයි මේ ක්‍රමයේදී ටිකක් වෙලා යනවා. මොකද එක පළතුරු තට්ටුවක් හයි වෙනකන් ඉදලා තමයි අනිත් පළතුරු තට්ටුව දාන්නේ. අතර මැදට යෝගට් දාන්නත් පුළුවන්.

    අලවර්ග වලින්

    • අර්තාපල්/ බතල චිප්ස්

    අල වර්ගය බාගෙට තම්බලා තෙත මාත්තු කරලා පෙති හෝ තීරු කපාගන්න. ගැඹුරු තෙලේ මඳ ගින්නේ බැදගෙන ලුණු ගම්මිරිස් ස්වල්පයක් දවටාගන්න.

    • බැදපු අල

    ඉහතින් දක්වලා තියෙන එළවලු බැදපු විදියටම තම්බාගත් අල වර්ගත් බදින්න පුළුවන්. හැබැයි අල වර්ග මුලින්ම හොඳින් තම්බගන්න.

    • අල රොටි

    කැරට්, බෝංචි, ළූණු, පලා වගේ දාලා හදන පෝෂණ  රොටියට තම්බලා පොඩි කරගත්ත අල ගෙඩියකුත් එකතු කරලා සාමාන්‍ය විදියටම රොටිය හදාගන්න.

    පොඩි බඩගින්න

    නුඩ්ල්ස්, පැස්ටා

    • චීස් පැස්ටා

    මේක නම් ප්‍රධාන වේලකට වුණත් දෙන පුළුවන්. පැස්ටා තම්බගන්න වෙලා යන නිසා පැස්ටා ටික විනාඩි 20ක් විතර වතුරේ පොඟවා ගන්න. වතුර බඳුනකට ලුණු ස්වල්පයක් එක කර උතුරවාගෙන් පැස්ටා ටික දමා අවශ්‍ය තරමට තම්බා ගන්න. සීතල වතුරින් සෝදා ගත් පැස්ටා ෆ්‍රෙෂ් මිල්ක් එකතුකර කිරි ටික හිඳෙන තුරු තම්බන්න.

    කිරි හිඳෙන්නට පෙර පොඩි කරගත් චීස් කෑල්ලක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් හා අවශ්‍යනම් ලුණු බිඳක් එකතු කරගන්න. මෙයටම අවශ්‍ය නම් මස් හෝ මාළු හෝ බිත්තර දමා රස කරගන්නටත් පුළුවන්.

    • නුඩ්ල්ස් මුරුක්කු

    සහල් නුඩ්ල්ස් වර්ගයක් තෝරාගෙන තරමක කැබලිවලට කඩාගන්න (අඟල් 2ක් පමණ ). තාච්චියක් ලිපේ තියා තෙල් හොඳින් රත්කරගෙන ලිපේ ගින්දර අඩු කරගන්න. නුඩ්ල්ස් ස්වල්පය බැගින් වරින් වර තෙලට දමා බැදුණු පසු තෙල් බේරෙන්න තියන්න. හරි විදියට බැදෙනවා නම් නුඩ්ල්ස් තෙලට වැටෙනකොට පපඩම් වගේ හීනියට පිපෙනවා.

    කර වෙලා දුඹුරු පාට වෙනවා නම් හරි විදියට බැදිලා නෙවෙයි. තෙල් බේරාගත්ත නුඩ්ල්ස් මුරුක්කුවලට ලුණු මිරිස් කුඩු ස්වල්පයක් එකතුකරගන්න.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    31 ° C
    31 °
    31 °
    71 %
    4.4kmh
    38 %
    Tue
    30 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    29 °
    Sat
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු